සීඅයිඩීය කරපු දරුණු වැඩක් චම්පික හෙළි කරයි! ටෙලිෆෝන් කම්පැණි උත්තර බඳින්න ඕනෑ!

සීඅයිඩීය සම්පූර්ණයෙන් නීතිවිරෝධීව පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත හොරකම් කිරීමේ දරුණු ක්‍රියාවක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හෙළිදරව්වක් කළා.

සැප්තැම්බර් 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ අවස්ථාවේ එළියට ඇවිත් මාධ්‍ය අමතනකොට ඔහු ඒ ගැන කීවා.

අධිකරණයක විශේෂ අවසරයක් නැතිව හොරෙන් දූරකථන ඇමතුම්වල තොරතුරු ගැනීම ඉතාම භයානක ක්‍රියාවක්. රජයකට කරන්න පුළුවන් දරුණුම වරදක්. අනෙක් පැත්තෙන් අපේ සල්ලි අරන් සේවා සපයන දූරකථන සමාගම් මේ විදියට අධිකරණ අවසරයක් නැතිව දත්ත සපයන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් අපි විමසන්න ඕනෑ.

අමාත්‍ය චම්පික රණවක සීඅයිඩීයට කැඳවූ අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, මනුෂ නානායක්කාර, රංජිත් මද්දුමබණ්ඩාර, නලින් බණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක ඇවිත් හිටියා.

චම්පික රණවක අමාත්‍යවරයා සීඅයිඩීයෙන් එළියට ඇවිත් කරපු ප්‍රකාශය මේ.

‘අපේ අමාත්‍යාංශය 2018 ආරම්භ කරලා 2019 වර්ෂයේ කරගෙන ගිය ප්‍රවර්ධන වැඩසටහනක් මගින් අමාත්‍යාංශය රුපියල් මිලියන 75ක් අවභාවිත කළාය කියන චෝදනාව යටතේ. චෝදනාව කරලා තියෙන්නේ දැනට අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහත්මයා. මේකේ සත්‍ය තත්වය නම් මේකෙදී කිසිම ප්‍රසම්පාදන වරදක් සිදුවෙලා නැති බව මම පෙන්වලා දුන්නා. 2018 මැයි මාසයේදී අපට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ඒ ඒ අමාත්‍යාංශවල සංවර්ධන කටයුතු ගැන දැනගැනීමට ප්‍රවර්ධන කටයුතු සිදු කරන්න කියලා යෝජනා කළා. ලේකම්තුමා අගෝස්තු මාසයේදී විමසලා තිබුණා ප්‍රතිපාදන කොහෙන්ද කියලා. ඒ අනුව අමාත්‍යාංශයට ලබාදුන්න ප්‍රතිපාදනවලින් සිදු කරන්න කීවා.

ඒ අනුව අපි අතිරේක ලේකම්වරයෙකුගෙන් සංකල්ප පත්‍රිකාවක් ගත්තා. ඒ අනුව කටයුතු කරද්දී දින 52 ආණ්ඩු පෙරළිය සිදු කළේ. 2019 දී නැවත ඒ වැඩසටහන් ක්‍රියාත්මක කළා. අපි මීට කලින් දැක්කා නාගරික සංවර්ධන අධිකාරිය මිලියන ගණන් වියදම් කරලා නළු නිළියන් ගෙන්නලා සංදර්ශන කළා. අපි බැලුවා ඊට වඩා වැදගත් රට වෙනුවෙන් පරාර්ථකාමීව ක්‍රියා කරන මිනිසුන් පිළිබඳ වැඩසටහනක් කරන්න. ඒ අනුව තමයි පන්නරය වැඩසටහන ක්‍රියාත්මක කළේ. ප්‍රසම්පාදන අවැඩක් සිද්ධ වෙලා නෑ. නීතිවිරෝධී කටයුත්තක් වෙලා නෑ.

එකම දේ වැඩසටහන් සම්බන්ධ ආයතනවලට ගෙවීම් කටයුතු පැහැරහැරලා තියෙනවා.

වැදගත් කාරණයක් හෙළිදරව් වුණා. ඒක තමයි මේකට අදාලව ඉන්න අයගේ දූරකථන දත්ත ඒගොල්ලන්ට නොදන්වා, උසාවි නියෝගයකින් තොරව රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයා ලබාගෙන තිබෙන බව. ඒක සම්පූර්ණයෙන් පුද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක්. රහස් පොලීසියට කිසිම අයිතියක් නෑ උසාවියකින් තොරව, අදාල පුද්ගලයා දැනුවත් කිරීමකින් තොරව දත්ත ලබාගන්න. ඒක අපේ පුද්ගලිකත්වය සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක්. මේ රටේ ජනතාව නැගී සිටිය යුතුයි බලය අයුතු ලෙස පාවිච්චි කරලා උසාවි අවසරයකින් තොරව තොරතුරු ලබාගැනීම ගැන.

එය පැහැදිලිවම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන නිදහස, පුද්ගලිකත්වයේ අයිතිය උල්ලංඝනය කිරීමක්.’