ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිල වෙබ් අඩවියේ කටයුතු ආරම්භ කිරීම අද(19) සවස 3.00ට සිදුවේ. සංගමයේ අපේක්ෂා හා වත්මන් ජනමාධ්‍ය ගැන එල්ල වන විවේචන සම්බන්ධයෙන් එහි සභාපති දුමින්ද සම්පත් මහතා සමග කළ කෙටි කතාබහකි මේ…
ජනමාධ්‍ය නොවන සමාජයට සංගමය ගැන කෙටියෙන් කිව්වොත්?
වෘත්තිය ජනමාධ්‍යවේදීන් සඳහා ලංකාවේ පිහිටු වූ වෘත්තිය සමිතියක් හැටියට කම්කරු කොමසාරිස්වරයා හමුවේ ලියාපදිංචි කළ ජනමාධ්‍ය සංවිධානයක්. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය පවත්වාගෙන යන එක් කුලුණක්. ඒ වගේම ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ පූර්ණ සාමාජිකත්වය හිමි වෘත්තිය ජනමාධ්‍යවේදීන්ම අරමුණු කළ එකම සංවිධානය කිව්වත් වැරැදි නෑ.
මේ ජාත්‍යන්තර සම්බන්ධකම් එක්ක මාධ්‍ය කලාපයට පහරදෙන්න ලංකාවේ එන්.ජී.ඕ කියන යෙදුම යොදාගන්නවා. මේ ගැන ඔබ හිතන්නේ මොකක්ද?
රාජ්‍ය නොවන සංවිධානවලට හිමි අයිතිය ගැන අපට අදහසක් තිබෙනවා. නන් ගවර්මන්ට් කියන එක රාජ්‍ය නොවන කියල ගැනීමේම අවුලක් තියෙනවා එක පැත්තකින්. ඒ අතරේම ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලින් දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා සිදු වූ ඓතිහාසික වැඩ කොටසක් තිබෙනවා. මේ කිසිදු දෙයක් නැතිව දේශපාලකයන් සිය වාසියට අටවාගත් රාජ්‍ය නොවන සංවිධාන කොච්චර තිබෙනවද? මේ සියල්ල මැද්දේ ඔබ කියන රාජ්‍ය නොවන සංවිධාන බිල්ලා විලාසිතාවක් වුණු චෝදනාවක්. නමුත් ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට එන්.ජී.ඕ කියන ලේබලය අලවන්නත් බෑ. අපි ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයක් හැටියට ශ්‍රී ලංකා වෘත්තිය පත්‍රකලාවේදීන්ගේ සංගමය හැටියට පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කරලා වෘත්තිය සමිතියක් හැටියට ලියාපදිංචි කළ සංගමයක්. එය පසුව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හැටියට නාමකරණය වෙනස් වුණා.
ආසන්න අතීතය ගැන යළි මතක් කළොත් ජනමාධ්‍ය නොවන සමාජයට මේ කණ්ඩායම හඳුනාගැනීමට පහසු වේවි?
දශක ගණනක දීර්ඝ ඉතිහාසයක් තිබෙන මාධ්‍ය සංවිධානයක්. දයා පෙරේරා, පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය, ලසන්ත රුහුණගේ වැනි ලංකාවේ නාමධාරී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රැසක්ම නායකත්වය දුන් සංගමයක්. විශේෂයෙන්ම ලංකාවේ ආණ්ඩුකරණයේ දූෂණ වංචා හෙළිකළ පෝද්දල ජයන්ත සහෝදරයාට අත් වූ ඉරණම කවුරුත් දන්නවා. ඒ වගේම මාධ්‍ය නිදහස වෙනුවෙන් පෝද්දල හා සනත් බාලසූරිය ඇතු`ඵව අපේ සංගමයේ සහෝදරයන් විශාල පිරිසක් සටන් කළා. ඔවුන් තර්ජනයන්ට ලක්වීමට එය එක හේතුවක් වුණා. ඒ නිසාම ඇතැමුන් ආරක්ෂාව පතා රටින් ස්වයංව පිටුවහල්වීමට සිදුවුණා. මේ කාල වකවානුවේදී සංගමය ආණ්ඩුවේ මර්දනීය බලපෑමට ලක්වුණා. ඒ අවස්ථාවේ ලසන්ත රුහුණගේ, කුමාර අලගියවන්න, ගාමිණි සුසන්ත, කංචන මාරසිංහ වැනි සහෝදරයන් එක් වී සංගමය ආරක්ෂා කරගත්තා. ප්‍රධාන නිලතල හෙබ වූ ඇතැමුන්ට ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා විදෙස්ගතවීමට සිදුවීම සමග තාවකාලික පදනමින් එම තනතුරු හොබවමින් සහාය දෙන්න තවත් සහෝදරයන්ට සිදුවුණා. සංගමය මේ තරම් දුර ආරක්ෂා කරගත් ඒ සියලු සහෝදරයන්ට අපේ ස්තුතිය හිමිවිය යුතුයි.
මාධ්‍යවේදීන්ට හා ආයතනවලට එරෙහි අපරාධ රැසක් තවමත් තිබෙන්නේ යුක්තිය ඉටු නොවූ තැනක. සංගමය ඒ සම්බන්ධයෙන් කළ මැදිහත්වීම කුමක්ද?
යහපාලන ආණ්ඩුව බලයට එද්දී අපේ ප්‍රමුඛ ඉල්ලීම වුණේ එම සිදුවීම්වලට අදාළව යුක්තිය ඉටු කරන ක්‍රියාවලියක් ආරම්භ කිරීමයි. ඒ අනුව සිදුවීම් කීපයකට අදාළව අපරාධ විමර්ශන ආරම්භ කළා. ජනාධිපතිවරයාට අගමැතිවරයාට බල කරන විවිධ ක්‍රියාමාර්ග ගැනීමටත් ඉන් නොනැවතී එක්සත් ජාතින්ගේ සංවිධානය දක්වා එය ව්‍යාප්ත කිරීමටත් එහිදී අපට සිදුවුණා. විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය හරහා විශාල තෙරපුමක් ඇතිකළා. එහෙත් මේ අපරාධ විමර්ශන ක්‍රියාවලින් ස්වාධීනව දියත්කිරීමට දේශපාලනික වශයෙන් විවිධ බාධා එල්ලවුණා. උත්ප්‍රාසජනක කාරණය තමයි යහපාලන සමයේ දේශපාලන බලලෝභීන් පිරිසක් සංගමයේ බලය කුමන්ත්‍රණකාරී ලෙස ඩැහැගැනීමටත් උත්සාහ කිරීම. එහිදී අපට සංගමයේ ආරක්ෂාව වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට පවා අවතීර්ණ වෙන්න සිදුවුණා.
එවැනි තත්ත්වයක යුක්තිය අහිමි වූ මාධ්‍යවේදීන්ට ආයතනවලට සාධාරණයක් ඉටුකරන්නේ කොහොමද?
මේ දක්වා වූ අත්දැකීම්වලින් නම් අපට හිතෙන්නේ ඒ සාධාරණය ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත්වීමකින් වෙන්නේ නෑ කියන එක. ලංකාවේ අයුක්තියට ලක්වන ජනමාධ්‍යවේදීන්ට පමණක් නෙවෙයි බොහෝ කණ්ඩායම්වලට වුණත් සාධාරණය ඉටුවෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ජාත්‍යන්තරයෙන් වන මැදිහත්වීමක් මත පමණයි. ඒක ඉතාම පැහැදිලියි.
සිදුවීම් සමග එවැනි දේ ගැන කතා කරන අතරේ ලංකාවේ ජනමාධ්‍යවේදියාත් දේශපාලකයා මෙන් කුණු වෙලා කියන චෝදනාව පොදු සමාජයෙන් එල්ල වෙනවා. මේ ගැන වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සවිඥානකද?
ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වගේම වගකීම් යන දෙපාර්ශ්වයේම බරපතල කඩාවැටීමක් තිබෙනවා. ඒ ගැන අපට ස්වයං විවේචනයක් තිබෙනවා. ජනමාධ්‍යවේදීන් සඳහා වෘත්තිය අයිතිවාසිකම් හා වගකීම් සම්බන්ධයෙන් ප්‍රඥප්තියක් සැකැසීමට පහුගිය කාලයේ අපි පියවර ගත්තේ ඒ අනුව. මේක ගැටගැහෙන්නේ ලංකාවේ මාධ්‍යවේදීන්ගේ වෘත්තියභාවය පිළිබඳ නෛතික තත්ත්වත් සමගයි. පොඞ්ඩක් බලන්න. අද වනතුරු කිසිදු පත්වීම් ලිපියක් නැතිව ජනමාධ්‍ය ආයතනවල වැඩ කරන කොච්චර මාධ්‍යවේදීන් ඉන්නවද? වැටුප් පතක් නෑ. කොච්චර වැටුපක් ලැබෙනවද එකඟතා නෑ. මේවා ගැන දැනගන්න ජනමාධ්‍යවේදීන්ටත් අයිතියක් තිබෙනවා. දැන් වෙන්නෙ කීයක් හෝ හොයාගන්න ගුණාත්මකභාවයෙන් අඩු සේවා සඳහා තරුණ පිරිස් යොදාගැනීමක්. තමන්ගෙ වෘත්තිය අයිතිවාසිකම් ගැන ඔවුන් දන්නෙත් නෑ. රැකියාවෙන් දොට්ට දාපු දවසට ඔවුන් අපිව හොයාගෙන එනවා. එවිට ඔවුන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්නවත් අපහසුයි.
අනෙක් අතට මේ අඩු ගුණාත්මකභාවය සමග වගකීම්විරහිත විදියට විවිධ න්‍යායපත්‍රවලට ඔවුන් යොදාගැනෙනවා. එතැනදි පළමුවෙන්ම හානිය සිදුවන්නේ ජනතාවට තොරතුරු ලබාදීමේදී ඒවා සත්‍යයෙන් බොහෝ ඈතට යෑමයි. ඒවා දේශපාලනයට යටවෙනවා අන්තිමේදි. උදාහරණයකට යුද්ධය කාලයේදී මු`ඵ සමාජයම ඒ දෙසට යොමුකළ ජනමාධ්‍ය ඉන්පසුව සාමය සඳහා එවැනි මතයක් ඇතිකළේ නෑනෙ. ඒ වෙනුවෙන් අදටත් රට විශාල වන්දියක් ගෙවනවා. මෙම තත්ත්ව සැලකිල්ලට ගෙන තමයි අපි ප්‍රඥප්තිය සැකසීමේ කටයුතු කළේ. වෙබ් අඩවිය ඇතු`ඵ විවිධ වේදිකා මගින් ඒ ගැන පොදුජනයා හා මාධ්‍ය සහෝදරත්වය සමග සාකච්ඡාව ඉදිරියට ගෙන යා හැකියි. ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබලගැන්වීමේ වැඩසටහන (MEND) යටතේ USAID හා IREX යන ආයතන මෙම ප්‍රඥප්තිය සැකැසීමට අවශ්‍ය පහසුකම් සැපයුවා.
සංගමයේ නිල වෙබ් අඩවියේ අන්තර්ගතය හා එහි අරමුණු මොනවද?
සංගමයේ ආරම්භය හා විකාශනය ඇතුළත් ඉතිහාස තොරතුරුත් එහි ව්‍යුහය හා අරමුණුත් තමයි මූලික වශයෙන් අන්තර්ගත වෙන්නේ. ඒ වගේම සංගමයක් හැටියට පහුගිය කාලය පුරා නිහඬව දියත් කළ වැඩ කොටස ගැන ජනමාධ්‍ය සමාජය දැනුවත් කිරීමේ යම් බාධක තිබුණා නම් එය මෙයින් මගහැරෙනවා. විශේෂයෙන්ම ලංකාවේ අසාධාරණයට පත් වූ ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් හා යුක්තිය පතා කළ මැදිහත්වීම් රැසක් තිබුණත් ඒවා ජනමාධ්‍ය සමාජයට සන්නිවේදනය කිරීමේ වැඩපිළිවෙලක් අපට තිබුණේ නෑ. ඒ අඩුව මෙමගින් යම්තාක් දුරකට පිරිමැහේවි කියල හිතනවා. ඒ වගේම අපේ සංගමයේ මු`ඵමනින් නියෝජනය වෙන්නේ වෘත්තිය ජනමාධ්‍යවේදීන්. ඔවුන් විසින් සපයනු ලබන ප්‍රවෘත්ති හා විශේෂාංග මහජනයා අතරට ගෙනයාමට අවකාශයක් හැටියටත් මේ වෙබ් අඩවිය ක්‍රියා කරනවා. මේ සමගින් සංගමය වඩාත් වැඩි සහෝදරත්වයක් ආමන්ත්‍රණය කරමින් තමන්ගේ සාමාජිකත්වය පු`ඵල් කරගැනීමට අපේක්ෂා කරනවා.
කතාබහ – බිඟුන් මේනක ගමගේ