මනුෂ්‍යයා තවදුරටත් ස්වාධීනව සිතන්නෙකු සහ ක්‍රියාත්මක වන්නෙකු නොවේ… – කථිකාචාර්ය සුදර්ශණි කුමාරි දමුණුපොල

ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය උදෙසා සිංහල ඩයස්පෝරාවේ බලපෑමට ආදාළ න්‍යායික විවරණයක් සිදු කරගැනීම අවැසිය. මෙම තේමාව සෘජුවම සමපාත වන්නේ නූතන ජාතික රාජ්‍ය පිළිබඳ පවතින න්‍යායික කතිකාව සමඟය- ජාතික රාජ්‍ය සම්බන්ධ විවිධ ගුරුකුලයන් විසින් න්‍යායික පර්යාවලෝකයේ යෙදෙමින් විවිධ ක්ෂේත්‍ර ගණනාවක්ම ආවරණය කරනු ලැබ තිfබි- මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුත්තේ නූතන ජාතික රාජ්‍ය ආරම්භ වූ 18 වන සියවසේ සිට වර්තමානය දක්වාම ජාතික රාජ්‍යය සම්බන්ධ නව දිශානතින්හි දැනුම පුළුල් න්‍යායික පර්යාලෝකය ඉදිරිපත් කිරීම විවිධ ස්වරූපයෙන් සිදු වී ඇත.

ඒ අනුව පැහැදිලි වන්නේ ජාතික රාජ්‍ය ආකෘතියෙහි උපනතියක් ලෙස බිහි වු ඩයස්පෝරාව සම්බන්ධව විවිධ න්‍යායික ප්‍රවේශ හඳුනා ගතහැකි බව යි. ඒ අනුව මූලික වශයෙන් ජාතිය, ජාතිකවාදය සම්බන්ධව නූතනවාදී ප්‍රවේශයෙන් අර්නස්ට් ගෙල්නර් සහ බෙනඩික්ට් ඇන්ඩර්සන් ගොඩනගන ලද න්‍යායන් වැදගත් විය. චිරන්තනවාදයෙන් සපුරාම වෙනස් වූ අර්නස්ට් ගෙල්නර් දක්වනුයේ චිරන්තනවාදය තුළ ජාතිය පිළිබඳ හැඟීම මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසයේ ඈතටම දිවෙන බව සහ ‘ජාතිය’ හැටියට මනුෂ්‍යයින් සකස්වීම ‘ස්වාභාවික’ දෙයක්ය යන අදහස ප්‍රතික්ෂේප කරමින් ජාතිය යනු ස්වාභාවික දෙයක් හෝ පෞරාණික දෙයක් නොව එය මනුෂ්‍ය සමාජය කෘෂිකාර්මික සමාජයෙන් වෙනස් වී කාර්මික සමාජය බවට පත් වූ සන්දර්භය තුළ ගොඩනැගුණු නූතන ප්‍රපංචයක්ය යන තීසිසය දක්වා ඇත.

ඒ තුළ තවදුරටත් න්‍යායාත්මක පර්යාවලෝකනයක යෙදෙමින් බෙනඩික් ඇන්ඩර්සන් ජාතිකවාදයේ ප්‍රභවය සහ එහි පැතිරීම සම්බන්ධ වැදගත් සහ සුප්‍රසිද්ධ න්‍යායක් ඉදිරිපත් කර ඇත.


ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය උදෙසා සිංහල ඩයස්පෝරාවේ බලපෑම සම්බන්ධ ජාතිකවාදය පිළිබඳ න්‍යායාත්මක ප්‍රවේශය සෘජුව අදාළ කරගත හැකිය. මෙලෙස ජාතිකවාදය සමග සමපාත වීමෙන් ජාතික රාජ්‍ය බිහිවීම සහ එහි ව්‍යාප්තිය සම්බන්ධව ඇන්ඩර්සන් දක්වන ජාතිකවාදය පිළිබඳ ප්‍රවේශය වැදගත් වුවද එය යුරෝපය කේන්ද්‍ර කොටගෙන ගොඩනැගුනු හෙයින් මෙම න්‍යාය යටත්විජිත රාජ්‍ය සඳහා ද එක සේ අදාළ කරගත හැකි ද යන ප්‍රශ්නය ගොඩනැගේ- මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුත්තේ නූතන ජාතික රාජ්‍ය සමග සෘජුවම සමපාත වන ලිබරල්වාදය, මාක්ස්වාදය, ව්‍යුහවාදය, ස්ත්‍රීවාදය, ආදී විවිධ ගුරුකුලයන් ඔස්සේ අවධානයට ලක් කොට තිබිණ- 19 වන සියවසේ මුල් කාලයේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලියූ ඇලෙක්සි තොක්විල්ගේ ද, රොබට් පට්නම් හා ෆැන්සිස් පුකුයාමා වැනි අයගෙන් නියෝජනය කරනු බලන වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රවාහය පිළිබඳ න්‍යායික ප්‍රවේශයේ මංපෙත් විවර කර ගැනීම සිදු කළ හැකිය-

එමෙන්ම නීරා චන්fදාක් හා පර්තා චැටර්ජි වැනි සමකාලීන ඉන්දියානු න්‍යායවේදීන්ගේ ජාතිකවාදය පිළිබඳ ලිබරල් ප්‍රහේලිකාව සම්බන්ධ අදහස් මගින් ගොඩනඟන න්‍යායික ප්‍රfවිශද මෙහිදි වැගත්ය.


කෙසේ වෙතත් ශ්‍රි ලංකාවේ තත්වානුරෝපිත තත්වයන්ට සමපාතව පියරේ බෝදියෝගේ Habitus සංකල්පය වැදගත්ය- බෝදියෝගේ Habitus සංකල්පය මගින් ගම්‍යමාන කරනු ලබන “ගති පැවතුම් රාමුව” නම් සංකල්පය තුළින් පුද්ගලයා දෛනික ජීවිතයේ දී සිදුකරන්නාවූ සමාජ භාවිතයන්හි ප්‍රකාශනය දෘශ්‍ය කරනු ලබන්නේ ය. එක් එක් පුද්ගලයා සතු චර්යා, පුරුදු ස්වකීය චර්යාවේ අනිවාර්ය අංග ලෙස පුද්ගලයා සමග බැඳී පවතිනු ලැබේ. මෙම භාවිතාවන් හුදෙක් තනි පුද්ගල භාවිතාවන් නොවන අතර සමාජ භාවිතාවන් බවට පත්වන්නේය. ඒ අනුව බෝදියෝගේ මෙම සංකල්පය නිර්මාණය කළේ සමාජ චර්යාව පිළිබඳ පැවති ව්‍යුහවාදී සහ සංදෘෂ්ටිකවාදී ද්විත්ව විභේදනයන්, එනම් වාස්තිකවාදී හා මනෝමූලිකවාදී ද්විත්ව විභේදනයන්ගෙන් වියුක්ත වීම සඳහා ය.

බෝදියෝ ස්වකීය සමාජ න්‍යායේ දී අවධානය යොමු කළ මුඛය කරුණ වූයේ සමාජ ජීවිතය යන්න තනි තනි පුද්ගලයන්ගේ හුදකලා චර්යාවේ භාවිතාවන් සමග බැඳී තිබී, එය විසින් ම නිර්මාණය වන්නකි යන අදහස මත ගොඩ නැගිණි. Practical Reason නම් පොතේ බෝදියෝ සමාජ න්‍යාය තුළ ්‍Habitus යනු “space of disposition˜” යනුවෙනි. (Bourdieu”,1997,7) බෝදියෝ අර්ථ දක්වා ඇති ආකාරයට “හිතන මතන රටා පදනම් වන සමාජ අවකාශය” ලෙස දැක්විය හැක්කේ ය.

මෙය පුද්ගල ආකල්පය පමණක් නොව මනුෂයන්ගේ සියලුම ආකල්පයන්ද අන්තර්ගත වන හැගීම් සහ සිතුවිලි රටා පද්ධතියක් ද වන්නේ ය. මෙහි දී බෝදියෝගේ Disposition යන සංකල්පය භාවිත කර ඇති අතර එමඟින් අර්ථ ත්‍රිත්වයක් හැඟවෙන බව බෝදියෝ දක්වයි. පළමු ව ව්‍යුහය සහ වචනයෙන් දෙන අර්ථයට සමාන වන්නේ ය. දෙවැන්න පුද්ගල ජීවන රටා පුරුදු සහ හැසිරීම් ය. තෙවැන්නෙන් පෙර නැඹුරු ව, ප්‍රවණතාව, රුචිය යන අදහස් වන්නේ ය. (Bourdieu”,1997,21)


Habitus යනු මෙපරිදි කාලයක් තුළ වත්නා ගති පැවතුම් ව්‍යුහයන් ය. මෙම තත්ත්වය සමාජමය එකිනෙකින් නිශ්චිත ලෙස වෙන් කොට දක්වා ඇති භාවිතාවන් උත්පාදනය කරන්නා වූ මූලධර්මයන් ය. එක් පුද්ගලයෙකු දරන දේශපාලන අදහස් සහ එම අදහස් ප්‍රකාශ කරන ආකාර සහ චර්යාවන් තවත් පුද්ගලයෙකුගේ අදහස් සහ භාවිතයන් සමග පුද්ගල චර්යාව කෙරෙහි බලපානු ලැබේ. වර්ගීකරණ මූලධර්ම සහ දැකීමේ සහ විභේදනයන් වෙනස් අභිරුචියන්වලත් මූලධර්මද වන්නේ ය. දැකීම හුදෙක් සංජානනය පිළිබඳවම සමාජ ප්‍රභේදයන් වන්නේ ය. ඒ අනුවHabitus සහ Disposition යන සංකල්ප ද්විත්වය පුද්ගලයන්ගේ සහ පුද්ගල කණ්ඩායම්වල සමාජ භාවිතාව පිළිබඳව වාස්තිකවාදී සහ මනෝමූලිකවාදී සංයෝජනය කරමින් නව මානයක් ඉදිරිපත් කිරීමට බෝදියෝ විසින් ප්‍රයන්ත දරන ලදී. තනි පුද්ගල ගතිපැවතුම් රටා Disposition සමාජ ව්‍යුහාත්මක ප්‍රවණතාවයක් ඇති Habitus පවතින්නේ ද, පුනර්නිර්මාණය වන්නේ ද පුද්ගලයාගේ ගති පැවතුම් රටා අතර පවත්නා දයලෙක්තික එනම් අන්‍යෝන්‍ය සම්බන්ධ ලෙස බෝදියෝ මෙම සම්බන්ධය හඳුන්වනු ලබයි. පුද්ගලයෙකුගේ සිතන පතන රටා යනු සිතීම, දැකීම සහ ක්‍රියාකාරීත්වය සඳහා තනි පුද්ගලයන් අත්පත් කරගත් ඒවා නම්, ඒවා වනාහි ඔවුන් මුහුණ දෙන්නා වූ වාස්තවික තත්ත්වයන්ට, ව්‍යුහයන්ට ඔවුන් දක්වන ප්‍රතිචාරයන් ය. වාස්තවික සමාජ ව්‍යුහයන් සමාජ පාත්‍රයන්ගේ මනෝමූල මානසික අත්දැකීමට සම්බන්ධ කර න්‍යායගත කිරීම බෝදියෝගේ ප්‍රයන්තය වූයේය.


බෝර්දියෝට අනුව සමාජ භාවිතාව යනු පුද්ගලානුබද්ධ නෛතික කරුණක් නොව එකී මූලධර්මයන් ද්විත්වය යා කරමින් ව්‍යුත්පන්න වූ පුරුද්දක් Habitus වන්නේ ය. පුරුදු ව්‍යුහගත වූ පසු ව්‍යුහයක් වන අතර එහි සමාජ කොන්දේසි මුල්බැස ඇත්තේ ය. පුරුදු නිර්මාණය වීමේ දී ආර්ථික ප්‍රාග්ධනයේ, සමාජ ප්‍රාග්ධනයේ සහ සංස්කෘතික ප්‍රාග්ධනයේ බලපෑමට නතු වේ. එසේම මෙම ප්‍රාග්ධනයන් මගින් බලය නිපදවෙන අතර එම බලය දේශපාලන ක්ෂේත්‍රයේ දී විශේෂයෙන්ම නෛතික බලයක් ලෙස යොදා ගැනීමට හැකි අතර එය නියෝජනය තුළ දී වැදගත් භූමිකාවක් නිරූපණය කරනු ලබන්නේ ය.


ඒ අනුව බෝදියෝගේ සමාජ භාවිතාව නම් තර්කය මගින් පැහැදිලි කර ගත හැකි වන්නේ, ධනවාදී සමාජයේ මූලික අභ්‍යුපගමනයන් සුජාත කරලීම සහ පුනර්නිෂ්පාදනය කිරීම උදෙසා බෝදියෝ යොදා ගත් එම තර්කය නූතන ජනවාර්ගික විභේදන සහිත සහ ගැටුම් සහිත දේශපාලන වපසරියකට අනුබද්ධ කළ හැකි බව යි. එලෙස අනුබද්ධ කිරීමට හේතුව වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ තම වාර්ගික අනන්‍යතා මාදිලීන් සමග ජීවත් වෙමින් එහි පැවැත්ම සුරක්ෂිත කිරීමට උත්සාහ කරන ජනතාව බෝදියෝ ඉදිරිපත් කරන තර්කය හා සමග්‍රාහී වෙමින් සමාජ භාවිතාවන් සහ ඒ වෙනුවෙන් උත්පත්තිය ලබන වාස්තවික ප්‍රස්තූතයන් සමග සෘජු ව ගනුදෙනු කරමින් පැවැත්ම සුරක්ෂිත කර ගැනීමේ කලාව සමග සම්බන්ධ වන නිසාවෙනි. ඒ අනුව ඩයස්පෝරාව යනු ඒ ආයාකාරයට තම අභිලාෂ සහ අවශ්‍යතා පුනර්නිෂ්පාදනය කරමින් එවැනි සමාජ භාවිතාවන් පූර්වාදර්ශයක් කරගනිමින් වර්තමානයේ ජීවත් වන්නන්ට සහ අනාගතය තම ජාතීන් නිෂ්පාදනය වන තමන්ගේ නව ජනවර්ගයන්ගේ කොටස්වලට මෙම තර්කය සදාතනික කිරීමට උත්සාහ කරන පිරිසක් වන හෙයිනි.


ලුවී අල්තුසර් විසින් ගොඩනගා ඇති මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ මනුෂ්‍ය කර්තෘකයා ඉක්මවා යන ව්‍යුහාත්මක බලපෑම යන්න එහි හරය වේ. මනුෂ්‍යයා තවදුරටත් ස්වාධීනව සිතන්නෙකු සහ ක්‍රියාත්මක වන්නෙකු නොවේ. ඔහු සිතන්නේ සහ ක්‍රියාත්මක වන්නේ බාහිරෙන් ඔහුට වන බලපෑම් නිසා ය. ඒහෙයින් මනුෂ්‍යයා යනු ඔහුට බාහිරෙන් පවතින භෞතික හා අභෞතික ව්‍යුහයන්ගේ බලපෑම මගින් ක්‍රියාත්මක වන්නෙකි. “මතවාදී යාන්ත්‍රණවලට පහත සඳහන් ආයතන අයත් වන බව අල්තුසර් සඳහන් කරයි. ආගමික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය, අධ්‍යාපනික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය, පවුල නැමැති රාජ්‍ය යාන්ත්‍රණය, දේශපාලන මතවාදී යාන්ත්‍රණය (දේශපාලන පක්ෂ) සන්නිවේදන මාධ්‍ය රාජ්‍යය යාන්ත්‍රණය (පුවත්පත්, ගුවන්විදුලි යනාදිය) සංස්කෘතික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (සාහිත්‍ය,ය කලාව, ක්‍රීඩාව යනාදිය)” ලාංකේය සන්දර්භය තුළ ආගම සහ ජාතිය යන්න ප්‍රබල ව්‍යුහාත්මක කර්තව්‍යයක් ඉටු කරන්නකි. විශේෂයෙන්ම ලාංකේය රාජ්‍ය යන්න බෞද්ධාගමිකරණයට ලක් වූ එකකි.

මෙහි දී මතවාදීමය රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ ජාතිකවාදී තර්කනයට පක්ෂපාතී වන ඇසුරිනි. එම නිසාම මවුබිමෙන් බැහැරව වූ විසිරී සිටින ජන ප්‍රජාව සිය පෞද්ගලික අභිලාෂ, පෞද්ගලික අභිලාෂයන්යන් අභිභවමින් සිය ජාතිකවාදය විසිරණය කිරීම ද ඒ අනුව සිදුවන බව ගම්‍ය වන්නකි.