ඇෆ්ඝන් වේදනාව ලොවට කී සාහිත්‍යකරු – ‘කාලිඩ් හුසේනි ’.. චන්ද්‍රිකා විජේසුන්දර

කාලිඞ් හුසේනි යනු ඉංග්‍රීසි භාෂාව ව්‍යවහාරයේ අල්ප දැනුමක් ඇතිව ඇමෙරිකාවට පැමිණි අයෙකි. වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ඉංග්‍රීසි භාෂාවෙන් නව කතා ලියන ඔහු ලොව පුරා ජනප්‍රිය වූ ලේඛකයෙකි. එක්සත් ජාතින්ගේ සුබසාධන ක්‍රියාන්විතයක නිථ්‍ය නියෝජිතයෙකි. තම මාතෘභූමිය වූ ඇෆ්ඝනිස්ථානයේ යුද අනාථයන් බවට පත්ව සිටින කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් තමන්ගේම සුබසාධන පදනමක් පිහිටුවාගත් ලේඛකයෙකි.

1976 වසරේදී කාලිඞ් හුසේනිට තම මව්පියන් සමග පැරීසියට යාමට සිදු වූ අතර ඔහුගේ පියා විදේශ සේවයේ නියුතුව සිව් අවුරුදු සේවාව සඳහා පැරිසියේ ඇෆ්ඝනිස්ථාන තානාපති කාර්යාලයට සම්බන්ධ වූයේය. එම සිව් අවුරුදු සේවා කාලය අවසන් වනවිට ඇෆ්ඝනිස්ථානය සෝවියට් දේශය විසින් ආක්‍රමණය කරනු ලැබ තිබුණි. ආපසු සිය රට යනවා වෙනුවට ඔවුහු දේශපාලන රැකවරණ පතා ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණියහ. ඔවුන්ගේ නිථ්‍ය පදිංචි භූමිය වූයේ කැලිෆෝනියාවයි. කාලිඞ් හුසේනි වෛද්‍යවරයකු වූයේ ද  ‘ ද කයිට් රනර් ’  ‘අ තවුසන්ඞ් ස්ප්ලෙන්ඩිඞ් සන්ස් ’ ආදී ලොව ආදායම් වාර්තා තැබූ පොත් කීපයක්ම ලියූවේ ද කැලිෆෝනියාවේදීය. රේඩියෝ ෆෝ යුරෝප් /රේඩියෝ ෆ්‍රී ලිබර්ටි මාධ්‍ය ආයතනයේ වාර්තාකරුවකු මෙම ලේඛකයා සමග පවත්වන්නට යෙදුණ ගුවන් විදුලි සාකච්ඡාවක් අන්තර්ජාලයෙහි පළ විය. මේ එයින් උපුටාගන්නා ලද්දකි.

ප්‍රශ්නය – ඇෆ්ඝනිස්ථානයේ ඔබගේ ළමා කාලය කෙබඳු වීද?

කාලිඞ් – මම ඉපදුණේ 1965 ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවරදී. ඒ සෝවියට් දේශය ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණයට පෙර. මගේ මවුපියන් සරසවි අධ්‍යාපනය ලැබූ අය. මගේ මව පාති.. ඉරාන ජාතික කාන්තාවක්. ඇය කාබුල් නගරයේ උසස් බාලිකා විදුහලක ඉතිහාසය හා පර්සි භාෂාව ඉගැන් වූ ගුරුවරියක්. පියා විදේශ සේවයේ නියුතුවූවෙක්.
මා දන්නා පරිදි සෝවියට් ආක්‍රමණයට පෙර ඇෆ්ඝනිස්ථානය අසල්වාසී රටවල් සමග සාමයෙන් සහජීවනයෙන් ගත කළ රටක්. කාබුල් නගරය සීඝ්‍රයෙන් දියුණුවට පත්වෙමින් සංවර්ධනය වෙමින් පැවැති සුන්දරතම නගරයක්. එහි විවිධ ජාතින් එක්ව සහජීවනයෙන් ජීවත් වුණා. ඇෆ්ඝනිස්ථානය නමින් ඔබ අද දකින අහන රටේ නෙවෙයි එදා අපි ජීවත්වුණේ. සාමය පිරි අවසන් වසර කීපය තුළ මගේ මාතෘ භූමියේ ජීවත්වීමට ලැබීම මම භාග්‍යක් කොට සලකනවා.

ඔබේ මවුපියන් ඇෆ්ඝනිස්ථානයෙන් පිටවුණේ ඇයි?

කාලිඞ් – මගේ පියාගේ වෘත්තිය අනුව ඔහුට සිව් අවුරුදු කාල සීමාවකට පැරීසීයේ තානාපති සේවයට යාමට සිදුවුණා. අපි රටින් පිටවුණේ 1976දි. ඒ අතරතුර සෝවියට් දේශය ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළා. යුද්ධය ඇරඹුණා. රටේ තත්ත්වය අස්ථාවර වුණා. අනාථයන් වැඩිවෙද්දී බොහෝ ජනයා වධහිංසාවට ලක්වුණා. හිරගෙවල් පිරුණා. සීමාවක් නැතිව තෝරාබේරාගැනීමක් නැතිව අහිංසක ජනතාව ඝාතනය වුණා. නිවාස ගොඩනැගිලි විනාශ වුණා. ඉතින් මගේ පියා දෙවරක් නොසිතා සේවා කාලය අවසන් වනවිට ඇමෙරිකාවේ දේශපාලන රැකවරණය පැතුවා. අපි 1980 දි කැලිෆෝනියාවේ සෙන් ජෝන් නුවර පදිංචි වුණා.

ළාබාලයකු ලෙස ඇමෙරිකාවට පැමිණෙන්නට සිදුවීම ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර – ඇමෙරිකාවට එනවිට මගේ වයස අවුරුදු 15යි. මා ආ සැණින්ම වගේ එහි උසස් විදුහලකට ඇතුළත් කළා. විශේෂයෙන්ම මගේ ඒ වයස (ගැටවර වියට එළඹෙමින් සිටීම) එතැනට හැඩගස්සාගැනීම මට අසීරු වුණා. එය වඩාත් බලපෑවේ මගේ මවුපියන්ට. ඔවුන්ට මු`ඵමනින්ම මේ පරිසරයට හැඩගැහෙන්න සිදුවුණා. සිය වෘත්තිය කටයුතුවලින් ඈත්වෙන්නට සිදුවුණා. ජීවිත කාලය පුරා හරිහම්බ කරගත් දේ, කාබුල්වල සියලු දේපළ අතැර දමා මුල පටන්ම ජීවිතත් පවුලත් ගොඩනගන්නට සිදුවුණා. ඇත්තෙන්ම එය අසීරු කාර්යක්. එසේ වුවත් යුද්ධයට මැදිවුණු ඇෆ්ඝනිස්ථානුවන් දෙස බලනවිට අපි හරිම වාසනාවන්තයි. අපට ජීවත්වෙන්න භූමියක් තිබුණා. හොඳ පරිසරයක් ලැබුණා. ලක්ෂ ගණනක් පකිස්ථානුවන් අසල්වැසි රටවල අනාථ කඳවුරුවල දුක්ඛිත ජීවිත ගත කරනකොට පාකිස්ථානයේ ඉරානයේ කම්කරුවන් ලෙස දුක් විඳිනකොට ඇත්තටම අපි වාසනාවන්තයි.

ඔබ ඇමෙරිකාවට පැමිණෙනවිට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා තිබුණාද?

පිළිතුර – නෑ. මම මෙහි එනවිට කතා කළාට දැන සිටියේ ඉංග්‍රීසි වාක්‍ය කීපයක් පමණයි. පියාගේ විදෙස් සේවාව සමග බලන විට මට ඉංග්‍රීසි භාෂාව හුරුව තිබිය යුතු වුණා. නමුත් මම ඒ ගැන උනන්දු වුණේ නෑ. ඇමෙරිකාවට පැමිණ සති දෙකක් ඇතුළත නවකයකු ලෙස ඉංග්‍රීසි පන්තියකට ඇතුළත් කළා. ඇත්තටම ඒක ඉතා ගැඹුරින් හදාරන්න සිදුවුණා. ඊට අමතරව හැමවිටම පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය සහ පාසල මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කළා. මම හොඳ දියුණුවක් ලබාගෙන සිටියා.

‘ද කයිට් රනර් ’ ලියන්නට පසුබිම් වූයේ කුමක්ද?

කාලිඞ් – ඇත්තටම ඒක සුරංගනා කතාවක්. ඒක මගේ පළමු වැනි ප්‍රබන්ධ කතාව. 1999 වසන්ත සමයේ දිනෙක මම රූපවාහිනිය නරඹමින් සිටියා. ඇෆ්ඝනිස්ථානය හා තලිබාන් සංවිධානය ගැන ප්‍රවෘත්ති විකාශයවීමට පටන්ගත්තා. එහි එක් පුවතක් වූයේ තලිබාන් සංවිධානය විසින් ඇෆ්ඝනිස්ථානයේ සරුංගල් යැවීම තහනම් කර ඇති බවයි. එය මගේ සිත කම්පා කළ පුවතක් වුණා. මොකද මම කුඩා කාලයේ සරුංගල් යවන්න රුසියෙක්. මගෙ යා`ඵවන් ඥාති සොයුරන් පිරිවරාගෙන අපි කාබුල් නගරයේ සරුංගල් යවපු හැටි මට මතක් වුණා. මම ඒ කාලයේ පොඩි පොඩි දේවල් ලියනවා. අම්මා තමයි ඒවා කියවන්නේ. ඒවා ලිව්වේ පර්සි භාෂාවෙන්. ඒ ප්‍රවෘත්තිය මතකේ තියාගෙන මම පුංචි කතන්දරයක් ලිව්වා. ඒක පිටු විසි පහක විතර කෙටි කතාවක්. කාබුල් නුවර දුෂ්කරතා මැද සරුංගල් යවමින් තුටු පහටු වුණු දරුවන් දෙදෙනකු ගැනයි එය ලියවුණේ. ඊටපස්සෙ ඒ කෙටි කතාව මට හමුවන්නේ 2001 මාර්තුවේදි. මගේ ගරාජයේ දමා තිබුණු කඩදාසි ගොඩක් අස්සේ තිබිලා. මම එය දූවිලි ගසා දාලා නැවත දිග නව කතාවකට ගෙතුවා. ඒක තමයි කයිට් රනර් වුණේ. දෙවැනියට එය මම ප්‍රංශ භාෂාවෙනුත් ඉන්පසුව ඉංග්‍රීසි භාෂාවෙනුත් ලිව්වා. පසුව එය චිත්‍රපටයක් බවටත් පත්වුණා.

ඔබේ ඊළඟ නවකතාව ‘අ තවුසන්ඞ් ස්ප්ලෙන්ඩිඞ් සන්ස් ’…?

කාලිඞ් –  එය වෙනස්ම ආකෘතියක්. අත්දැකීමක්. වෙනස් වූ වාර්ගික කාන්තාවන් දෙදෙනකු එක්ව අත්විඳින අත්දැකීම් සමූහයක්. කයිට් රනර් ප්‍රකාශයත් සමග ඊට ලැබුණු පාඨක ප්‍රතිචාර ඉතා ඉහළයි. ලොව පුරා මිලියන ගණන් පාඨකයන් අතට එය පත්වුණා. දෙවැනි කෘතියකට මා පෙළඹවූයේ ඒ උණුසුමයි. එය ස්ත්‍රීන් පිළිබඳ කතාවක් විය යුතු යැයි මට සිතුණා. එයට හේතුවුණේ 2003 මා ඇෆ්ඝනිස්ථානයට ගිය ගමනක්. පූර්ව යුද සමය මම හොඳින් දැන සිටියා. පශ්චාත් යුද සමය මගේ ඇස් සාක්ෂි දැරුවා. එහිදී මට අසන්නට දකින්නට ලැබුණු දේ ඉතාම ඛේදජනකයි. විශේෂයෙන්ම ඇෆ්ඝන් කාන්තාවන්ගේ ඛේදවාචකය. යුද්ධයට යොමු වූ තලිබාන් හා වෙනත් සටන්කාමී තරුණයන්ගෙන් අත්විඳින්නට වූ පීඩනය, ගැහැට, වධහිංසා, දූෂණ සහ ඔවුන්ගේ නෛතික සමාජ හා දේශපාලනික අයිතිවාසිකම් සියල්ල තහනමට ලක්වීම බොහෝ කාන්තාවන්ගේ පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් මට අසන්නට ලැබුණා. මම කාන්තාවන් බොහෝ දෙනෙකු සමග කතා කරලා තොරතුරු ලබාගත්තා. බාහිරව සිදුවන අඩන්තේට්ටම් මෙන්ම වධහිංසාවට ලක්වන ඔවුන්ට සිය සැමියන්ගෙන් ද අත්විඳින්නට සිදුවන තාඩන පීඩන අනන්තයි. එකම සැමියකුගේ බිරින්ඳෑවරුන් දෙදෙනකු යුද පසුබිම මැද සිය සැමියාගෙන් විඳින වධහිංසාවලින් පීඩනයට පත්වන ආකාරය මම මගේ ඊළඟ කතාවට වස්තුබීජය කරගත්තා. ඇත්තෙන්ම එය දුක්ඛිත, ගැහැණුකමට එහා ගිය මනුෂ්‍යත්වය පිළිබඳ කතාවක් වුණා. ඒක තමයි ‘අ තවුසන්ඞ් ස්ප්ලෙන්ඩිඞ් සන්ස් ’ නමින් ලියැවුණේ.

‘අ තවුසන්ඞ් ස්ප්ලෙන්ඩිඞ් සන්ස් ’ ලිවීම ‘ ද කයිට් රනර්’ ලියනවට වඩා අපහසු වුණාද?

කාලිඞ් – හුඟක් අසීරුයි. ඇත්තෙන්ම ඒක ලොකු අභියෝගයක්. එක කාන්තාවකුත් නෙවෙයි. වෙනස් සමාජ පසුබිමක කාන්තාවන් දෙදෙනකු ගැන ලියන කතාවක්. කාබුල් නගරයේ මට දකින්නට අසන්නට ලැබුණු සමාජ චාරිත්‍රවල සැබෑ තත්ත්වය පිළිබිඹු කරන්නක්. මෙම පොත 2008 වසරේදී රටවල් 60 ක ප්‍රකාශනයට පත්වුණා. හොඳම නව කතාව ලෙස තේරුණා. ලොව පුරා මිලියන 38 ක් පිටපත් අළෙවි වුණා. කොලොම්බියා සමාගම මෙම පොත ඇසුරෙන් චිත්‍රපටයක් ද නිෂ්පාදනය කළා.

(‘ ද කයිට් රනර්’ 2005 දී හොඳම කෘති අතර 5 වැනි තැනට පත්විය. කාලිඞ් හුසේනිගේ වෙනත් කෘති අතර වඩා ජනප්‍රියත්වයට පත්වූයේ ‘ඇන්ඞ් ද මවුන්ටන්ස් එකෝඞ් ’ හා අලුත්ම නව කතාව වන ‘සී ප්‍රේයර්’ ය. මෙම නව කතා මේ වනවිට සිංහල පාඨකයන් අතරට පත්ව ඇත. )