සුඩානය දූෂිත දේශපාලනයකට උත්තර ලෙස මිලිටරි විසඳුමක් ලබා තවත් අමාරුවේ වැටුණ රටක්
සුඩානයේ දේශපාලන කුමන්ත්‍රණයක් සාර්ථකව වළක්වාගැනීමට හැකි වූ බව එරට බලධාරීන් වාර්තා කර තිබුණා. දවසේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට ඒ සිදුවීම පත් වුණා.
සැප්තැම්බර් 20 වැනි සඳුදා සාමාන්‍ය දිනයක් ලෙස ඇරඹුණත් ඉතා ඉක්මනින් මිලිටරි කුමන්ත්‍රණය නිසා රට ගිනිගත්තා.
සුඩානයේ ජාතික රූපවාහිනී ආයතනය, මිලිටරි මූලස්ථානය මෙන්ම එරට අන්තර්කාලීන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල ගොඩනැගිල්ල අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණකරුවන් උත්සාහ කළ බව එරට අන්තර්කාලීන රජය කියා තිබෙනවා. මේ ආණ්ඩුව මිලිටරි නායකයන් සහ සිවිල් නායකයන්ගේ එකතුවෙන් බිහි වූ අන්තර්කාලීන ආණ්ඩුවක්.
බලය අහිමි වූ හිටපු ජනාධිපති ඔමාර් අල් බෂීර්ට හිතවත් මිලිටරි කණ්ඩායම් සහ සිවිල් පිරිස් මෙම ‘කුමන්ත්‍රණය’ මෙහෙයවූ බවත්, ඒ අය අත්අඩංගුවට ගත් බවත් ආණ්ඩුවෙන් කියා තිබෙනවා.
‘සියල්ල පාලනය යටතේ තියෙනවා. විප්ලවය ජයග්‍රාහීයි.’ සුඩානයේ මිලිටරි පාලක කවුන්සිලයේ සාමාජික මොහොමඩ් අල් ෆාකි සුලෙයිමාන් ෆේස්බුක් සටහනක් ලියා තිබුණා.
සුඩානයේ හිටපු ඒකාධිපතියා ඔමාර් අල් බෂීර් 1989 දී මිලිටරි කුමන්ත්‍රණයකින් බලයට පත් වුණා. අවුරුදු 30කට වැඩි කාලයක් තිස්සේ ඔහු පාලනය කළා. ඔහු යටතේ තිබුණු මිලිටරි පාලනය හැමවිටම කපටිකමින් සහ කෲරත්වයෙන් තමන්ගේ පාලනය තහවුරු කරගත්තා. විශාල වශයෙන් පුද්ගලයන් සංහාරයට ලක් කිරීම, යුධ අපරාධ මෙන්ම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ සුඩානයට චෝදනා එල්ල වෙනවා.
ඒත්, මැජික් එක සිද්ධවුණේ 2010-2020 දශකයේ අග. 2018 දෙසැම්බර් වෙද්දී අක්බරා නගරයේදී පාන්වල මිල වැඩිවීමත් එක්ක මිනිසුන් පාරට බසිමින් උද්ඝෝෂණ කරන්න පටන්ගත්තා. එය ක්‍රමයෙන් ආණ්ඩු විරෝධී අරගලයක් බවට පත් වෙමින් අල් බෂීර්ට ධුරයෙන් පහ වෙන ලෙස ඉල්ලමින් කරන දැවැන්ත විප්ලවයකට මාරු වුණා.
ඒත්, ඒ විප්ලවය අග 2019 අප්‍රේල් මාසයේදී අල් බෂීර් බලයෙන් පහ වුණා. ඒත්, සුඩානයේ හමුදාව තමයි බලය ගත්තේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරමින් ඉදිරි අවුරුදු දෙක සඳහා බලය ගන්න බව මිලිටරි නායකයන් කිව්වා.
අල් බෂීර් බලයෙන් පහවීමේ සතුට සැමරූ ජනයාට නැවතත් මිලිටරි පාලනයකට එරෙහිව සටන් කරන්න සිද්ධ වුණා. ඒ අනුව මිලිටරි කණ්ඩායම් සහ සිවිල් පුරවැසියන් අතර අන්තර්කාලීන ආණ්ඩුවක් හැදුණා. ඒ ක්‍රමයෙන් සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට මාරු වෙන පොරොන්දුව මත. ඒත්, අවුරුදු තුනක් තිස්සේ එය කල් යනවා. මිලිටරි කණ්ඩායම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සොයන පුරවැසියන් අතර උණුසුම් තත්වයක් අදටත් පවතිනවා.
දූෂිත, ඒකාධිපති දේශපාලන නායකයාගේ කාලයේ රට තිබුණාටත් වඩා පහළට සුඩානය වැටුණා. උදාහරණයක් ලෙස අල් බෂීර්ගේ කාලයේ එරට මුදල් වන සුඩාන් පවුම්වලින් 50ක්. දැන් ඩොලරය සුඩාන් පවුම් 441ක්. ආර්ථිකය කඩාවැටෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබුවත්, ණය ගෙවීම සහ එරට මුදල් ඒකකයේ වටිනාකම අඩු වෙන්නට ඉඩ නොදී පවත්වාගැනීම සඳහා ආණ්ඩුව ගෙන ඇති තදබල පියවර නිසා ජනතාව අදටත් ඉන්නේ පීඩාවෙන්.
දූෂිත ආණ්ඩුවකට උත්තරය ‘මිලිටරි මැදිහත්වීම්’ නොව දූෂණයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බව තහවුරු කරන්නට ලෝකයේ ඇති උදාහරණ අතරින් සුඩානය අංක එකේ උදාහරණයක්.