සිපෙට්කෝ ‘ලංකා ගෑස් නමින්’ ගෑස් බිස්නස් කරන්න යනවාලු! මේක අලුත් අර්බුදයක මුලද?

සිපෙට්කෝ එක හදිසියේ ගෑස් බිස්නස් එකට බහිනවාලු. ඒක අලුත් අර්බුදයකට මුල වෙන්නත් පුළුවන්. මොකද ලංකා ගෑස් නමින් ලංකාවේ ගෑස් වෙළඳපොළට එකතු වෙන්නේ අලුත් ගෑස් තොගයක් නෙවෙයි.

ඒ වෙනුවට දැනටමත් සීයට 80ක් ලිට්රෝ සහ සීයට 20ක් ලාෆ් විදියට බෙදිලා තිබුණ ගෑස් වෙළඳපොළේ තියෙන සැපයුමෙන් කෑල්ලක් තමයි කඩලා ලංකා ගෑස් කියලා විකුණන්න යන්නේ.

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ තෙල් පිරිපහදුවෙන් අතුරුඵලයක් විදියට එල්පී ගෑස් ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙනවා. ඒවා මෙතෙක් කාලයක් ගිවිසුම් මත ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වලට දුන්නා.

මෙලෙස නිෂ්පාදනය කරන ප්‍රමාණය ආසන්න වශයෙන් ලංකාවේ ගෑස් අවශ්‍යතාවෙන් සීයට 5ක්ලු.

ඒ වෙනුවට ලංකා ඛනිජතෙල් සංස්ථාව ඉදිරියේදී ලංකා ගෑස් කියා තමන්ගේ ගෑස් සමාගමක් හදනවාලු. ඒ බව ලංකාදීප පුවත්පත ඇතුළු මාධ්‍ය ආයතන වාර්තා කරලා තියෙනවා.

අලුත් ගෑස් තොගයක් අරගෙන පෞද්ගලික සමාගමක් හෝ තරගයට පැමිණීම පාරිභෝගිකයන්ගේ පැත්තෙන් හොඳයි. ඒත්, දැනටමත් තියෙන ගෑස් සැපයුමක් අරන් රජයෙන්ම අලුත් සමාගක් හැදීම වෙළඳපොළ හෝ පාරිභෝගිකයා පැත්තෙන් වාසියක් වේවිද යන්න සැකයක්.

ඒ වාර්තා අනුව 2021 ඉවරවෙද්දී ලංකා ගෑස් කියන සිලින්ඩරය වෙළඳපොළට නිකුත් වෙනවාලු. මේ වෙද්දීත් ඛණිජතෙල් සංස්ථාව සතුව ගෑස් තොගයක් තියෙනවාලු.

මේ විදියට අලුත් ගෑස් සමාගමක් පටන්ගත්තාම ලංකාව පුරා අලෙවි නියෝජිතයන් එකතු කරගෙන ලොකු මෙහෙයුමක් කරන්න වෙනවා. ඛනිජතෙල් සංස්ථාවට රට පුරා ඉන්ධන පිරවුම්හල් තියෙන නිසා ඒවා හරහා ගෑස් විකිණීම අසීරු වෙන එකක් නැතත්, තව මාස කිහිපයක් ඇතුළත අලුත් සමාගමක් පිහිටුවීම ලෙහෙසි සෙල්ලමක් නෙවෙයි.

මේක නිසි සැලසුමක් නැතිව එකපාර හදිසියේ කළොත් මහා අර්බුදයක් බවට පත්වෙන්නත් ඉඩ තියෙනවා. ගෑස් අවශ්‍යතාව මත ලංකාවේ මිනිසුන් ලිට්රෝ හෝ ලාෆ් ගෑස් සිලින්ඩර් මිලට ගෙන ඉන්නවා. අලුත් ගෑස් සිලින්ඩරයක් එකපාර කඩාවැදුණොත් මෙතෙක් කලින් කී වෙළඳනාම දෙකෙන් එකක් පාවිච්චි කරපු පාරිභෝගිකයන්ට මොකද වෙන්නේ. එතකොට ගෑස් වෙළඳපොළේ සීයට 5ක ප්‍රමාණයක්, මිනිසුන් මෙතෙක් පාවිච්චි නොකරපු වෙළඳනාමයකින් ඒ ප්‍රමාණය නිකුත් වුණොත් මොනවා වේවිද? කලින් කී වෙළඳ නාම දෙකට අයිති පාරිභෝගිකයන්ට යම් ආකාරයක හිඟයකට මුහුණදෙන්න වේවිද?