CID එක ලොහාන්ගෙන් ප්‍රකාශයක් අරන්!

වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට බීමතින් ඇතුල්වීම සහ රැඳවියෙකුගේ හිසට ගිනි අවියක් තබා තර්ජනය කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

සැප්තැම්බර් 18 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත.

කෙසේ වෙතත් අප කළ විමසීමකදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසුවේ ලොහාන් රත්වත්ත මහතා මාධ්‍ය හරහා විවිධ ප්‍රකාශ කරමින් මෙම සිද්ධියට අදාල විමර්ශන නොමඟ යැවීමක් සිදු කරන බවය.

තවද මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මාධ්‍ය මගින් පවසා ඇත්තේ රත්වත්ත මහතාගේ සිද්ධියට අදාලව විමර්ශනයක් ආරම්භ කිරිමට පැමිණිල්ලක් ලැබිය යුතු බවය. එහෙත් පසුගිය කාලයේදී කතාබහට ලක් වූ පහන්තුඩාවේ සිද්ධියට කිසිදු පුද්ගලයෙකු පැමිණිල්ලක් නොකරම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර දිනක් ඇතුළත අදාල යුවළ අත් අඩංගුවට ගත් බවය.

මෙම සිදු වීම අපරාධ වරදක් බැවින් වහාම රත්වත්තේ මහතාව අත් අඩංගුවට ගෙන විමර්ශන කටයුතු ඉක්මන් කළ යුතු බවත් නීතීඳ සේනක පැවසීය.