නාමල් රාජපක්ෂට බොට්ස්වානාවේ පෙනෙන්නේ රූපසුන්දරිය විතරද?- ලියනගේ අමරකීර්ති

මන්ත්‍රී නාමල් රාජපක්ෂ බොට්ස්වානා රාජ්‍යයෙහි රූපසුන්දරී තරගයකින් දිනූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණියට සුබපතා තිබුණා.(මේ පින්තූරය ඔහුගේ ෆේස්බුක් පිටුවෙන්) අපේ මන්ත්‍රීවරු රූපසුන්දරියන් දැක්ක තැන සුබපතනවා. සමහරු රූපසුන්දරියො එක්ක මහ රෑ හිරගෙවල් බලන්නත් යනවා. “මන්ත්‍රීවරුන්ගෙන් හරි කරදරයි” කියලා සමහර රූමත් ටෙලි නිළියොත් පත්තරවල කියා තිබුණා.

නාමල් රාජපක්ෂ පැනලා සුබපතන තරුණිය ඉන්නෙ බොට්ස්වානා රාජ්‍යයේ. රාජපක්ෂලාට බොට්ස්වානා වෙතින් ඉගෙන ගන්න තියෙන්නෙ එච්චරද? 

   අපේ රාජපක්ෂලා ප්‍රසිද්ධ වී සිටින්නෙ දේශපාලනේ නිසා අතිශය ධනවත් වූ මංකොල්ලකාර පිරිසක් හැටියට. මේවා දිගින් දිගටම ලේඛනගත වෙලා තියෙනවා. ඒ වගේම ජනප්‍රවාදගතයි. ලසන්ත රුහුණගේ තමන්ගෙ පොත්වලත් ඒවා ලියා තියෙනවා. 2011 දී පළ වුණු ගෝඩ්න් වයිස්ගේ ද කේජ් කියන පොතේ තමයි මුල් වරට ග්‍රන්ථමය ලේඛනයක මේවා හෙළි කෙරෙන්නෙ. ගෝඩ්න් වයිස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ කෙනෙක්. යුද්ධයේ අවසන් දවස් දෑසින් දැකපු කෙනෙක්. ඕටේ්‍රලියානු ජාතිකයෙක්.

ඔහුගේ පොතේ එන බොහෝ දේ අතර කරුණු ටිකක් මෙහෙමයි. වයිස් මේ ලියන්නෙ 2010 විතර රටේ තත්තේව ගැන:

 “පරීක්ෂාකාරී ජනමාධ්‍ය, ප්‍රාණවත් සිවිල් සමාජයක්, ස්වාධීන අධිකරණයක්, කාර්යක්ෂම ලෙස පරීක්ෂණ කරන පොලීසියක් හෝ අර්ථවත් පරීක්ෂාකාරී මැදිහත්වීම් කරන පාර්ලිමේන්තුවක් නැති තැන යුද්ධය සහ ඉන් පසු උදා වූ තත්ත්වය රටේ ධනය කොල්ල කන්න ටක්කෙටම හරියන අවස්ථාවක්. ඒ වෙලාවෙ යුද ජයග්‍රහණයෙන් උද්දාම වෙලා උන්නු පාර්ලිමේන්තුව දෙවරක් නොසිතා ආරක්ෂක වියදම් වැඩි කිරීමට විරුද්ධව ඡන්දෙ දුන්නා.  ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රසිද්ධියේ ජනමාධ්‍යවේදීන්ට අනතුරු ඇඟෙව්වා ආරක්ෂක මිලදී ගැනීම් වාර්තා කරන්න එපා කියලා. මේ නිසා ආරක්ෂක මිලදී ගැනීම්වලින් විශාල ප්‍රතිශතයක් හොරා කන්න පුළුවන් උනා. මේවා ඩොලර් බිලියන ගණන්වල කොන්ත්‍රාත්වලින් ගන්න කොමිස් නිසා අතිවිශාල මුදලක්. ආරක්ෂක මිලදී ගැනීම්වලට අමතරව යුද්දෙන් පස්සෙ උතුරු-නැගෙනහිර සංවර්ධන කොන්ත්‍රාත්තුත් තිබුණා. 

 2007 දී මහින්ද රාජපක්ෂ මුදල් ඇමති, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂාව භාරව උන්නා, චමල් වරාය සහ ගුවන් බාරව උන්නා. මිස්ටර් ටෙන් පරසන්ට් යැයි ප්‍රසිද්ධ බැසිල් ඒ වෙන කොට කොටින්ගෙන් මුදාගත් නැගෙනහිර සංවර්ධනය බාරව උන්නා. එකල ආර්ථික වාර්තාකාරයන් ගණන් බැලූ හැටියට ඒ කාලෙ රාජපක්ෂලා ආණ්ඩුවෙ දෙපාර්තනමේන්තු 94ක් සහ ආර්ථිකයෙන් සියයට 70ක් පාලනේ කෙරුවා. රොයිටර්හි ප්‍රධානියා වරක් කී හැටියට ඕනෑම විශාල ආයෝජනයකට රාජපක්ෂ ආශීර්වාදය ඕනෙ. “

මේ තියෙන්නෙ The Cage  පොතේ 170 පිටුවේ එන දේවලින් සමහරක්.  ඉහත තියෙන්නේ ඒ පිටුව . පොත පුරා තව දේවල් තියෙනවා. මේවා වැරදියි කියල රාජපක්ෂා නඩු දාල එහෙම නෑ. 2015 ආපු කට්ටිය මේවා ගැන පරීක්ෂණ නොකළා විතරක් නෙමේ මේ වගේ වැඩම කළා. ඒ නිසා මේ එක පවුලක හොරකම් විතරක් නෙමේ එක පවුලකින් ප්‍රදර්ශන වෙන පද්ධතියක ගැටලු.

කොහොම හරි දැන් නාමල් අර රූපසුන්දරියට සුබ පතනවානෙ. ඇය ඉන්නෙ බොට්ස්වානා රාජ්‍යයෙ. රටේ ධනය කොල්ල කෑ පවුලක සාමාජිකයෙක් විදියට ඉතිහාස ගත වෙන වඩා වෙන දේශපාලන මාවතක් ගැන තරුණ රාජපක්ෂට ඉගෙනගන්න ඕනෙ නම් බලන්න චිත්‍රපටියක් තියෙනවා. ඒක මම පේරාදෙණියෙ උගන්නන පශ්චාත් යටත් විජිතවාදය හා සම්බන්ධ පාඨාමාලාවක භාවිත කරන එකක්. මම සිනමා විචාරකයෙක් නොවන නිසා ඒකෙ සිනමාත්මක කාරණා ගැන  කියන්න යන්නෙ නෑ. නමුත් අන්තර්ගතය මගේ ඉගැන්වීම්වලට ප්‍රයෝජන වෙලා තියෙනවා.

යටත් විජිත ආදර කතාවක්

චිත්‍රපටිය A United Kingdom මේකෙ තියෙන්නෙ බොට්ස්වානා රාජ්‍යය බිහි කරපු ආරම්භක නායකයා ගැන. ඔහු සෙරෙට්සේ ඛාමා. ඔහු තමයි පසු කලෙක බොට්ස්වානා බවට පත් වෙන බෙචූවාලෑන්ඩ් ජනපදයේ ඔටුන්න හිමි කුමාරයා. ඔහු නීතිය ඉගෙනගන්න එංගලන්තෙට යනවා 1940 ගණන්වලදී. එහිදී බි්‍රතාන්‍ය ජාතික රූත් විලියම්ස් එක්ක ආදරෙන් බැඳෙනවා. ලංකාවේ පී ද එස්. කුලරත්න හෝ ගුණපාල මලලසේකර(පළමු බිරිඳ) වගේ. මේ දෙන්නා විවාහ වෙනවා. දෙපැත්තෙන්ම විරුද්ධ වෙනවා. ඒත් දෙන්නාගේ ආදරේ ප්‍රබලයි. රූත් සැපපහසු ලන්ඩනයේ සිට  හද්ද පිටිසර අප්‍රිකානු ගමක් වන සිය සැමියාගේ ගමට යනවා. ඔහු ඔටුන්න හිමි කුමාරයෙක් වුවත් ඔහු එංගලන්තෙ කුමාරවරු වගේ නෙමේ. ඔහුගෙ “මාලිගාව” ලංකාවෙ ගැමි මධ්‍යම පාන්තික ගෙයක් වගේ ඇති. ඒ කාලෙ අප්‍රිකාව හැම තැනක්ම වගේ තවමත් යුරෝපීය යටත් විජිතවාදය යටතේ. අප්‍රිකාවේ දේශපාලනය තුළ බි්‍රතාන්‍ය යටත් විජිතවාදය ඉතා සටකපට විදියට වැඩ කරනවා. බි්‍රතාන්‍යයට අප්‍රිිකාවෙන් ලැබෙන සම්පත් ඕනෙ. තෙල්, දියමන්ති, රත්තරන් ඒ සම්පත් අතර ප්‍රධානයි. ඒ නිසා අප්‍රිකානු රටවල් තම දේශපාලන ග්‍රහණයෙ තියාගන්න බි්‍රතාන්‍යයට ඕනෙ. ඒ නිසා ඔවුන් සෙරෙට්සේ සහ රූත්ගේ ආදරය පවා දේශපාලනික වශයෙන් පාවිච්චි කරනවා.

  ඒත් ඒ දෙදෙනා මේ සියල්ල දරාගෙන ඉන්නවා. සෙරෙට්සේට ඕනෙ තමන්ට උරුම තම රටෙහි නායකත්වය ගන්න. ඒ බි්‍රතාන්‍යය ඒක වළක්වන්න තැත් කරනවා. එක් මොහොතක සෙරෙට්සේ එංගලන්තයේත්, රූත් අප්‍රිකාවේත් තනි වෙනවා. මොකද බි්‍රතාන්‍ය සෙරෙට්සේට මව් රට පැමිණීම තහනම් කරනවා. ඒක පිටුවහල් කිරීමක්. රූත් පළමු දරුවා බිහි කරන්නේත් තනිව. ග්‍රාමීය බොට්ස්වානාවේ පහසුකම් නැති රෝහලක. 

  දීර්ඝ අරගලයකින් පස්සෙ සෙරෙට්සේ සහ රූත් එක්වෙනවා. බෙචූවාලෑන්ඩ් ජනපදය බි්‍රතාන්‍යයෙන් නිදහස් වී බොට්ස්වානා බවට පත් වෙනවා. සෙරෙට්සේ එහි පළමු අගමැති වෙනවා.

මේ අරගලයේදී බි්‍රතාන්‍යයේ සිටින සුදු ජාතික ප්‍රගතිශීලීන් සහ වාම කණ්ඩායම් සෙරෙට්සේට අපමණ උපකාර කරනවා.

මේ පළමු අගමැතිවරයා තම රටෙහි ස්වභාවික සම්පත්වල අයිතිය තම රටටම අයිති කරගන්න වීරෝදාර අරගලයක යෙදෙනවා. බි්‍රතාන්‍යයෙන් නිදහස් වන විට අප්‍රිකාවේ තුන් වෙනි දුප්පත්ම රට වූ බොට්ස්වානා රාජ්‍යය දශක කීපයක් තුළදී මැදි ආදායම් රටක් බවට පත් කරන්නට සෙරෙට්සේ සමත් වෙනවා. ඔහු එට ජනතාවගේ ආදරණීය නායකයා බවට පත් වෙනවා.

  ඔහු පිළිකාවක් හැදී 1980 දී මිය ගියත් රූත් තවත් අවුරුදු 22ක් ජීවත් වී බොට්ස්වානා හිදීම මිය යනවා. සිය සැමියාගේම සොහොන අසල ඇයද මිහිදන් උනා. මේ පසු කාලීන විස්තර සිනමා පටයේ නෑ.

  මේ සිනමා පටයේ සෙරෙට්සේගේ චරිතය රඟන නළු ඩේවිඩ් ඔයේලොවේ විවාහ වී සිටින්නේ බි්‍රතාන්‍ය නිළි ජෙසිකා වොට්සන් නම් සුදු ජාතික නිළිය සමග වීම සිත්ගන්නා අමතර කාරණයක්.

නාමල් රාජපක්ෂ බොට්ස්වානාහි රූපසුන්දරියට සුබපැතීම හොඳයි. තම මව් රට කොල්ල කෑ පවුලක පුතෙකු හැටියට ඉතිහාස ගත වෙනවාද සෙරෙට්සේ වැනි ජනාදරයට පත් ජනනායකයෙකු ලෙස මිය යනවාද කියන එක සමහර විට නාමල්ට තනිව තීරණය කරන්න බැරිව ඇති.

    නාමල්ගේ පවුලේ සියලු දෙනාට වඩා වෙනසක් ඒ බොට්ස්වානා ජනනායකයාගේ තියෙනවා: ඔහු ඇත්තටම උගත්. ඇත්තම නීති උගතෙක්. ඇත්තම බුද්ධිමතෙක්. ව්‍යක්ත ඉංග්‍රීසියෙන් ලෝකයේම හෘදයසාක්ෂිය අමතා කතා කළ හැකි වූ මිනිසෙක්. තමන්ගෙ සිත ගිය ස්ත්‍රියට පවා අවංකව ආදරේ කළ මිනිහෙක්. වනචර සෙල්ලක්කාර “කුමාරකම්” ඔහු ගැන කියවෙන්නේ නෑ.

     ඕනෑම පශ්චාත් යටත් විජිත දේශපාලන පවුලක වගේම සෙරෙට්සේගේ පවුලේත් ප්‍රශ්න කළ හැකි තැන් තියෙන්න පුළුවන්. එවැනි ප්‍රධාන දේශපාලන පවුලක් අපේ රටේ නම් පේන තෙක් මානෙක නෑ. 

   සැබෑ ලෙසම රට ගොඩ නැගිය හැකි ජනනායකයන් බිහි කිරීමේ මහජන අරගලය තිබිය යුත්තේ චෞර පවුල්වලින් එළියෙද?