“දේශපාලන ගැත්තෙක් නොවූ මාධ්‍ය පෞරුෂය ”- ඩබ්ලිව්.ඒ.ජී ගුණරත්න ආවර්ජනා

දිනමිණ පුවත්පතේ හිටපු ප්‍රවෘත්ති කර්තෘවරයෙකු වූ ද ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා වූ ද ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ඩබලිව්.ඒ.ජී ගුණරත්න මහතා සැප්තැම්බර් 17 දින අභාවප්‍රාප්ත විය. මේ කතාබහ එතුමාගේ ශිෂ්‍යයකු වශයෙන් මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ආචාර්ය රංග කලන්සූරිය මහතා සමගය. කතාබහේ වෑයම, ගුණරත්න මහතාගේ චරිතය ඇසුරෙන් ලංකාවේ සමකාලීන ප්‍රවෘත්ති කලාව තේරුම්ගැනීමය.

ඩබ්ලිව්.ඒ.ජී ගුණරත්න මහතා ගැන ඔබට පළමු මතකය කොයිතරම් ඈතද?

1991 ජනවාරි 02 වැනිදා දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්ති අංශයට පුහුණු මාධ්‍යවේදියකු වශයෙන් රුපියල් පන්සීයේ වැටුපට මම සම්බන්ධ වෙද්දී එහි ප්‍රවෘත්ති කර්තෘවරයා වූයේ ගුණරත්න මහත්තයා. පළමු වැනි දවසේම මාත් එක්ක එතුමා කතා කළේ නෑ. පුටුව පෙන්නුවා. එච්චරයි. හැබැයි මම දැක්කා ගුණරත්න මහත්තයා මට වැඩක් නොදී ඉන්න වාතාවරණෙක මම මොනවද කරන්නෙ කියලා නිරීක්ෂණය කරනවා. හවස තමයි මට කතා කළේ. අනාගතේ කරන්නෙ මොනවද අහලා ඉස්සෙල්ලාම කළේ අවවාද ටිකක් දීපු එක. වැඩක් පැවරුවේ නෑ. පත්තර කන්තෝරුවක් කියන්නේ විශ්ව විද්‍යාලයක් කියපු එතුමා මෙතැනින් ඉගෙනගන්න ගමන් අනිවාර්යෙන් උපාධිය එක්ක විධිමත් අධ්‍යාපනය දිගට කරගෙන යන්න කිව්වා. ඉංග්‍රීසි ටික ඉගෙනගන්න කියලත් කිව්වා. හැබැයි තමුසෙට හරියන්නේ නම් මෙතන නෙවෙයි කියලත් කිව්වා.

ගුණරත්න මහත්තයා නිර්දය ප්‍රධානියෙක් කියන එකේ තේරුම මොකක්ද?

ඔව්. එතුමා ජනප්‍රිය ප්‍රවෘත්ති කර්තෘවරයෙක් නෙවෙයි. අපි ආදරය කරපු ප්‍රවෘත්ති කර්තෘවරයෙක් නෙවෙයි. හැබැයි මම බොහොම වාසනාවන්ත වුණා ලංකාවෙ හොඳම ප්‍රවෘත්තිකාරයෙක් යටතේ ඉගෙනගන්න ලැබීම ගැන කියල දැන් හිතෙනවා. ඒ කාලේ අපට ඕවා තේරුණේ නෑ. දරුණු ප්‍රවෘත්ති කර්තෘවරයෙක්. වැරැද්දට කිසිම අනුකම්පාවක් නෑ. කාටත් එක විදියට සැලකුවා. හැබැයි වැඬේ විතරයි ඕනෑ. “තමුසෙට ජී.එස් මහත්තයා (කර්තෘ) කිව්වොත් හඳට ගිහින් අසවල් ප්‍රවෘත්තිය අරන් එනවා කියලා කිසිම දවසක බෑ කියන්න එපා. එවෙලෙට හා කියනවා. කියලා එළියට ඇවිත් කල්පනා කරනවා මං කොහොමද හඳට යන්නේ කියලා.” දවසක් එහෙම තමයි මට කිව්වේ. දවසක් මම හයිලෙවල් පාරේ 138 බස් එකෙන් එද්දි වැල්ලවත්තෙන් බැහැලා කාලි කෝවිලට ගිහින් පොල් ගෙඩියක් ගැහුවා. ඒ තරම් වදයක් දීපු ගුරුතුමෙක්. මම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වුණාම එතුමා මට කතා කළාම මම මේවා කිව්වා. මම අද මෙතන ඉන්නෙත් ඔ`ඵව කෙලින් කරන් ඉන්න පු`ඵවන් මාධ්‍යවේදියෙක් හදපු නිසා කියලා. මම ලබාගත් හැම ජයග්‍රහණයකටම එතුමාගේ සම්බන්ධයක් තියෙනවා එහෙම බැලුවාම.

දක්ෂ ආධුනිකයන් තෝරාබේරාගෙන ඔවුන් දිරිමත් කිරීමට තරම් දැනුමක් ඇති පිරිස් දැන් ප්‍රවෘත්ති කාමරවල නැති බවට විවේචනයක් තිබෙනවා. මෙවැනි පසුබිමක ගුණරත්න මහත්තයාගෙ භූමිකාව දකින්නෙ කොහොමද?

අපට පරමාදර්ශී චරිත දැන් ප්‍රවෘත්ති කාමරයේ නෑ. ඒ ගුරු චරිත අහවරයි. එතැනදි අපි ගුණරත්න මහත්තයාගෙන් විශේෂ ලක්ෂණ දෙකක් දැක්කා. අංක එක ප්‍රවෘත්තිවලට තිබෙන ඉව. ඒක පුදුම ඉවක්. අපි යන්නෙ සු`ඵ වැඩක් වුණත් ඒකෙ වුණේ මොකක්ද කියල දැනගන්න ගුණරත්න මහත්තයාට පුදුම ඇම්මක් තිබුණේ. ඒක සමහර විට පොඩි ප්‍රවෘත්ති සාකච්ඡාවක්. නැත්තන් විවෘත කිරීමක්. හැබැයි අපි ඉවෙන්ට් එක කවර් කරලා ප්‍රවෘත්ති කාමරයට එන්න කලින් මොකද වුණේ කියලා ගුණරත්න මහත්තයා දන්නවා. අපි කතාව දුන්නාම අර කෑල්ල මේකෙ නැත්තෙ මොකද කියල අහනවා. ඒ තමයි ප්‍රවෘත්තිකාරයකුට තිබෙන්න ඕනෑ ඉව. අංක දෙක ද්විභාෂිකත්වය. එයාට සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකම මනරම් විදියට හැසිරවීමේ ශඛ්‍යතාවයක් තිබුණා. ඒවා තමයි පරමාදර්ශවල ලක්ෂණ. තරුණ මාධ්‍යවේදියෙකු හෝ මාධ්‍යවේදිනියක් ආවාම ඔවුන්ගේ අඩුපාඩු හඳුනාගෙන ඔවුන් මෙහෙයවන්න ඒ කමාන්ඞ් එක… ගුණරත්න මහත්තයා එද්දි මු`ඵ නිව්ස්රූම් එකම හෙල්ලිලා ඉන්නවා බකමූණෝ වගේ. තැපැල් නයින්ටියේ ඇවිත් හෙල්මට් එකත් එල්ලගෙන වතුර බෝතලෙයි කෑමයි උස්සගෙන එද්දි සිංහයෙක් වගේ තමයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෝ පවා බයපක්ෂපාතයි.

පුවත්පත් වාර්තාකරුවන් ටෙලිෆෝන් ජර්නලිස්ම්වලට සීමාවීම තවත් විවේචනයක්. මේ ගැන එතුමාගේ දැක්ම කොහොමද තිබුණේ?

ඒ කාලේ ටෙලිෆෝන් එක අල්ලන්නත් තහනම්. මු`ඵ ප්‍රවෘත්ති කාමරයටම තිබුණේ ටෙලිෆෝන් දෙකයි. එකක් ගුණරත්න මහත්තයාගෙ මේස උඩ. අනික සමකර්තෘ සමන් චන්ද්‍රනාත් මහත්තයගෙ මේසෙ උඩ. වැඩිපුර පාවිච්චි කරන්නේ ගුණරත්න මහත්තයාගෙ මේසෙ උඩ තිබුණු 240998. මම පොලිස් රවුන්ඞ් එක කළත් ඒක අල්ලන්න බෑ. අපි හිතමු රාගල පොලිසියේ ප්‍රවෘත්තියක් කියලා. ගුණරත්න මහත්තයා කැමැති නෑ ෆෝන් එකෙන් ගන්නවට. “නෑ…තමුසෙ යනවා හෙඞ්ක්වාටස්. එතැනට ගිහිල්ලා කන්ට්‍රෝල් රූම් එකට ගිහිල්ලා එහෙමයි ගන්න ඕනෑ” ටෙලිෆෝන් ජර්නලිස්ම් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. මට මතකයි කොම්පඤ්ඤවීදිය පොලිසියේ දවස් දෙකක් මම බුදියගත්තා. පෑලියගොඩ ක්‍රයිම් ඕ.අයි.සී හිටියෙ විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි. එයා අපරාධකාරයෙක් අල්ලලා. ඒත් කෝල් එකක් දීලා දැනගන්න බෑ. ගුණරත්න මහත්තයා දැක්කොත් ටෙලිෆෝන් එක අල්ලනවා එදාට බලු බැනුම්. හැබැයි ඒකෙන් තමයි අපි මූලාශ්‍රවලට සම්මුඛවීමේ වටිනාකම ඉගෙනගත්තේ. ඒ පුහුණුව තමයි අපිට අද අස්වැන්න. ගුණරත්න මහත්තයාගේ විශේෂ ගුණය ඒක.

ගුණරත්න මහතාගේ ගමන් ආරම්භය පුංචි තැනක්. මේ දක්වා ගමන කොහොමද දකින්නේ?

හොඳ ප්‍රවෘත්තිකාරයෙක් වෙන්න හැමෝටම බෑ. ඒ වගේම ඒක උගන්නන්නත් ලේසි නෑ. පීනන්න බයිසිකල් පදින්න වගේ ඒක බෑ. විශේෂාංගයක් ලියන එක වුණත් උගන්නන්න පු`ඵවන්. හැබැයි ප්‍රවෘත්ති කලාව ලේසි නෑ. මම කලින් කියපු ගුණ දෙකෙන් භාෂාව ඉගැන්නුවත් ඉව උගන්නන්න බෑනෙ. ඒක ඇගේ තියෙන දෙයක්. බල්ලෙකුට ඉව එන්නෙ ජානවලින්නෙ. ඌට උගන්නන්න බෑනෙ. ඒ වගේ තමයි පත්තරකාරයෙකුට ඉව උගන්නන්න බෑ. මම හිතන්නේ ඒක එතුමාට පිහිටපු ගුණයක්. මාතර තිහගොඩ ප්‍රාදේශීය වාර්තාකරුගෙන් වෘත්තිය ආරම්භ කරලා අන්තිමේදී ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය ආයතනවල මුල් පුටු හොබවන තැනට එන්න එයා ආපු ගමනක් තියෙනවනෙ. එතුමා ඒ ගමන ආවේ කර්තෘවරුන්ට පගාව දීලාවත් බැල මෙහෙවරකම් කරලාවත් කිරි මුට්ටි ඇදලාවත් නෙවෙයි. සම්පූර්ණ කැපවීමෙන්. උදේ හත වෙනකොට නිව්ස්රූම් එකේ. රෑ එකොලහටත් නිව්ස් රූම් එකේ. ඬේලි නිව්ස් පුවත්පතේ ඒරන් මහත්තයත් ඒ වගේ චරිතයක්. කැපවීම නැතිව ප්‍රවෘත්ති කලාවේ නිරතවෙන්න බෑ. ඒ කැපවීම නැති නිසා තමයි වර්තමාන ප්‍රවෘත්ති කලාවේ පරිහානියක් දකින්නේ.

අත්දැකීම් බහුල ද්විභාෂික උගතුන් පුවත්පත් කලාවට අහිමිවීම ගැන ඔබේ අදහස කුමක්ද?

ජනමාධ්‍ය ඇමැතිලාත් සමාවගන්න තැනටම ඒ කඩාවැටීම දැන් ඇවිල්ලනේ. වෛරසවේදය වැනි අතිශයින් තාක්ෂණික කරුණු තියෙන මහාචාර්ය නීලිකා මලවිගේගේ දේශනයක් මාධ්‍යවේදියකු විනාඩි තුන හතරක නිව්ස් බුලටින් එකකට සංක්ෂිප්ත කරන්නේ කොහොමද? ඊටපස්සේ ඡේද තුන හතරක නිව්ස් එකකට සංක්ෂිප්ත කරන්නෙ කොහොමද? ඒ පුහුණුව නැතිකම තමයි අද මේ කඩාවැටීමට හේතුව. ඒකට ප්‍රවෘත්ති කාමරවලට ප්‍රතාපවත් චරිත ඕනෑ. ප්‍රධාන කර්තෘ ජී.එස් පෙරේරා මහත්තයවත් සභාපතිතුමාවත් ගුණරත්න මහත්තයව චැලේන්ජ් කරන්න ආවේ නෑ. එයා ප්‍රවෘත්ති කර්තෘ විදියට තීරණයක් ගත්ත නම් එයා ඒ තීරණේ වෙනුවෙන් ඉන්නවා. සටන් කරනවා. එතුමාව දේශපාලන පලිගැනීමක් විදියට වතාවක් අනුරාධපුරේට මාරු කළා. අන්තිමේදි හොඳම නිව්ස් ටික එන්නෙ අනුරාධපුරෙන්. පළිගැනීමට පවා එතුමා අභියෝග කළේ එහෙම. මෙතැන අනිත් වැදගත්ම දේ තමයි ගුණරත්න මහත්තය මේ ඔක්කොම වික්‍රම දැම්මේ ලේක්හවුස් එකේ ඉන්න ගමන්. ඒ කියන්නෙ රාජ්‍ය මාධ්‍ය ආයතනයක. මාධ්‍යවේදියකුට අදීනත්වය ආභරණයක් කියන එක තමයි එතුමා කියල දුන්නේ.

ජනාධිපති ප්‍රේමදාස මහතා යටතේ මාධ්‍යකරණය පහසුවුණේ නෑ කියල කවුරුත් දන්නවා. එහෙම තීරණාත්මක අවස්ථා ගැන මතකයන් මොන වගේද?

එදා ලලිත් ගාමිණි ප්‍රේමචන්ද්‍ර තුන් දෙනා දෝෂාභියෝගයට පසුබිම හදන්න එලියට බැහැපු දවස. එතකොට මාත් උදේම ඔෆිස් යනවා. මාත් එක්ක එදා හිටියේ දයා ගුණතිලක කියන මාධ්‍යවේදියා. ඉතාම දක්ෂ මාධ්‍යවේදියෙක්. ද්විභාෂාවෙන්ම වැඩ කළ හැකි ද්විත්ව උපාධිධාරියෙක්. එතකොට මම ප්‍රවෘත්ති කාමරයට ඇවිල්ලා මාස හයයි. 91දි. ඒත් දයා ටිකක් අඩිය ගහන නිසා සිහිය පිළිබඳ ප්‍රශ්නේ. මාත් ආධුනිකයා තවම. ගුණරත්න මහත්තය තීරණය කළා අන්තිමේදි අපි දෙන්නම යවන්න. ඉක්මනට පාර්ලිමේන්තුවේ කමිටු අංක දෙක ශාලාවට යන්න එතැන ප්‍රෙස් එකක් කියලා එතුමා කිව්වා. ලලිත්ල ආණ්ඩුවෙන් එළියට බහිනව කිව්වෙ ඒ ප්‍රෙස් එකේදි. ඒ යුගයේ ලොකුම ප්‍රවෘත්තිය. ඒත් ඔෆිස් එකට ආවාම ගුණරත්න මහත්තයගෙන් ලැබුණේ දරුණු බැණුම්. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ දිනමිණ පත්තරේ මේක වාර්තා කරන්නෙ කොහොමද කියලා මාධ්‍යවේදීන් හැටියට අපට අදහසක් තිබෙනවනෙ. ඒත් ගුණරත්න මහත්තය මගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේ ඇයි ඔයාලා ප්‍රශ්න ඇහුවෙ නැත්තෙ කියලා. දයා ගුණතිලක සීනියර් නිසා මම තමයි අහුවුණේ. හැබැයි එදා ගුණරත්න මහත්තයා සෑහෙන සටනක් කරලා ලලිත් ගාමිණිලා ආණ්ඩුවෙන් යනව කියන කතාව මුල් පිටුවෙ ඩබල් ලීඞ් එකක් ගහලා දැම්මා. අද නම් ඕක දිනමිණේ වෙන්නේ නෑ. තුන් වැනි පිටුවෙ ඇතුලක පොඩියට යාවි. ඒක එදා කළේ ගුණරත්න මහත්තයා ප්‍රවෘත්ති කාමරේ සටන් කළ නිසා. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ පවා දිනමිණේ මුල් පිටුව මෙහෙම වෙන්න ඕනෑ කියන්න ගුණරත්න මහත්තය නිර්භය වුණා.


සංවාදය – බිඟුන් මේනක ගමගේ