රාජපක්ෂ යුගයේදී සිදුවූ බැඳුම්කර වංචා වෝහාරික විගණනයෙන් හෙළිවේ ( 02 කොටස)

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වෝහාරික විගණන වාර්තා පහ අතරින් පළවැනි වාර්තාවෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ඍජු ක්‍රමයට බැඳුම්කර ගනුදෙනු සිදුකිරීමේදී ගැනුම්කරුවන්ට වාසි සහගත ලෙස බැඳුම්කර නිකුත් කිරීම නිසා රුපියල් බිලියන 10.47ක පාඩුවක් ලබා ඇතැයි හෙළිවී තිබේ.

ඊට අමතරව එම කාලසීමාව තුළ ඊපීඑෆ් අරමුදලෙහි මුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමේදී සමාගම් 17 ක කර ඇති මිලියන 57,986ක් හෙවත් රුපියල් බිලියන 57.98ක් වටිනා ආයෝජන වලින් ඊපීඑෆ් අරමුදල පාඩු ලබා ඇතැයි එම විගණන වාර්තා අතරින් තුන්වැනි වාර්තාව පෙන්වාදී ඇත.

යහපාලන ආණ්ඩුව සමයේ 2015 හා 2016 වර්ෂවල සිදුව ඇති මෑතකාලීන බැඳුම්කර වෙන්දේසි වලින් රුපියල් බිලියන 6.6ත් බිලියන 9.6. ත් අතර පාඩුවක් ලබා ඇති බව එම විගණන වාර්තා අතරින් හතරවැනි විගණන වාර්තාවෙන් පෙන්වාදී තිබේ.

මෙම වාර්තා වලින් පෙන්වාදෙන්නේ 2002 – 2015 අතර කාලසීමාවේදී ප්‍රාථමික බැඳුම්කර ගණුදෙනුකරුවන් කිහිපදෙනෙකු සමඟ ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සම්බන්ධතා තිබුණු බවත්, එම සම්බන්ධතා මත එම සමාගම්වලට විශේෂයෙන් ඍජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති බවත් එම වාර්තාවෙහි සඳහන්ය. අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහෝදරියක වන සිරෝමි නොඑල් වික්‍රමසිංහ, සහෝදරයෙකු වන අමල් කබ්රාල් නියෝජනය කළ ආයතනවලට එලෙස විශේෂත්වයක් දක්වා ඇති බවත් එහි සඳහන් වෙයි.

ඇකුයිටි සෙකියුරිටීස් ප්‍රයිවෙට් ලිමිටඩ් නම් ප්‍රාථමික ගනුදෙනුකාර ආයතනය වෙත නිකුත් කර ඇති ඍජු බැඳුම්කර නිකුතු අතරින් සීයට 80ක්  2013 – 2014 කාලසීමාවේදී ලබාදුන් ඒවා බව එම වාර්තාවෙහි සඳහන් වෙයි. එම සමාගම සමග ගණුදෙනුවලින් සිදුව ඇති පාඩුව මිලියන 60ක් පමණ වන බවද සඳහන්ය. ඇකුයිටි සෙකියුරිටීස් සමාගමේ සම අයිතිය හිමි එච්එන්බී බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස අජිත් නිවාඩ් කබ්රාල් සේවය කර ඇති බව එම වාර්තාවෙහි සඳහන් වෙයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහෝදරියක් වන සිරෝමි නොඑල් වික්‍රමසිංහ කොමර්ෂල් බැංකුවේ කටයුතු කර ඇති 2009 වර්ෂයේදී කොමර්ෂල් බැංකුව ලෙස නිකුත් කර ඇති බැඳුම්කර සංඛ්‍යාව තීරණාත්මකව වැඩිවී ඇති බවද එම වාර්තාවෙහි සඳහන්ය. 2008 වර්ෂයේදී බිලියන 3.55ක් වටිනා බැඳුම්කර නිකුත් කර තිබුණු බවත්, 2009 වෙද්දී බිලියන 25.11ක් දක්වා වැඩිවී ඇති බවත් එහි සඳහන්ය.

මීට අමතරව 2002 – 2015 කාලසීමාවේදී ඊපීඑෆ් අරමුදල බැඳුම්කර ගනුදෙනුවලින් ලබා ඇති පාඩුව පිළිබඳව දෙවැනි වෝහාරික වාර්තාවෙහි තොරතුරු සඳහන්ව ඇත. එලෙස ලබා ඇති පාඩු අතර ඍජු බැඳුම්කර නිකුතු වලදී අඩු ඵලදා අනුපාතිකයක් යටතේ බැඳුම්කර නිකුත් කිරිමෙන් පමණක් රුපියල් මිලියන 8716ක් පාඩු ලබා ඇතැයි සඳහන් වේ.

තෙවැනි වාර්තාවෙහි ඊපීඑෆ් අරමුදලෙහි මුදල් ආයෝජනය කරමින් පාඩු ලැබූ සමාගම් ගණනාවක විස්තර සඳහන් වේ. එම වාර්තාවෙහි බ්‍රවුන් ඇන්ඩ් කම්පැණි ප්‍රයිවෙට් ලිමිටඩ්හි ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන 1304.24ක පාඩුවක් ලබා ඇති බව සඳහන් වෙයි. සිලෝන් ග්‍රේන් එලවේටර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමෙහි ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන 651.91ක පාඩුවක් ලබා ඇති බව පෙන්වාදී ඇත. ගලධාරි හොටෙල්ස් ලංකා ප්‍රයිවෙට් ලිමිටඩ්හි ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන 620ක පාඩුවක් ලබා ඇතැයි සඳහන්ය. කලම්බු ඩොක්යාඩ් සමාගමෙහි ආයෝජනයෙන් රුපියල් මිලියන 1868ක් පාඩු ලබා ඇති බවත් බුකිට් ඩාරාහ් ප්‍රයිවෙට් ලිමිටඩ්හි ආයෝජනයෙන් මිලියන 1707ක් පාඩු ලබා ඇති බවත් සඳහන් වේ. කාර්සන් කුම්බර්බැච් ප්‍රයිවෙට් ලිමිටඩ්හි ආයෝජනයෙන් රුපියල් මිලියන 1625ක් පාඩු ලබා ඇති බව සඳහන් වන අතර ශ්‍රී ලංකන් එයාලයින්හි ආයෝජනයෙන් රුපියල් බිලියන 2.70ක් පාඩු ලබා ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

2020.01.24