මනූෂටත් සීඅයිඩී මරාලය! හේතු නොදක්වා එන්න කියලා! ඉවසුවා ඇති! මනූෂ හඬ නගන්න

සමගි ජන බලවේගයේ ප්‍රබලම හඬක් නගන දේශපාලන නායකයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය කතා කරලා. අපේ නං අදහස මනූෂ නානායක්කාර මහතා මේකට විරුද්ධව නැගී සිටින්න ඕනෑ කියලයි.

මේ විදියට සීඅයිඩීය පුද්ගලයන් රස්තියාදු කරමින් හිංසාවට පත් කිරීම අපි ඉවසුවා ඇති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේම හිටපු මාධ්‍යවේදියෙක් වන නිසා මේ හිංසාකාරී ක්‍රියාකලාපයට විරුද්ධව නැගිටින්න ඔහු ප්‍රමුඛ සමගි ජන බලවේගය නායකත්වය දෙන්න ඕනෑ කියලයි අපි හිතන්නේ. මොකද මේක ජිනීවාවලට පවා ගිය තත්වයක්.

මීට කලිනුත් සීඅයිඩීයට කතා කළාම ‘ඇත්ත කතා කරපු නිසා බය නෑ’ කියලා ගිහින් ප්‍රකාශයක් දීලා හිනාවෙලා එළියට එන ගමන් වොයිස්කට් එකක් දීම කිහිපදෙනෙකු අතින් කිහිපවතාවක් සිද්ධ වුණා. එකේ වරදක් නෑ. ඒත් මෙදා පාර මනූෂ නානායක්කාර මහතා ඒ සම්ප්‍රදාය කඩන්න ඕනෑ කියලා අපි හිතන්නේ.

ඒ විදියට ගිහින් පැය කිහිපයක ප්‍රකාශයක් දීලා එනගමන් වොයිස්කට් දීමෙන් කරන්නේ මේ සීඅයිඩී හිංසනය නඩත්තු කරන එක. ඕකේ වන්දිය ගෙවන්න වෙන්නේ මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ට නෙවෙයි. ලොකු ප්‍රසිද්ධියක් නැති සාමාන්‍ය අයට. එයාලාගේ වොයිස්කට් ගන්න මීඩියා එන්නේ නෑ. දවස් කිහිපයක් එයාලා අත්අඩංගුවට ගත්තත් ලොකු හඬක් නැගෙන්නේ නෑ.

සිදුවීම ගැන මනූෂ නානායක්කාර මහතා ලියූ ෆේස්බුක් සටහන මේ.

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක වෝහාරික අංශය විසින් සිදුකරනු ලබන විමර්ෂණයකට අදාලව තොරතුරු ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට මා වෙත දැනුම්දීමක් කර ඇත.

එහෙත් කුමන පැමිණිල්ලක් සම්බන්ධයෙන්, කවරාකාරයේ විමර්ෂණයක් සම්බන්ධයෙන් මා කැදවන්නේද යන්න සදහන් කර නැත.විමර්ෂණ අධිකාරියක් විසින් සිදුකරනු ලබන ඕනෑම නීත්‍යානුකූල විමර්ෂණයකට අදාලව සාක්ෂි ලබාදීමටත්, එකී පරීක්ෂණ ඉදිරියට ගෙන යාමටත් මාගේ උපරිම සහාය ලබාදීමට සෑම විටම බැදී සිටින බව සිහිපත් කරමි.

එහෙත් සිදුවන විමර්ෂණය පිළිබද නිසි කරුණු දැක්වීමකින් තොරව කරනු ලබන කැදවීමක් සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය උපදෙස් පැතිය යුතුව ඇත. සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මැතිතුමන් සමග සාකච්ඡුා කර තිසත් විජයගුණවර්ධන සහ ෆර්මාන් කාසිම් යන ජනාධිපති නීතීඥවරුන්ගේ නීති උපදෙස් පරිදි ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමි.’

මනූෂ ප්‍රසිද්ධ කළ ඡායාරූපයක්

මෙය හිංසනයක් බව අපි කියන්නේ ඇයි? යම් කෙනෙක් ප්‍රසිද්ධියේ කතාවක් කළාම ඒ ගැන ගෙන්නලා පොලීසිය ප්‍රශ්න කරන එක අපි පිළිගන්න ඕනෑ. දරුණු දෙයක් ගැන කතා කළොත් අපි ලෑස්ති වෙන්න ඕනෑ ඒ ගැන ප්‍රකාශයක් දෙන්න. ඒක ඇත්ත. අපිම ඒක කියා තිබුණා මීට කලිනුත්.

ඒත් මේ කරන්නේ හරියට හේතුවක්වත් නොදන්වා ආණ්ඩු විරෝධීන්ව ගෙන්වන එක. ඒ විතරක් නෙවෙයි කෙළවරක් නැතිව පුංචි දේවල්වලටත් පුද්ගලයන් කැඳවනවා. අර කුරුණෑගල තරුණයෙක් නිකම් ෆේස්බුක් මීම් එකක් හැදුවා කියලා සීඅයිඩී කැඳවූ අවස්ථාව ඒ වගේ දෙයක්.

මේ පෝස්ට් එක දැම්මා කියලා ඇඳිරි නීතිය අස්සේ කුරුණෑගල ඉඳන් කොල්ලෙක්ව සීඅයිඩී ගෙන්වන්න තරම් පහතට වැටිලා

ඒ අනුව අපි කලින් කීව යම් ප්‍රකාශයක් කරපු කෙනෙකුගේ වගකීම පිළිබඳ කතාව සංශෝධනය කරගන්න වෙනවා. මේක තවදුරටත් අපි කරන ප්‍රකාශයක වගකීම අපි ගන්න ලෑස්තිද? නැද්ද? කියන තත්වයක් නෙවෙයි.

මේක අධිකරණමය සහ නීතිමය වශයෙන් පුද්ගලයන් රස්තියාදු කිරීම ගැන ප්‍රශ්නයක්. අනෙක් පැත්තෙන් යම් විශේෂ වෙලාවක පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීම එකක්. දැන් වෙලා තියෙන්නේ කටෙන් තීරණාත්මක වචනයක් පිටවුණ ගමන් සීඅයිඩී මරාලය කඩාවැටෙන තත්වයක්. මේ තත්වය ජිනීවාහි මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාචික අප්ඩේට් එකේදීත් පහුගියදා කීවා. ඒ කියලාත් නතර වෙලා නෑ.

අනෙක මේක අපේ රටේ සීඅයිඩීයේ ගෞරවයටත් හානියක්. තමන් පරීක්ෂණ කරලා හොයාගත් නැතිව, අනුන්ගෙන් තොරතුරු හොයන්න තරම් ඔය ආයතනය වේලෙනවාද?

ඉස්සර අපේ රටේ මාධ්‍යවේදීන් සහ දේශපාලනඥයන් සීඅයිඩීය හොයාගත් කරුණු අධිකරණයට දාපු බී රිපෝට්වලින් හරි, වෙනත් ක්‍රමවලින් තොරතුරු හොයාගෙන රටට කීවා. ලීවා. සීඅයිඩීය තමයි විමර්ශනවලින් කරුණු හෙව්වේ. ඒත්, දැන් සීඅයිඩීය කිසිදෙයක් හොයන්නෑ. කවුරුහරි මනුස්සයෙක් තමන්ගෙ හිතේ තියෙන සැකයක් ගැන, නැත්නම් තමන්ට ලැබුණ තොරතුරක් ගැන කරුණු කිව්වොත් ඒ අයව ගෙන්නන වැඩේ තමයි සීඅයිඩීය කරන්නේ. ආයතනයක් විදියට මේක කොච්චර ලැජ්ජ නැති වැඩක්ද? එළියෙ ඉන්න කවුරුහරි යමක් කියනකල් ඉන්නේ? එයාලා ළඟ තොරතුරු නැතිවද?

ඉතින්, මේක සීඅයිඩී හිංසනය ඉවසුවා දැන් ඇති. මේකට විරුද්ධව තීරණාත්මක හඬක් නැගෙන්න ඕනෑ. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්ව දැන් කැඳවලා තියෙනවා. ඒ මන්ත්‍රී කණ්ඩායම, හරීන් ප්‍රනාන්දු වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් මේකට තීරණාත්මක විරෝධය ප්‍රකාශ කිරීමක් කරන්න ඕනෑ.