මහින්ද පාර්ලිමේන්තුවෙන් අස් වේ- ඇමෙරිකන් තානාපතිකමට- ජනාධිපතිගේ ඉල්ලීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ තමන්ගේ මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් වී ඇමෙරිකානු තානාපතිධුරය බාරගැනීමට බලාපොරොත්තු වෙන බව මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

මව්රට සහ මව්බිම පුවත්පත් වාර්තා කර ඇත්තේ මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් වීමට තීන්දුව අරන් හමාර බව. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් අනුව මෙලෙස ඉල්ලා අස්වෙන බව තමයි ඒ වාර්තාවල තියෙන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල රැස්වීම ඇමෙරිකාවේ පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී හිටපු තානාපති රවිනාථ ආරියසිංහ මහතා ඉල්ලා අස් වුණා.

මීට කලින් සන්ඩේ ටයිම්ස් ඇතුළු මාධ්‍ය ගණනාවක් වාර්තා කළේ ඇමෙරිකානු තානාපති ලෙස රාජපක්ෂ සහෝදරයන්ගේ මස්සිනා වන වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස පත් කරනු ඇති බව. දැනට ඇමෙරිකාවේ කොන්සියුලර් ජනරාල් ලෙස සිටින ලලිත් චන්ද්‍රදාස මහතා  මාස කිහිපයකට පෙර බැසිල් රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු සංචාරය වෙලාවේ වොෂිංටන්වලදී ඇමෙරිකානු රජයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙක් එක්ක රහස් සාකච්ඡා පැවැත්වූ බවත් ටයිම්ස් වාර්තා කරලා තිබුණා.

ඉදිරි අනාගතයේදී ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉතා තීරණාත්මක වනු ඇති. ඇමෙරිකාව මේ වෙද්දී චීනයට එරෙහිව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් උපක්‍රමික යුද්ධයකට පිවිස හමාරයි. ඔවුන් වෙළඳ සම්බන්ධතා, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා වගේම මානව හිමිකම් ප්‍රශ්න පවා මේ යුද්ධයේ ප්‍රධාන අවි විදියට පාවිච්චි කරනවා. චීනයට පක්ෂපාතී ශ්‍රී ලංකාව වැනි රටවල් ඇමෙරිකාවේ ඉදිරි රාජ්‍යතාන්ත්‍රික ප්‍ර‍වේශයේ ප්‍රධාන උපක්‍රම බවට පත් වෙනවා. ඒ අනුව එරට තානාපති ලෙස පත්වන්නේ කවුද කියන එක ඉතා තීරණාත්මකයි. මහින්ද සමරසිංහ මහතාට තානාපතිකම බාරගන්නා ලෙස ඉල්ලුවානම්, හේතුව ඒ අවදානම ගැන අවබෝධය වෙන්න පුළුවන්.