ආර්ථිකයෙන් පැත්තක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නැතිව ආර්ථිකය මෙහෙයවීම ආණ්ඩුව මුල සිටම දැරූ ස්ථාවරයක් විය. මහ බැංකුවේ අධිපතිව සිටි මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා ද න්‍යායානුකූලව එම ස්ථාවරයේ සිටියේය. එහෙත් ආණ්ඩුවේ ආර්ථික දර්ශනයක් නැතිව කෙරෙන වැඩ හා හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ආර්ථික දර්ශනය අතර කිසියම් ආකාරයේ නොපෑහීමක් ද ඒ අතරේම තිබුණේය. පසුකාලීනව ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන ගැන තිබූ ස්ථාවරය තරමක් වෙනස් වූ අතර සල්ලි අච්චු ගැසීමේ කලාව ගැන ද මහාචාර්ය ලක්ෂ්මන්ට පැහැදීමක් තිබුණේ නැත. විශේෂයෙන්ම 2022 වසර සඳහා වූ අයවැය ගොඩදාගැනීම සඳහා මහා පරිමාණයෙන් මුදල් අච්චු ගැසීමේ පැත්තට තල්ලුවෙද්දී මහාචාර්ය ලක්ෂ්මන් යනු බාධකයක් බව කල්තියාම ඇතැමුන්ට පෙනුණි. ගමේ භාෂාවෙන් කිවහොත් අන්තිමේදී වූයේ තමන් පත් කළ මිනිහාම තමන්ගේ ඇහේ ඇනෙන කටුවක් බවට පත්වීමය. එහෙත් එසේය කියා එක්වරම මේ නාමධාරී ප්‍රාමාණිකයා පුටුවෙන් එලවාදැමීම ද පහසුවෙන් කළ හැකි දෙයක් නොවීය.
වෘත්තීයභාවයකින් තොර තැනැත්තකු මහ බැංකුවේ මහ පුටුවටම පත්කරගත් විට වාණිජ බැංකුවලට සෘජුව නියෝග දීමේ පහසුවක් ආණ්ඩුවකට ඇතිවේ. මෙය තවදුරටත් මෙසේ පැහැදිලි කළහැකිය. වාණිජ බැංකුවලට උපදෙස් දීමේදී මහ බැංකු සංස්කෘතියේ ශිෂ්ට ප්‍රයෝග පවතී. එහි වචනාර්ථයෙන්ම ගත්කළ ඒවා ප්‍රයෝග බව කවුරුත් දනිති. එහෙත් ඒවා ශිෂ්ට විය යුතුය. එහෙත් වෘත්තියභාවය ව්‍රතයක් කර නොගත් අයකු එවැනි තැනකට පැමිණි විට මේ ශිෂ්ට ප්‍රයෝගවලින් පලක් නැත. ලංකාවේ ආණ්ඩුකරණයේදී පමණක් නොව ඇතැම් පරිපාලන කටයුතුවලදී ද බොහෝවිට මේ ශිෂ්ට ප්‍රයෝග යොදාගැනෙන්නේ නැත. ඊට හේතුවත් අපේම සංස්කෘතියයි. ඇතැම්විට අපේ සමාජ ආයතන මාර්ගෝපදේශවලට ඇහුම්කන්දෙන්නේත් ඒවා නිර්දේශවලට වඩා නියෝග ලෙසින් පැමිණි කලය. පාසලේ සිසුවා පාඩමට බාධා නොකරන්නේ ගුරාට යක්ෂයා ආවේෂ වූ පසුය. මේ තත්ත්වය ලංකාවේ වාණිජ බැංකු අරභයා ද යම් ආකාරයකට පොදු තත්ත්වයකි. ඇතැම්විට ඔවුන්ටත් ශිෂ්ට ප්‍රයෝග ගැලපෙන්නේ නැත. ඒ අර්ථයෙන් ගත්කළ නම් ඔවුන් අපේක්ෂා කරන ආකාරයේ මග ඵල ලැබීමට හැකි චරිතයක් මහ බැංකුවටත් දැන් ලැබී තිබේ. එසේ ගත්කළ ඕනෑම තත්ත්වයක් යටතේ මහ බැංකු හසුරුවාගත හැකි තත්ත්වයක් ආණ්ඩුව විසින් දැන් නිර්මාණය කරනු ලැබ තිබේ.
මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා ධුරයට සමුදෙන්නට පෙර කීවේ තමා විශ්වාස කළ දර්ශනයට අනුව හෘද සාක්ෂියට අනුව මහ බැංකුවේ පාලනය හෙබ වූ බවය. ඔහු කතා කළේ වේදනාවෙනි. ඒ වේදනාවට පදනම් වූ දර්ශනයට ද කිසියම් ශාස්ත්‍රීය ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ලක්ෂ්මන් යනු ආර්ථික විද්‍යාව නමැති විෂයට නව දැනුමක් එක් කිරීමට කැප වූ ප්‍රාමාණිකයෙකි. එම ඉතිහාසයෙහි ඔහු තබා ඇත්තේ ශාස්ත්‍රාලීය සලකුණකි. 1981 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම මහාචාර්ය පදවියට පත් වූ මේ මහාචාර්යවරයා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස විශ්‍රාම ගත්තේ ධුරයෙහි වසර 25කට වැඩි කලක් සේවය කිරීමෙන් අනතුරුවය. එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරය ද හෙබ වූ ඔහු ඔක්ස්ෆර්ඞ්හි ආචාර්ය උපාධිධාරියෙකි. දේශපාලන ආර්ථික විද්‍යාව, දකුණු ආසියාවේ ආර්ථික සංවර්ධනය, දකුණු ආසියාව තුල ජපන් ආයෝජන සහ ශ්‍රී ලංකාව තුල ව්‍යුහාත්මක ගැලපීම් පිළිබඳ ප්‍රතිපත්ති ආදී විවිධ මාතෘකා ඔස්සේ පර්යේෂණ ලිපි රාශියක් සම්පාදනය කළ හෙතෙම අධ්‍යාපනඥයකු ලෙස ද රටවල් ගණනාවකට තම සේවය සැපයූවෙකි. එසේ ගත්කළ නම් මහාචාර්ය ලක්ෂ්මන් මහතාට හටගත් හෘදසාක්ෂියේ දාර්ශනික ප්‍රශ්න අජිත් නිවාඞ් කබ්රාල් මහතාට ඇති නොවනු ඇත.
අනෙක් වැදගත්ම කරුණ වන්නේ තමන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවස්ථාවක් ලැබුණු බව මහාචාර්යවරයාම කීමයි. එහෙත් කිසිදු තනතුරක් බාර නොගෙන විශ්‍රාම දිවිය පොත් ලිවීම සඳහා කැප කරන බව ද ඒ සමගම ඔහු කීවේය. සැබැවින්ම මහාචාර්ය ලක්ෂ්මන් යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දර්ශනය සමග කිසි ලෙසකින් පෑහෙන්නෙක් නොවේ. එසේ නම් එවැන්නෙකුට අවස්ථාවක් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙළඹීම විරුද්ධාභාසයකි. ඒ තුළ බොහෝදුරට ඇත්තේ දේශපාලනයක් මිස වෙන යමක් විය නොහැකිය. මුලදී ආණ්ඩුවත් මහාචාර්ය ලක්ෂ්මනුත් සිටියේ එකම පීල්ලේය. වෙන පීල්ලක සිටියේ මූල්‍ය අරමුදලය. එහෙත් දර්ශනයක් නැතිව සැකසූ ආර්ථික ගමන්මගේදී හිටි ගමන් පීල්ල මාරු කරන බව පෙනුණේ ආණ්ඩුව පැත්තෙනි. අවසානයේදී මූල්‍ය අරමුදල හා ආණ්ඩුවේ අවශ්‍යතාව සමපාත වෙද්දී වෙන පීල්ලක යන තැනට වැටුණේ මහ බැංකු අධිපතිවරයාය. ඒ අර්ථයෙන් ගත්කළ මහාචාර්ය ලක්ෂ්මන් මහතාට මූල්‍ය අරමුදලෙන් දෙන්නට හැදූ අවස්ථාව හුදු අවස්ථාවක් නොවේ. අනෙක් අතට ඒ ගැන ඔහුට කලින් මහජනතාවට දැනුම්දීමට ද කිසියම් ප්‍රචාරාත්මක වැඩක් සංවිධානාත්මකව දියත් වූ ආකාරයක්ද අපට පෙනුණි. මේ ආකාරයට චිත්‍රය ඇඳ බලද්දී නම් මේ අවස්ථාව යනු ආණ්ඩුවේ පැත්තෙන් අඬුව පාවිච්චි කර අත පරෙස්සම් කරගැනීමකි. මහාචාර්යවරයාගේ පැත්තෙන් පල නොකියා පලා බෙදීමකි. එසේ බලද්දී කිසියම් ආකාරයකට මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහාචාර්ය ලක්ෂ්මන් ධුරයෙන් ඉවත් කරනු පිණිස පහසුකම් සපයන්නාගේ භූමිකාව රඟ දක්වා ඇතැයි කෙනෙකුට සිතුනහොත් එහි වරදක් නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් සහාය ගෙන ආර්ථික වැඩපිළිවෙල යළි සකසා ගත යුතු බව අප කීවේ ආණ්ඩුව පත් වූ මුල් අවධියේදීමය. ආණ්ඩුව හිටියේ ඊට මු`ඵමනින්ම ප්‍රතිවිරුද්ධ තැනකය. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් නව මහ බැංකු අධිපතිවරයා පසුගිය ආසන්න මාසවලදී කළ ප්‍රකාශ පවා පුදුමය දනවනසු`ඵ නොවේදැයි කෙනෙකුට සිතිය හැකිය. එහෙත් දේවල් සිදුවන ආකාරයට අනුව නම් පෙනෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක වෙමින් පවතින බවය. නිවාඞ් කබ්රාල් මහතා ධුරය බාරගෙන කෙටි කලෙකින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු ආරම්භ කිරීමට ද ඉඩ තිබේ. එසේ බලද්දී මහ බැංකුවේ පහළොස් වැනි අධිපතිවරයා පසුගිය 14 වැනිදා තම ධුරයට සමුදීමට වඩා කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා පාර කැපීම වෙනුවෙන් තම බෙල්ල දීම යැයි කීමෙහි වරදක් නැත.
සටහන – බිඟුන් මේනක ගමගේ