සමරසිංහ නොවැම්බර් මාසයේ අස්වෙනවා! කුණුබක්කියට දාපු දක්ෂයා ළඟ රාජපක්ෂලා වැඳවැටුණ හැටි

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ නොවැම්බර් මාසයේ අයවැයෙන් පසු  පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමට ලෑස්ති බව අරුණ පුවත්පතේ උදයජීව ඒකනායක වාර්තා කරලා තියෙනවා.

දේශපාලන කොලමේ ඔහු ලියා තියෙන හැටියට ඉල්ලා අස්වීමෙන් පස්සේ ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ තානාපතිධුරය භාරගන්න නියමිතයි. ඒකෙන් හිස්වෙන මන්ත්‍රීධුරයට කළුතර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඉන්න ලලිත් වර්ණකුමාර පත්වේවිලු.

ඒ ප්‍රවෘත්තිය අනුව නම් මාස කිහිපයක් යනතුරු ඇමෙරිකන් තානාපතිධුරය හිස්වෙලා තියේවි. සමහරවිට ඇමෙරිකාවේ සිටින කොන්සල් ජනරාල් ලලිත් චන්ද්‍රදාස ඒ තනතුරේ වැඩ ආවරණය කරයි. ඔහු රාජපක්ෂ සහෝදරයන්ගේ එක්කුස උපන් සොයුරියකගේ සැමියා.

මේ ඇමෙරිකානු තානාපති පත් කිරීමේ ක්‍රියාවලිය සෑහෙන අවධානය යොමු කරන්න වටින එකක්. මොකද, ඇමෙරිකානු තානාපති විදියට මුලින් යෝජනා වෙලා තිබුණේ පවුලේ කෙනෙක් පත් කරන්න. ඇමෙරිකාවේ කොන්සියුලර් ජනරාල් විදියට දැනටමත් ඉන්න ලලිත් චන්ද්‍රදාස මහතා වගේම ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා නිශාන්ත වික්‍රමසිංහත් මේ තනතුරට පත් කරන්න සූදානමක් තිබුණාලු. ඒත්, පුදුම කාරණය තමයි මේ ගැන අන්තිමේ වැඩි එකඟතාවය ඇවිල්ලා තිබුණේ පවුලේ කෙනෙක් පත් කරන්න ඕනෑ නැති බව. මොකද, මේකට ඕනෑ දක්ෂයෙක් බව. ඉස්සරහට එන අමාරු කාලයේදී ඇමෙරිකාව එක්ක හිතවත්කම තියාගන්න පුළුවන් කෙනෙක් බව. ඒ නිසා තමයි මහින්ද සමරසිංහ මහතා පත් කරලා තිබුණේ. ජිනීවාවලට කලින් ආපු යෝජනාවලදී ඉතාම සාර්ථකව ලංකාවට පක්ෂපාතී තැනකට රටවල් ගණනාවක් ගේන්න මහින්ද සමරසිංහ මහතා සමත් වුණා.

ඒත් ප්‍රශ්නය වුණේ රාජපක්ෂලාගේම තක්කඩි දේශපාලනය නිසා. ඔය අපි කීව තරම් දක්ෂතා තිබුණට මහින්ද සමරසිංහට ඇමතිකමක්වත් දුන්නේ නෑ. ඒ වෙනුවට රාජපක්ෂලා අකමැති දේශපාලනයක් කිරීමේ ‘වරදට’ මහින්ද සමරසිංහ හුදු මන්ත්‍රීවරයෙක් විදියට තිබ්බා. ඒ විතරක් නෙවෙයි මහින්දට ඉතා කැත වැඩකුත් කළා. මහින්ද සමරසිංහට කළුතරින් නාමයෝජනා දීලා, ශ්‍රී ලංකා එකට නාමයෝජනාවක් දුන්නේ නෑ. ඒ ‘මහින්ද සමරසිංහ ශ්‍රී ලංකා’ කියන පදනමෙන්. ඒ කියන්නේ පොහොට්ටුවට සමරසිංහ අරගෙන, ඒත් ගන්නේ නෑ වගේ බාල සැලකිල්ලක් දැක්වුවේ.

කොහොමහරි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට මහින්ද සමරසිංහ මහතා අද ඉන්නවා. ඔහු ඒක අතෑරලා ඇමෙරිකාවට යන්න කැමති වේවිද? රාජපක්ෂලා වෙනුවෙන් පෙනී ඉන්න ඔහු ලෑස්තිද? සමරසිංහ මහතා ඉන්නේ කළකිරීමෙන්ද?

ඉතින් ඔවා බලලා ෂේප් එකේ මහින්ද සමරසිංහට කතා කරන්න එකඟතාවක් ආවාලු.

ඊට පස්සේ මහින්දගේ ජංගම දූරකථනයට ගෝඨාභය රාජපක්ෂ මහතා කෝල් කළාලු. විනාඩි 16ක කෝල් එකක් ගියාලු. කුණු බක්කියට දාලා වගේ කොණ් වෙලා හිටපු තමන්ට කෙළින්ම ජනාධිපතිගෙන් කෝල් එකක් ලැබීම ගැන මහින්ද සමරසිංහ මහතා හිටියේ කුතුහලයෙන්, පුදුමයෙන් කියලත් සමහරු කියනවා. කොහොමහරි රට ගැන හිතලා තානාපතිකම ගන්න කියලා ඉල්ලුවාලු. බයිඩන් පාලනය එක්ක සුහදව කතා කරන්න, දෙමළ පක්ෂ සහ ඩයස්පෝරාව එක්ක සාකච්ඡා කරන්න මහින්ද සමරසිංහගේ උදව් ඕනෑ කිව්වාලු.

මේක බාරගන්නවාද නැද්ද කියලා මහින්ද සමරසිංහ එකපාර උත්තර දුන්නේ නෑලු.

‘මම මෙතැනින් අයින් වෙලා තානාපතිධුරය බාරගත්තොත් මගේ දේශපාලන අනාගතයට මොකද වෙන්නේ?’ සමරසිංහ ඇහුවලු. ඔහු කොහොමත් ස්විස්ටර්ලන්තයේ ඉන්න පවුලේ අයගෙනුත් අහලා තීන්දුවක් ගන්නලු හිටියේ. පවුලෙ අයගෙනුත් අහන්නම් කියලා කිව්වාලු.

ඒකට උත්තර විදියට ගෝඨාභය කිව්වාලු ඕනෑ වෙලාවක ආයෙත් දේශපාලනයට එන්න ඉඩ තියනවා. බය වෙන්න එපා. ආපහු ඕනෑ වෙලාවක එන්න. වගකීම මං බාරගන්නම් කියලා.

ඒත් ඔය කෝල් එකෙන් පස්සේ බැසිල් රාජපක්ෂගෙනුත්, ලලිත් චන්ද්‍රදාසගෙනුත් කෝල් ආවාලු. දේශපාලන අනාගතේ ගැන කිසිදේකට බයවෙන්න එපා කියලා, මේ වෙලාවේ තනතුර බාරගන්න කියලා ඉල්ලුවාලු.

ඒකෙන් පස්සේ පට ගාලා සියලු කටයුතු ලෑස්ති වුණාලු. මහින්ද සමරසිංහ එකඟ වුණාලු. සමරසිංහව පත් කරන්න ඕනෑ ලියකියවිලි ලෑස්ති කරලා, ඒකට ජනාධිපති අත්සනුත් කරලාලු ඇමෙරිකාවට පිටත් වුණේ.