හොඳ කාරක සභා අහෝසි කරලා, රාජපක්ෂලා ගෙනා හෙංචයි කාරක සභාවකදී විපක්ෂය නිහඬ කරලා! මේක ලොකු කතාවක්!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සැප්තැම්බර් 21 වැනිදා වනජීවී අමාත්‍යාංශයේ උපදේශන කාරක සභා රැස්වීමේදී අලි පැටවුන් නිදහස් කිරීම ගැන ප්‍රශ්න කළාලු. ඒ වෙලාවේ ඔවුන්ට ප්‍රශ්න කරන්නට ඉඩ නොදුන් නිසා උණුසුම් තත්වයක් ඇති වුණාලු.

ඒ සිදුවීම ගැන පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රශ්න කර තිබුණා.

මෙතැන ලොකුම ලොකු කතාවක් තියෙනවා. පසුබිම් කතාවක්.

ලෝකයේ ඕනෑ තැනක පාර්ලිමේන්තු (කොංග්‍රසය, රාජ්‍ය මන්ත්‍රණ සභාව වගේ වෙන නම්වලින් වුණත්) තියෙන්නේ නීති හදන්න, අයවැය සම්මත කරගන්න වගේම රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්න. ඕනෑ තැනක පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙ එක ප්‍රධාන වැඩක් තමයි රටේ රජය යටතේ තියෙන හැම විෂයක්ම ගැන කාරක සභා විදියට රැස්වෙලා සාකච්ඡා කිරීම. ඒ ඒ ආයතනවල නිලධාරීන් ගෙන්නලා ප්‍රශ්න කිරීම.

ඒත් ලංකාවේ මේ ක්‍රමයේ අවුලක් තිබුණා.

ඔබට පෙනෙනවානේ. වනජීවී අමාත්‍යාංශයේ උපදේශන කාරක සභාව වගේ විවිධ අමාත්‍යාංශවල නම්වලින් තමයි දැන් පාර්ලිමේන්තුවේ විෂයන් පිළිබඳ කාරක සභා තියෙන්නේ. ඔය කාරක සභාවල ලොකු පුටුවේ ඉන්නේ ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති වගේ අය. විපක්ෂයේත් ඇතුළු මන්ත්‍රීලා ඉන්නවා තමයි. ඒත් කාරක සභාව බොහෝ විට යන්නේ ඇමතිගේ වුවමනාවට. අනෙක ඒ ඒ අමාත්‍යාංශවල නොගැලපෙන විෂයන්, ආයතන අනුව කාරක සභාත් බොහෝ විකාර බවට පත් වුණා. යම් විෂයක් ගැන විශේෂඥ දැනුමක් තියෙන මන්ත්‍රී කෙනෙක්ට ඒ විෂයට දායකත්වයක් දෙන්න බෑ. මොකෝ එයාගේ විෂය අමාත්‍යාංශ හැටහුටහමාරකට කඩලා තියෙන්නේ.

දැන් සැප්තැම්බර් 21 වැනිදා මේ කියන සිද්ධියේදී වෙලා තිබුණේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරපු ප්‍රශ්න කිරීම්වලට ආණ්ඩුව පැත්තෙන් ඉඩ නොදීම. ඒකට එරෙහිව මනූෂ සහ හරීන් මන්ත්‍රීවරුන් දෙන්නා නැගිටලා ඇවිත්.

මේ ආණ්ඩුවේ පදේට නටන කාරක සභා ක්‍රමය වෙනස් කරන්න කියලා ලංකාවේ ලොකු කතාබහක් තිබුණා. 2015න් පස්සේ ලොකුම ලොකු වෙනසක් වුණා. ඒ අනුව ආංශික අධීක්ෂණ කාරක සභා කියන එක ආවා.

ඒක සරලයි. ඇමති මොන රාළහාමි වුණත්, අමාත්‍යාංශය තක්කාලියි බෝල්ට් ඇනයි වගේ එකිනෙකට නොගැලපෙන විෂයන් ඔබලා කොහොම ඇටෙව්වත් පාර්ලිමේන්තුවේ කාරක සභා ඒ ඒ විදියට කැඩෙන්නේ නෑ. ඒ වෙනුවට නිශ්චිතව පාර්ලිමේන්තුවෙන් මුදල්, අධ්‍යාපන, නීති ආදී වශයෙන් ඒ ඒ විෂයන් බෙදලා, ඒ ඒ විෂයන්ට අයිති ආයතන දාලා කාරක සභා හැදුවා. ඒ ඒ කාරක සභාවල ලොක්කා විෂය භාර ඇමති හෝ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිලා නෙවෙයි.

ඒ වෙනුවට පක්ෂ, විපක්ෂ මන්ත්‍රීලා ඒ ඒ කාරක සභාවලට වෙනම පත් කරගන්නවා. විශේෂයෙන් පසුපෙල අයට විශේෂ චාන්ස් එකක් ලැබුවා යම් විෂයක් ගැන ආයතන ගැන ප්‍රශ්න කරන්න, කතා කරන්න, ප්‍රතිපත්ති හදන්න, අඩුපාඩු පෙන්වන්න. පාර්ලිමේන්තුව හැබෑවටම ප්‍රතිපත්ති සම්පාදනය කරන තැනකට හැරෙන වැඩක් වුණා ඒක.

මේක ජාත්‍යන්තර ලෙවල් එකේ හොඳම ප්‍රතිපත්ති සම්පාදන රාමුවකට ගෙනියන්න තව එක දෙයයි විය යුතුව තිබුණේ. ඒ තමයි මේ කාරක සභාවල සාකච්ඡා මාධ්‍යවලට විවෘත කරන එක. පාර්ලිමේන්තු පියෝ ටීවී නාළිකාවෙන් සහ යූටියුබ් එකෙන් විකාශය කරන එක. ඇමෙරිකාවේ එහෙම දැවෙන ප්‍රශ්න ගැන මහා සංවාද හැදෙන්නේ, ඒවා විසඳෙන තැනට පසුබිම හැදෙන්නේ කොංග්‍රස් එකේ කාරක සභාවල සාකච්ඡා අනුව. මාධ්‍යවේදීන්, වෘත්තිය සමිති, සිවිල් ක්‍රියාකාරීන් වගේ හැමෝම විවිධාකාර ආයතනවල ප්‍රශ්න ගැන, අඩුපාඩු ගැන, අවුරුදු ගණන් දිවෙන මහා අර්බුද ගැන හරියට තොරතුරු දැනගන්නේ ඔය කාරක සභාවලදී හෙළිවෙන දේවල් මත.

කෙළින්ම මහජන පඩි කන නියෝජිතයාගෙන් උපරිම වැඩ ගන්න ආකෘතියක් ඒත.

ඒත්, රාජපක්ෂ පාලනයට මොන ප්‍රතිපත්තිද? මොන විධිමත් පාලන ක්‍රමයක්ද? ඒ වෙනුවට ආපු ගමන් පාර්ලිමේන්තුව ඇතුළේ ස්වාධීන හඬක් නැගෙන ඒ ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමේ විනාස කළා. ඇමතිගෙ පදේට, ආණ්ඩුවේ පදේට නටන කාරක සභා සිස්ටම් එක ආයෙත් හැදුවා.

ඒ ලොකු අවුලේ තවත් එක ප්‍රතිඵලයක් තමයි හරීන්, මනූෂ මන්ත්‍රීවරුන් රටේ ලොකු ප්‍රශ්නයක් වන අලි ප්‍රශ්නය ගැන ප්‍රශ්න අහන්න ගියාම ආණ්ඩුවේ සද්දෙන් කට වසා දැමූ අවස්ථාව.