මනූෂ මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙයි! සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් හඬක් නෑ! සීඅයිඩී හිරිහැරවලට පොදු විරෝධයක් සජබෙන් නෑ!

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර තමන්ව සීඅයිඩීය කැඳවීම ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා. ඒත් එම ප්‍රකාශයේදී පෙනෙන්නට තිබුණේ කතාවේ ඔහුට අදාල පැත්ත පමණයි. මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් විදියට තමන්ව කැඳවීම පෙන්වාදෙමින් එයට අදාලව විමර්ශනයක් කරන ලෙසත් ඔහු ඉල්ලුවා.

ඒකේ වරදක් නැහැ. තමන්ව කැඳවීමට අදාලව මන්ත්‍රීවරයෙක් ලෙස ඒ ටික කීවාට කමක් නෑ. ඒත්, එතැනින් එහාට මේ කතාවේම දිගුවක් විදියට සීඅයිඩීයෙන් පුරවැසියන්ට කරන හිරිහැරවලට එරෙහි විරෝධයක් දක්වන්න තිබුණා නේද?

ඒත්, ෆේස්බුක් පෝස්ටුවක් දැම්මා කියා සීඅයිඩීයට රස්තියාදු වෙන්න සිද්ධවෙන සාලිය කණුගල තරුණයාට ඔහුගේ ප්‍රකාශය උත්තරයක්ද? සීඅයිඩීයේ මෑතකාලීන ක්‍රියාකලාපය නිසා රස්තියාදු වෙන්න සිදු වූ තව විශාල පිරිසකට ඒක උත්තරයක්ද?

විපක්ෂයෙන් අවශ්‍ය වෙන්නේ සීඅයිඩීයේ මර්දනීය ක්‍රියාකලාපයට පොදු විරෝධයක්. ‘දැන් ඇති’ කියන හඬ. ඒත් ඒ විරෝධය සැප්තැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී මතු වූ බවක් පෙනුණේ නැහැ.

මේ වගේ ‘වරප්‍රසාද ගැන’ සඳහන් කරමින් ප්‍රකාශයක් කළාට පස්සේ ඕනෑ නම් ඔහුට සීඅයිඩීයට ගිහින් ප්‍රකාශයක් දෙන්නත් බැරිකමක් නැහැ. වාහන පහසුකම් වගේම දේශපාලනය වෙනුවෙන් වැටුප් ලබන ඔහුට කාලය වැය කරන්නත් අමාරු නැහැ. දේශපාලනඥයෙක් විදියට ඔහුට මේක ගුවන් කාලය, අවදානය ලැබෙන අවස්ථාවක් නිසා සීඅයිඩීයට යෑම සතුටින් කරන්නත් ඉඩ තියෙනවා. ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නට නීතිඥයන් ඉන්නවා.

ඒත් දිගින් දිගටම සීඅයිඩීයෙන් හිරිහැර සිද්ධවෙන, පැය ගණන් රස්තියාදුවට ලක් වෙන සාමාන්‍ය මිනිසුන්ට ඒ කිසි ‘වරප්‍රසාදයක්’ නැහැ. ඉතින්, පාර්ලිමේන්තුවේදී ඔහු ‘තමන්ගේ’ ප්‍රශ්නය වෙනුවට පොදු ප්‍රශ්නය ගැන හඬ නගනු ඇතැයි අප අපේක්ෂා කළා.

ඒත් ඉතින් මේ විපක්ෂය ගැන බලාපොරොත්තු තැබීමත් විහිළුවක් බව අමුතුවෙන් කියන්න දෙයක්යෑ. මහජන අයිතීන් රැකගන්න නම් ඔය දේශපාලනඥයන් ගැන බලාපොරොත්තු නොතියා මහජනයාටම පාරට බහින්න වේවි.

මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාව පහතින්.

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක ව්‍යෝහාරික අංශය මගින් සිදුකරන ලබනු බව ප‍්‍රකාශ කරන විමර්ශණයකට අදාල තොරතුරු ලබාගැනීම සදහා ඩිජිටල් ව්‍යෝහාරික විද්‍යාගාර ස්ථානාධිපති හමුවීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නාරාහේන්පිට පොලිස් ස්ථානය හරහා මා වෙත කැදවීමක් ලැබී තිබුණි.

කවුරුන් විසින් කරනු ලැබූ කුමන ආකාරයේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා මාගෙන් තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන්නේද යන්න නිශ්චිතව එම කැදවීමේ සදහන් කර නැත. ඒ ආකාරයට තොරතුරු ලබාගැනීමට අපේක්ෂිත කරුණු ගැන කිසිදු සදහනක් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවීම සිවිල් පුරවැසියෙක් ලෙස මාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස මාගේ වරප‍්‍රසාද උල්ලංඝනය කිරීමකි.

ඒ අකාරයට නිශ්චිත හේතුවක් නොදන්වනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීම රටේ පවතින පොදු නීති පද්ධතිය ඉක්මවා යමින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ගයකි.

රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේදී කරනු ලබන ප‍්‍රශ්ණ කිරීම් නතර කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු දඩයම් කිරීම සදහා මෙවැනි කැදවීමක් කර ඇත්දැයි යන්න ගැන සාධාරණ සැකයක් මතුවන බව ඔබතුමාගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.

මේ සම්බන්ධයෙන් මාගේ නීතීඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් වැඩිදුර කරුණු විමසා සිටියෙමි. ඒ අනුව කුමන පරීක්ෂණයකට අදාල කරුණු හෙළිදරව් කළ යුතුද යන්නත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ කිසියම් පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර තිබේද යන්නත් විමසුවෙමි.

කිසියම් අයෙක් පැමිණිලලක් කර තිබේනම් පැමිණිල්ල කර ඇති නිශ්චිත කරුණ කුමක්ද යන්නත්, එවැනි පැමිණිල්ලක් නොමැති නම් ස්වයං මෙහෙයවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශණයක් ආරම්භ කිරීමට හැකියාව තිබේද යන්නත් ප‍්‍රශ්ණ කළෙමි.

කිසියම් විමර්ශණයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා කැදවීමක් කරන්නේ නම්, අදාල විමර්ශණය ගැන නිශ්චිත කරුණු දැක්වීමක් කළ යුතු බව සේනාරත්න එදිරිව පුන්‍යා ද සිල්වා (1995) ශ‍්‍රී එල්.ආර්. නඩු තීන්දුවෙන් පැහැදිළිව සදහන්ව තිබියදීත් කරුණු විමසීමට යැයි පවසමින් මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවනු ලබන්නේ පාර්ලිමේන්තු කටයුතු සදහා මාගේ සක‍්‍රීය දායකත්වය ලබාදීම වැලැක්වීමේ අරමුණින් යැයි සාධාරණ සැකයක් මතුවේ.

නිශ්චිත විමර්ෂණයක් ගැන නොදන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට මැ කැදවන්නේ, පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගීවීම හා අනෙකුත් පාර්ලිම්න්තු කටයුතුවලට සකී‍්‍රය දායකත්වය ලබාදීමට ඇති අවස්ථාව වැලැක්වීමට බව මාගේ විශ්වාසයයි.

ඒ නිසා නිශ්චිත කරණු දැක්වීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම මගින් මාගේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද උල්ලංඝනය වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ ඩිජිටල් ව්‍යෝහාරික විද්‍යාගාර ස්ථානාධිපති පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුව හමුවට කැදවා පරීක්ෂණයක් කරන ලෙසත්, ඔවුන්ගේ ක‍්‍රියාවන් මගින් මාගේ පාර්ලිමේන්තු වරප‍්‍රසදා උල්ලංඝනය වී ඇති බවත් සදහන් කරන නියෝගයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.’