ආණ්ඩුව ලිට්රෝ වනසනවා! මාසෙට බිලියන 2.2ක් පාඩුයි! ලිට්රෝ සුරැකීමේ එකමුතුවෙන් නිවේදනයක්

ලිට්රෝ සමාගම අර්බුදයට යෑමේ අවදානමක් පවතින බව ‘ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව’ නම් සංවිධානය නිකුත් කරපු නිවේදනයක සඳහන්. එහි සභාපති ඒ.කේ. නලින් සමන්ත සහ ලේකම් ටෙරන්ස් අප්පුහාමි යන අයගේ අත්සනින් යුතුව ඒ නිවේදනය නිකුත් කරලා තියෙනවා.

නිවේදනයෙහි රාජපක්ෂ හිතවතෙකු වන වෑගපිටිය මහතාගේ හෝ ඔහුගේ ලාෆ් ගෑස් සමාගමේ නම සඳහන් වෙලා නෑ. ඒත්, වක්‍රව එයින් පෙන්වාදෙන්නේ ලාෆ් සමාගමට අනවශ්‍ය වාසි සලසන්න ගිහින් ලිට්රෝ විනාශ වෙන බව.

එම නිවේදනයේ මෙසේ සඳහන්.

‘ලිට්රෝ ගෑස් යනු රජයේ හිමිකාරීත්වය යටතේ පවතින සමාගම් සහ ආයතන අතරින්, 2010 නොවැම්බර් මාසයේ සිට මේ දක්වා රටේ වැඩියෙන්ම ලාභ ලබන සමාගම වන අතර, රටේ ද්‍රව ප්‍රෙටෝලියම් ගෑස් හෙවත් එල්පී ගෑස් වෙළඳපොළේ සීයට 80ක ප්‍රතිශතයක් එම සමාගම සතුය. එමෙන්ම එම සමාගම රට් පවතින වසංගත රෝග තත්වය හමුවේ පවා මහා භාණ්ඩාගාරය හෝ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි අනෙකුත් ආයතනවලට බරක් නොවී ව්‍යාපාර කටයුතු සිදු කිරීමට සමත් වූ ආයතන ස්වල්පය අතරින් එකකි.

ලිට්රෝ සමාගමට ඕනෑම බහුජාතික සමාගමක් සමග තරග කිරීමේ හැකියාව පවතින බව, සමාගම සුරැකීම සඳහා සමාගමේ සේවකයන් සහ සිවිල් සමාජයේ සාමාජිකයන් එකතු වී පිහිටුවා ගන්නා ලද සංවිධානයක් වන ‘ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව’ සංවිධානයේ අදහසයි. විශේෂයෙන්ම කාර්යක්ෂම කළමණාකරණය හා මෙහෙයුම් ක්‍රියාවලිය හේතුවෙන් රටේම ගෑස් ඉල්ලුම සපුරාලිය හැකි, මෙට්‍රික් ටොන් 8,000ක ධාරිතාවලින් යුත් කෙරවලපිටිය පිරවුම් මධයස්ථානය මෙම ශක්තියට ප්‍රධාන හේතුවකි.

සේවකයන් 225 දෙනෙකුට ඍජු රැකියා අවස්ථා සපයන ලිට්රෝ ආයතනයේ පිරවුම් මධ්‍යස්ථානය මසකට එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 35,000ක පමණ හැසිරවීම සිදු කරයි. සමාගමේ වාර්ෂික පිරිවැටුම රු. බිලියන 50 ඉක්මවන අතර එය රටේ ආර්ථිකයට ප්‍රධානතම දායකත්වයක් දක්වන සමාගමක් ලෙස සැලකේ. ලිට්රෝ සමාගම ලාභාංශ ලෙස රු. බිලියන 13ක් ද, බදු ලෙස රු. බිලියන 34ක් ද ගෙවයි. කෙසේ වුවද 2019 ඔක්තෝබර් මාසයේ සිට 2021 අගෝස්තු මාසය දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම මට්ටමක පවත්වා ගැනීමට සිදුවීම නිසා ලිට්රෝ සමාගම රු. බිලියන 8.5ක පමණ අලාභයක් සිදු වී ඇත.

ලිට්රෝ සමාගම මේ වන විට මුහුණ දී සිටින අර්බුදය දෙයාකාරය.

1. වෙළඳපොළ තත්වයන් නිසා සිලින්ඩරයක මිල තීරණය නොවීම නිසා සමාගමට දිගින් දිගටම පාඩු විඳීමට සිදු වී තිබේ.

2 පාර්ලිමේන්තු අනු කමිටුවේ නිර්දේශ අනුව වෙළඳපොළේ සීයට 80ක් හිමි ලිට්රෝ සමාගම සීයට 20ක් වැනි කුඩා වෙළඳපොළ ප්‍රතිශතයක් හිමි තවත් සමාගමක් මත තම ගෑස් සැපයුම රඳා පැවතීමට සැලසුම් කර ඇත.

මෙම සාධක දෙකම වසර 150ක් පැරණි රාජ්‍ය ආයතනයක් වන ලිට්රෝ ආයතනයට බෙහෙවින් අහිතකර බව විද්වතුන්ගේ අදහස වේ

2021 ජුනි 27 වැනි දාතම සහිත පාර්ලිමේන්තු අනුකමිටු වාර්තාවේ 1 වන නිර්දේශය අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රු. 1493ක උපරිම මිලක් නියම කර තිබේ. කෙසේ වුවද, 2021 අගෝස්තු 13 වැනිදා පාරිභෝගික සේවා අධිකාරිය විසින් ලාෆ්ස් ගෑස් සිලින්ඩර සඳහා පමණක් රු. 363ක මිල වැඩි කිරීමක් අනුමත කරන ලදී. ශ්‍රී ලංකාවේ ගෑස් වෙළඳපොළේ සීයට 80ක ප්‍රතිශතයක් හිමි ලිට්රෝ සමාගමට එම අවස්ථාව ලබා නොදීම නිසා, මේ වන විට එම සමාගමට එක් සිලින්ඩරයකට රු. 847 බැගින් දිනකට රු. මිලියන 80ක සහ මසකට රු. බිලියන 2.2ක අලාභයක් විඳීමට සිදු වී තිබේ.

මේ සම්බන්ධයෙන් අනන්දුවක් දක්වන බොහෝ දෙනෙකු, මෑතකදී සුසන්ත ද සිල්වා මහතා ප්‍රධාන විධායක නිලධාරී/ සභාපති ලෙස පත් කරමින් පිහිටුවන ලද එල්පී ගෑස් මිලදී ගැනීමේ ආයතනය වන සියොලිට් (පුද්) සමාගමේ අරමුණ හා එහි විශ්වසනීයත්වය ප්‍රශ්න කර තිබේ. මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට, වෙළඳපොළේ සීයට 20ක් පමණක් හිමි සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර, වෙළඳපොළේ සීයට 80ක ප්‍රතිශතයක් හිමි ලිට්රෝ සමාගම සඳහා ලබා දී ඇත්තේ අධ්‍යක්ෂ ධුරයන් 3ක් පමණි. ප්‍රතිශතාත්මක වශයෙන් ගත් කළ එම නියෝජනය සාධාරණ නොවන බව ඉතා පැහැදිලිය.

මෙලෙස මතු වී ඇති ගැටලුවලට ඉක්මනින් විසඳුම් නොලැබුණහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුවෙහි අදහස වේ.

කැබිනට් නිර්දේශ අනුව එල්පී ගෑස් කර්මාන්තය ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව සොයා බැලීම පිණිස මාස 6ක අත්හදාබැලීමේ කාලයක් සඳහා කමිටුවක් පත් කර තිබේ. මෙම කමිටුව මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ බොහොමයක් ලිට්රෝ සමාගමට අතිශයින් අවාසිදායකය. මෙමගින් ආයෝජකයන් තුළ ඇති විශ්වාසය පළුදු වීම, විනිවදභාවය සම්බන්ධ ගැටලු මතු වීම සහ අතිරේක වියදම් නිසා ඒකකයක් සඳහා වැය වන වියදම් ඉහළ යෑම වැනි ගැටලු ඇති වීමට ඉඩ ඇත. මෙම ප්‍රතිව්‍යුහගතකරණය නිසා අවසාන වශයෙන් සිදුවනු ඇත්තේ වෙනත් සමාගමකට වාසි සැලසීම සහ ලිට්රෝ සමාගම අර්බුදයට යෑම හෝ බිඳ වැටීමය.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් ලිට්රෝ සමාගමේ ස්වාධීනත්වය උල්ලංඝනය නොකර, සමාගම දැනට මුහුණ දී ඇති අර්බුදයට තිරසාර විසඳුමක් සපයා දිය යුතු බව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්ව අවධාරණය කරති.

2019 වසරේ සිදු වූ පසුබෑමට පෙර ලිට්රෝ සමාගම එම ස්වාධීන තත්වයන් යටතේ ඉතාමත් සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතු සිදු කර තිබේ.’