උපුල් ශාන්ත සන්නස්ගල මහතා සැප්තැම්බර් 18 වැනිදා ෆේස්බුක් ලයිව් වීඩියෝවකින් යූටියුබ් චැනල් කරන පිරිසකගේ කැත වැඩක් හෙළි කළා.
ඒකෙන් වන්දි ගෙවන්න වෙලා තිබුණේ සන්නස්ගලටමයි. ඔහුගේ ෆේස්බුක් හඬ නිහඬ කරලා.
මේවා ගැන කතා කරන්න ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ පවා බයයි. මේවා ගැන කතා කරන්න කොන්දක් තියෙන අංක එකේ සිවිල් චරිතයක් තමයි සන්නස්ගල.
මාතෘකාව ගණිකා නිවාසයක් වටලනවා කියා තිබුණ වීඩියෝවක් ගැන. එතැන ඉඳපු ගැබිණි අම්මලා ඇතුළු පිරිසකගේ මූණු සහිතව වීඩියෝ දාලා තිබුණේ අන්තර්ජාලයෙන් ඒ අය ප්‍රසිද්ධ අපහාසයට ලක් කරමින්.
සන්නස්ගල මහතා ඒ වීඩියෝවේදී මාධ්‍ය සදාචාරය ගැන තදින් ප්‍රශ්න කළා. ඒ කාන්තාවන් කාගේ හෝ සහෝදරියන්, දරුවන් නොවේද යන්න සිහි කළා. ඒ අයටත් පවුල්වල අයටත් මුහුණදෙන්න වෙන අත්දැකීම ප්‍රශ්න කළා. ඒ වගේම වීඩියෝ දැම්ම අයගේ හෘදය සාක්ෂියට වැදෙන්න ප්‍රශ්න කළා.
දැන් ඒක හෙළිදරව්ව කරපු, සන්නස්ගල මහතාගේ ෆේස්බුක් ගිණුම දවස් තිහකට බ්ලොක් කරලා. ඒ සයිබර් බුලි කිරීමක් හෙවත් අන්තර්ජාලයීය හිංසාවට ලක් කිරීමක් ගැන සන්නස්ගලට චෝදනා කරමින්. මේක මොන විහිළුවක්ද? ඔහු නිශ්චිතවම කළේ හිංසනයට එරෙහිවීමක්.
මේ සිදුවීම මීට දින කිහිපයකට කලින් සිදු වූවක්. දවස් හතරකට කලින් මේක අද දෙරණ ප්‍රවෘත්ති වාර්තාවක පළ වුණා. හැබැයි කාන්තාවන්ගේ මුහුණු වහලා වීඩියෝව දැම්මේ. පෙනෙන විදියට ඒක වාර්තා කළ මාධ්‍යවේදීන්ගෙන් වීඩියෝව අරන් යූටියුබ්කාරයන් දාලා.
මේ ගැන තුෂර වික්‍රමනායක මහත්මිය එ.ජා. මානව හිමිකම් කොමසාරිස්වරියට පැමිණිල්ලකුත් කරලා තිබුණා.
‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්‍යාලය
Palais de Nations
CH1211 – Geneva 10
ස්විට්සර්ලන්තය
ගරු මැතිණියනි,
අසරණ වූ ශ්‍රී ලාංකීය පුරවැසියෙක් ලෙස ඔබ තුමියට මෙසේ කියන්නේ දිනපතා සිදුවනස් දරුණු මානව හිමිකම් උල්ලංගනයන් නිසාය. අපගේ දූපත් පාරාදීසයේ පවතින අදහා ගත නොහැකි අරාජිකත්වයෙන් අපි කොර වී ඇති බව මේ විඩියෝවෙන් පෙනේ.
මේ විඩියෝව පොදු විඩියෝ චැනලයක් වන … මීඩියා හි ප්‍රචාරය වුනේ සැපැතැම්බර් 14දා වන අතර එහි මාතෘකාව වූයේ “The Siege/ගැබිනියන් දෙදෙනෙක් ඇතුළු තරුණියන් 6ක් ගණිකා සේවයේ / තලංගම වැටලීම /අනේ සර්/Prostitutes”ලෙසයි. විඩියෝ කරන්නා කාන්තාවන් පොලිස් වාහනයට කැඳවාගෙන යෑමත්, ඔවුන් තමන්ගේ මුහුණු ආවරණය කිරීමට තැත් කිරීම නොතකා මුහුණු අනාවරණය වන ලෙස ලංකොට පටිගත කරයි.
එක් අවස්ථාවකදී නිල ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියෙක් වාහනය පිටුපස හැංඟී සිටි කාන්තාවන් දෙදෙනෙකුට ඇඟිල්ල දිගු කොට ඔවුන් ගැබිණි බව පවසයි. එක් කාන්තාවක් ඉතාමත් කනස්සලෙන් සහ කම්පනයෙන් සිටින බව පෙනේ. නිලධාරීන් පිරිමින් දෙදෙනෙකු සහෝදරයින් ලෙසත්, කාන්තාවන් දෙදෙනෙක් සහෝදරියන් ලෙසත් හඳුනා ගනිති. විඩියෝ කිරීමේ මුලු ක්‍රියාවලියම නිදහසේ සිදුකරන්නේ නිල ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන්ගෙන් කිසිම බාධාවක් නොමැති බව පැහැදිලියි. වින්දිතයින් සහ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට ඔවුන් වෘතියෙන් බැඳී සිටින අතර සියලුම සැකකරුවන්ටද ගරුත්වයෙන් සැලකිය යුතුවේ. මෙය පෙර නොවූ විරූ තරම් සදාචාරය පිරිහීමක් වන අතර පොලිසිය විවෘත නඩු ඇසීමක් කරමින් අපරාධ යුක්තිය කොලොප්පමට ලක් කරති.
මේ ගැන ඔබ තුමියව දැනුවත් කිරීමට තදබල බලපෑම වන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසි ආරක්ෂාව ගැන මට කිසිම විශ්වාසයක් නොමැති වීමයි; රට මේ දවස්වල දෙදරා ගිය ප්‍රවෘත්තියක් වන්නේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බීමත්ව බලහත් කාරයෙන් බන්ධනාගාරයට ඇතුලුවී සිරකරුවන්ගේ හිසට පිස්තෝලයක් එල්ල කලා යැයි කියන කතාවයි.
රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ ඇමති ලෙස සැප්තැම්බර් 15දා තනතුරෙන් ඉල්ලා අස්වූවද තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ රැඳී සිටියි. ශ්‍රී ලංකාවේ ජානාධිපති සහ වර්ථමාන රජය පිහිටුවා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය මෙලෙස තව දුරටත් බලය අවභාවිතා කිරීම ඉවසීම මහජන ආරක්ෂාව සහ පුරවැසි අයිතීන් ප්‍රවර්ධනය නොතකන බව මුරණ්ඩුවෙන් සනාථ කරති.
විඩියෝවේ දකින්නට ලැබුනු අත් අඩංගුවට ගත් කාන්තාවන්ට සහ පිරිමින්ට සාදාරණ නඩු ඇසීමක් සිදුවේවි හෝ ඒ අයට තව දුරටත් වෙනස්කම් සිදු නොවේ යැයි මා විශ්වාස නොකරමි. ගැබිණි කාන්තාවන්ට දරුණු මානසික වද හිංසා වලට ලක් වීමටත් එමඟින් කුසේ සිටින දරුවාට අහිතකර බලපෑම් ඇති වීමටත් දරුවාගේ පසු වර්ධනයටත් මෙය අතිශයින් බලපානු ඇත.
කරුනාකර ශ්‍රී ලාංකික පුරවැසියන්ට සමානාත්මතාවය, යුක්තිය, බලාපොරොත්තුව උදා කිරීමට උපකාරී වන්න. ඔබ තුමියගෙන් සාධණීය ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි.
මෙයට විශ්වාසී
වෛද්‍ය තුෂ් වික්‍රමනායක
සභාපතිනි, ළමා හිංසනයට තිත පදනම’