ජාඇළ නාගරික මන්තී‍්‍රවරියක් අනවසරයෙන් කුඹුරු ගොඩ කරලා!

මුතුරාජවෙල රක්ෂිතයට අයත් කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයට යාබදව පිහිටි ජාඇළ ඉඳිවිටිය ප‍්‍රදේශයේ ජාඇළ නගර සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන නාගරික මන්ත‍්‍රීවරියකට අයත් අක්කර තුනක පමණ කුඹුරු ඉඩමක් සැප්තැම්බර් 14දින දින ගොඩ කරමින් සිටියදී ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකයේ සහ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් වටලා ගොඩ කිරීම තහනම් කොට ඇති බව දිවයින පුවත්පත වාර්තා කර ඇත.

ඉඩම ගොඩකිරීම සඳහා යොදා ගෙන තිබූ බැකෝ යන්ත‍්‍රය සහ ටිපර් රථයද කඳාන පොලිසිය විසින් තම භාරයට ගෙන ඇත.

මේ වන විට වාහන දෙක මුදා හැර ඇත. මෙම වැටලීමේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකයේ අංශභාර නිලධාරී පී. රණවීර මහතා දිවයින ට පවසා ඇත්තේ සිද්ධියට සම්බන්ධ නාගරික මන්ත‍්‍රිවරිය තමන්ට එම ඉඩම ගොඩ කිරීමට අනුමැතිය ලබා ගෙන ඇතැයි පවසා සිටියත් ඉඩම් ගොඩකිරීමේ පනතේ ඇති නීති රීති අනුව ගොඩකිරීම අත්හිටවූ අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යන බවය.

මේ පිළිබඳව සිද්ධියට සම්බන්ධ ඉඩම හිමි ජාඇළ නාගරික මන්ත‍්‍රිනී ඈන් දිපිකා මාකස් (පොදුජන පෙරමුණ) කළ විමසිමේදී ඇය පවසා ඇත්තේ තමන්ට අයත් එම ඉඩම ගොඩකිරීමට අවශ්‍ය අනුමැතිය ඒ සඳහා වගකිව යුතු ආයතන කිහිපයකින් ලබා ගෙන ඇති බවය. තමාගේ අතපසු වීමකින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තු වෙන් පමණක් අනුමැතිය ලබා ගැනීමට නොහැකි වූ බවය. තමන්ගේ ඉඩමට මායිම්ව පිහිටි ඉඩමේ ජාඇළ නගර සභාවේ තවත් මන්ත‍්‍රීවරයකු විසින් ස්ථිර නිවාස කිහිපයක්ද ගොඩනගා ඇති බවද ඇය පෙන්වා දුන්නාය.