එන්නත ලබාගත් බව සඳහන් කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා ඇති ඉඩකඩ ආණ්ඩුව හොයා බලමින් ඉන්න බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිව්ස්ෆ්‍රස්ට් වෙත කියා තිබෙනවා.
නීතිමය පසුබිම ඇතුළු එවැනි තීන්දුවක් බලාත්මක කිරීමට අදාල කාරණා ගැන සලකා බලමින් ඉන්න බව ඒ අනුව ඔහු පැහැදිලි කරලා. කෙසේ වෙතත් එවැනි නීතියක් ක්‍රියාත්මක කරන්නේ අදාල කාණ්ඩවල සියලුදෙනාට එන්නත් ලබාදීමෙන් පසුව බව ඔහු කියලා.
අපි එන්නත් ලබාදීමට පක්ෂයි. ආණ්ඩුව එය සාර්ථකව කරන බවත් නිර්ලෝභීව ඇගයීමට ලක් කළ යුතුයි. ඒත්, මේ කරන වැඩේ වැරදියි. භයානකයි. පුද්ගල නිදහස සීමා කිරීමක්. එන්නත ලබාගත් කෙනෙක්ට වුණත් කාඩ්පත අස්ථානගත වුණොත් එවැනි සීමා යටතේ නිදහස අහිමිවෙන්න ඉඩ තියෙනවා. අත්අඩංගුවට ලක් වෙන්න හෝ එවැනි නීතියකට අදාල දඬුවමකට යටත් කරන්න ඉඩ තියෙනවා. ඊටත් වඩා භයානක මේ ආණ්ඩුව කලින් අවස්ථා ගණනාවකදීම කළා වගේ විධිමත් නීතියක් හෝ පනතක් නැතිව තියෙන නීති මැද්දෙන් රිංගලා ගිහින් එවැන්නක් ක්‍රියාත්මක කරයිද කියන එක. අනෙක් පැත්තෙන් හදිසි නීති යටතේ කියලා එවැනි විධානයක් පනවාවිද කියන එක.
අනෙක් පැත්තෙන් ඇමතිවරයාම කියනවා නම් අවශ්‍ය අයට එන්නත දුන්නාට පස්සේ මේක ක්‍රියාත්මක කරනවා කියලා, ඒක කිසි තේරුමක් නැති මෝඩ වැඩක්. මෙවැනි නීතියක් ‘යහපත් අරමුණෙන්’ ගෙන එනවා කියා හිතමු. එහෙනම් ඒකේ අන්තිම ඉලක්කය වෙන්න ඕනෑ හැමෝම එන්නත් ලබන්නට දිරිමත් කරන එක නේ. හැමෝම එන්නත් අරන් ඉවර වුණාම මෙවැනි නීතියක අරමුණ මොකක්ද? හේතුවක් නැතිව ජනතාව මර්දනය කිරීමද?