දැඩි තීන්දු නෑ! ශ්‍රීලනිප,විමල්,වාසු ඇමෙරිකන් ගිවිසුම බොරු නාට්‍යයක්ද?

ඇමෙරිකානු සමාගමක් වෙත කිසිම තරගකාරී මිල ගණන් කැඳවීමක් නැතිව, ශ්‍රී ලංකාවට අවාසි සහගත ලෙස යුගදනවි බලාගාරයෙන් සීයට 40ක් ලබා දීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළාටත් පස්සේ අගමැති සහ ජනාධිපති දෙපළ එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන බව විමල් පිල කියනවා.

ජනාධිපතිතුමා ආපු ගමන් සාකච්ඡා කරනවාලු.

ඒත්, විහිළුව තමයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි එක්ක වෙනම සාකච්ඡා කරන්න ඕනෑ නැති වීම. හැම සතියටම වතාවක් කැබිනට් මණ්ඩලය කියලා කොරන්නේ ජනාධිපති, අගමැති, මුදල් ඇමති ප්‍රමුඛ ආණ්ඩුවේ නායකයන් සියලුදෙනා සාකච්ඡා කිරීම තමයි. මේ තීන්දු ඔක්කොම ගන්නේ එතැනදී තමයි. මේ කියන පක්ෂ 11 නියෝජිතයන් අතර කැබිනට් ඇමතිවරුන් 5 දෙනෙක් ඉන්නවා.

ඒත්, වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සාකච්ඡාව ඉවරවෙලා එළියට ආ වෙලාවේ කීවා කැබිනට් මණ්ඩලයේදී මේ ගිවිසුම ගැන වැඩි වශයෙන් සාකච්ඡා නොකළ බව.

කැබිනට් මණ්ඩලය කියන්නේ රාජපක්ෂවරුන්ට ඕනෑ හැටියට තීන්දු ගන්න ආයතනයක්ද? එතැනදී කතා කරන්න නොහැක්කේ ඇයි? කැබිනට් පත්‍රිකාවවත් අතට නොදි මේකට අනුමැතිය අරන්, ගිවිසුම් අත්සන් කරපු කතාව ඇත්තක්ද? වගේ ප්‍රශ්න විමසන්න එතැන හිටපු කිසිම මාධ්‍යවේදියෙක් සමත් වුණේ නැහැ.

සැප්තැම්බර් 21 වැනිදා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නියෝජිතයන් හැන්දැවේ බොරැල්ල කොටා පාරේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්වුවා. ඔය පක්ෂවල කණ්ඩායම සාමාන්‍යයෙන් සතිපතා රැස්වෙනවා.

ඒ වෙද්දී ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ මේ අය ආණ්ඩුවෙන් යන්න පවා ලෑස්තියි කියලා. ඒත්, අන්තිමේ ආණ්ඩුවේ ඉන්න ගමන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ක සාකච්ඡාවක් කරන්න විතරක් මේ අය එකඟ වෙලා. කැබිනට් සාකච්ඡාවල ඔය කියන නායකයන් එක්ක එකට ඉඳගත්ත මේ අය, අලුතෙන් සාකච්ඡා ඉල්ලීමෙන් අපට නැගෙන ප්‍රශ්නය තමයි සැබෑ සටනක් නොකර ව්‍යාජ විරෝධයක් පෙන්වන්න උත්සාහ කරනවාද කියා.

මීට කලින් 20 සංශෝධනයේදී වාගේ නිහඩව අත ඉස්සීමට තමයි වැඩි ඉඩක් තියෙන බව පෙනෙන්නේ. මේ ගිවිසුම ක්‍රියාත්මක කළොත් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවක් හෝ එවැනි කිසි දැඩි තීන්දුවක් නෑ.

කොහොම වුණත් නැගෙනහිර ජැටියට අදාල තීන්දුව වෙනස් කරන්න මැදිහත් වුණා වාගේ මෙදා පාරත් කෙළවරපිටිය යුගදනවි බලාගාරය රැකගන්නවා කියලා ඔවුන් කියා තිබෙනවා.