ඥානසාර හිමිට එරෙහිව පොලිස්පතිට පැමිණිලි 4ක්

පසුගිය දිනවල විකාශය වූ ITN සහ HIRU නාලිකාවල විකාශය වූ රූපවාහිනී වැඩසටහන් දෙකකදී සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව පොලිස්පතිවරයා පැමිණිලි 4 ක් ලැබී ඇත.

මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, සිවිල් ක්‍රියාකාරිකයකු වන නිසාර් මවුලානා සහ බස්නාහිර පලාතේ හිටපු පලාත් සභා මන්ත්‍රී අර්ෂාඩ් නිසම්ඩීන් මහත්වරුන්ය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු අල්ලාහ් දෙවියන් බව පවසා අපහාස කරමින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කිරීමත් ඉදිරියේදී එල්ලවිය හැකි තවත් අන්තවාදී ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු තමන් සන්තකයේ ඇති බවත් ඒ හිමියන් පවසා තිබුණි.

මෙවැනි ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව තමන් කරුණු සහිතව ජනාධිති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කළ බවත් ඒ හිමියන් පවසා තිබුණි.