2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වීම පිටුපස මුදලට තරග පාවාදීමක් සිදුව නොමැති බව නීතිපතිවරයා තහවුරු කර ඇත.
ඒ අනුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතුද අත්හිටුවා ඇත.
ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන සමයේදී ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් 2019 මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.
ඒ එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ ඩලස් අලහප්පෙරුමගේ දැනුම්දීමකට අනුවය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ 2011 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී මුදලට තරග පාවාදීමක් සිදු වූ බවට සැක කළහැකි බවයි.
ඒ සඳහා සාක්ෂි තමන් සතුව තිබෙන බවත් අවසන් මහා තරගය සඳහා නම්කළ කණ්ඩායමේ එකවර වෙනස්කම් රැසක් සිදු කිරීමට සැකයට තුඩුදෙන කරුණක් බවත්, කෙසේ වෙතත් මෙම පාවාදීමට ක්‍රීඩකයන් කිසිවෙකුත් සම්බන්ධ නොමැති බවත් ඔහු පවසා තිබිණි.
මෙම ප්‍රකාශය සිදු කිරීමත් සමග දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර ක්‍රීඩා අමාත්‍යංශයට එල්ල වූ බලපෑම මත විශේෂ පොලිස් කණ්ඩායමකට පරීක්ෂණ යොමු කිරීමට සිදුවිය.
මේ සම්බන්ධයෙන් ලෝක කුසලාන කණ්ඩායමේ ක්‍රීඩකයන් වූ කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග ඇතුළු පිරිසගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබුණි.
කෙසේ නමුත් අවසානයේදී තහවුරු වී තිබෙන්නේ එවැනි කිසිදු පාවාදීමක් සිදුව නොමැති බවයි.
ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශයට කිසිදු පදනමක් නොමැති බව නීතිපතිවරයා තහවුරු කර ඇත.
මූලාශ්‍ර – ලංකාදීප