පොලිස් ඇමති අන්තවාදී හිමිගේ තෝල්කයා වීම කොච්චර භයානකද? දේශපාලන පටු වුවමනා මත රට ලේ විලක් වේවිද?

කවුරුත් හරියට ප්‍රශ්න කරන ලොකු කතාවක් තමයි මේ ඥාණසාර ‘හාමුදුරුවන්’ කරපු භයානක කතා තොගය ගැන පාර්ලිමේන්තුවේදී පොලීසිය භාර සරත් වීරසේකර ඇමතිවරයාගේ කතාව. මේ කතාව ලංකාව ඇතුළේ යම් විදියකට හරි මධ්‍යස්ථ, සියළු ආගම්වලට ඉඩකඩ ලැබෙන පැවැත්මක් ගැන හීන දකින හැමෝටම දරුණු බලාපොරොත්තු කඩවීමක්.

මේ රට ඇතුළේ සියලු ආගම්වලට සමානාත්මතාවයෙන් ජීවත්වෙන්න ඕනෑ බවත්, ජාතිවාදී ගිනි ඇවිලෙන්නේ නැති බවත් කියලා, අධිකරණය ප්‍රමුඛ රජයේ යාන්ත්‍රණය ගැන විශ්වාසය තබා ජීවත්වෙන්න මුස්ලිම් සමාජයට යෝජනා කරන අයට දරුණු පහරක්.

ඒ කතාවේදී සරත් වීරසේකර ඇමතිවරයා මුජිමුර් රහුමාන් මන්ත්‍රීවරයාට ‘ඔබත් අන්තවාදියෙක්’ වෙන්න පුළුවන් කීමෙන්ම පේන්නේ මේ රට ඇතුළේ ‘ඔබ මුස්ලිම් නම් ඔබව අපට සැකයි. අපෙන් කිසිම සමාවක් නෑ’ කියන දරුණු ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මේ රජය යටතේ ‘මුස්ලිම් හැමෝම සැක’ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ.

වක්‍රාකාරව ඥාණසාර හිමි මහමොළකරු අල්ලා දෙවියන්ය කියා කරපු දරුණු ප්‍රකාශය අනුමත කරමින් ඉතාම භයානක ඉඟි කිරීමක් ඇමතිවරයා කළේ.

ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවට අවාසිදායක විදියේ තීරණාත්මක කතාවක් කළොත් සීඅයිඩීය කුලප්පු වෙනවා. ගෙන්නලා ප්‍රශ්න කරනවා. ඒත්, ඥාණසාර හිමි ටීවී එකක කරපු කතාවක් ගැන පොලීසිය භාර ඇමති පාර්ලිමේන්තුවට ඇවිත් ‘වැඩිදුර පැහැදිලි කිරීම්’ කරනවා. මේක හරිම භයානකයි. එතැනින්ම පේනවා ජාතිවාදය ඇවිස්සීමේ අරමුණ.

‘උන්වහන්සේ සිදුකර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා. බුද්ධි අංශ ශක්තිමත් කිරිම‍ට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා.’

‘ඒ ප්‍රකාශය අපි ගැඹුරින් විශ්ලේෂණය කරන්න ඕනේ. උන්වහන්සේගෙන් මේ ගැන විමසූ විට කිව්වේ ත්‍රස්ත ප්‍රහාර හා කුමන්ත්‍රණ ගැන තමන් කරුණු කිව්වේ අල් කුරානයේ යම් වගන්ති උපුටා දක්වමින් කියලා. ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය අබ්දුල් රාසික්ගේ ප්‍රධානත්වයෙන් පරිවර්තනය කරන ලද කුරානයේ කරුණු පිළිබඳ සජීවි වැඩසටහනක ප්‍රකාශයක් කළා. ඒ වගන්ති නිසා මුස්ලිම් මිනිසුන් අභිප්‍රේරණය වී ත්‍රස්ත ක්‍රියාවන්ට යොමු වීමට ඉඩ තියෙන බව උන්වහන්සේ ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය විසින් 2015 දී සිංහලයට පරිවර්තනය කළ කුරානයේ එම ඝාතන කුමන්ත්‍රණ සැලසුම් යනාදිය ගැන තිබෙන අදහස් වැරදි බව පසුගිය වසර හය තුළම කිසිම මුස්ලිම් ආගමික නායකයෙක් ප්‍රකාශ කර නැති බවත් උන්වහන්සේ කිව්වා.’

ඒත් ඔය දිග පැහැදිලි කිරීම් නෙවෙයි. පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා කවුද කියන නිශ්චිත ප්‍රශ්නය ඇහුවම උත්තර විදියට තමයි ඥාණසාර හාමුදුරුවෝ භයානක කතාව කීවේ. එතැනදී කුරාණයේ පරිවර්තනය ගැන දැන් ගහන බයිලා කතන්දරයක් නෙවෙයි කීවේ.

‘එක් රටක් – එක් නීතියක් නම් එක එක ආගම්වලට එක් එක් නීති තිබෙන්න බැහැ. එම මතවාදය පෝෂණය වෙන්නේ බොහෝවිට එම නීති නිසයි. ඥානසාර හිමි ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි කීවේ අයි.එස්. ත්‍රස්තයින්ට තමන්ට ඕනෑ වෙලාවක ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් නිසයි.’

වගේ කතන්දර කියමින් ඥාණසාර හිමිගේ අන්තවාදී ප්‍රකාශය ආරක්ෂා කරන්න පොලිස් ඇමති ප්‍රසිද්ධියේ කතා කළා. පැහැදිලිවම මේ මුස්ලිම් විරෝධී අන්තවාදී අදහසට රජයේ සහයෝගය ප්‍රකාශයට පත් කළා.

එතැනින් එහාට මුජිබුර් රහුමාන් අන්තවාදියෙක්ද කියා දන්නේ නෑ, ඕනෑ මුස්ලිම් තරුණයෙක් ප්‍රහාර එල්ල කරන්න ඉඩ තියෙනවා වැනි අදහස්වලින් කෙළින්ම පේන්නේ මුස්ලිම් සමාජය සැකකරුවන් කරගෙන ජීවත්වෙන්න ආණ්ඩුව  ලෑස්ති බව.

‘ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් දෙදෙනා ඊබ්‍රහීම්ගේ පුතාලා. ඔවුන් බටහිර විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගත් උගත් තරුණයන්. ඔවුන් පවා අයි.එස්. මතවාදය අනුව දිව්‍යලෝකය හා කන්‍යාවියන් ගැන විශ්වාස කරල මෙවැනි ක්‍රියාකාරකම් සිදු කළා නම් සාමාන්‍ය මුස්ලිම් තරුණයෙක් ඒ මතවාදයට ගැනීම අසීරු කාර්යයක් නොවේ.’

ඔව්, පරීක්ෂණ කරලා ත්‍රස්තවාදය වළක්වන්න ඕනෑ තමයි. ඒත් ඒකෙන් කියැවෙන්නේ නෑ ලංකාවේ එක ආගමකට අයිති ජන සමාජයක් විත්තිකරුවන් කරලා බිත්තියට හේත්තු කරලා ජීවත්වෙන්න ඕනෑ බව. රජයේ ප්‍රතිපත්තිය මේ සරත් වීරසේකර අමාත්‍යවරයාගේ අදහස නම්, ඒක සමගියෙන් යුතු රටක් ගෙනියන්න කිසිසේත්ම උදව්වක් වෙන්නේ නෑ.

ඒ වෙනුවට මේ රාජ්‍යයේ සරණ පැතීමෙන් සාමාන්‍ය මුස්ලිම් ජනයා තව තවත් ඈත් කරන්නයි මේ කතාව හේතු වෙන්නේ. කොච්චර කළත් රජය තමන්ව විශ්වාස නොකරන බව මුස්ලිම් ජනතාවගේ හිතට ඇතුළු කිරීමටයි මේ කතාව හේතු වෙන්නේ. තමන්ගේ හිත රිද්දන, තමන්ගේ විශ්වාසවලට රිද්දන ඕනෑ ප්‍රකාශයක් කරන කෙනෙක්ට නිදැල්ලේ ඉන්න දෙනවා විතරක් නෙවෙයි, ඒ අය වෙනුවෙන් තෝල්කයන් විදියට පාර්ලිමේන්තුවේ කතා කරන්න කැබිනට් ඇමතිවරු ඉදිරිපත් වෙන බව තමයි මේ ඉඟි කරන්නේ.

එක් අන්තවාදයකින් තව අන්තවාදයක් පෝෂණය වෙනවා. මේ රැල්ල ඊළඟට මුස්ලිම් සමාජය තුළ අන්තවාදී අදහස් පතුරුවන්නත් උදව් වේවි.