කැඳ එපා! පීසීආර් කරන්න – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රුපියල් මිලියන 6000 ක් වැය කර රටපුරා කැඳ බෙදනවා වෙනුවට කොවිඞ් රෝගීන් හඳුනා ගැනීමට එම මුදල් වැය කර පී. සී. ආර්. හා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන්නැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසා ඇත.

ඒ මහතා මේ බව පවසා තිබුණේ සැප්තැම්බර් 17 දින පැවැත්වූ මාධ්‍ය සාකාච්ජාවකදීය.

සියලූම පාර්ශ්වල කැපකිරීමෙන් කොවිඞ් රෝගය යම් පාලනයකට ගෙන තිබෙන අවස්ථාවක කැබිනට් පති‍්‍රකා මගින් රුපියල් මිලියන 6000 ක් වැය කර කැඳ බෙදීමට උත්සාහ කරන්නේ නැවතත් කොවිඞ් පාලනය අතහැර දැමීමට ද යන්න සැකයක් මතුවන බව ඔහු පවසා තිබුණි.

ජනතාවට කැඳ ලබාදීමට තම සංගමයේ විරුද්ධතාවක් නැති බවත් ජනතාවට එම වට්ටෝරුව ලබාදුනහොත් එය සකසා ගැනීමට ඔවුන්ට හැකියාව පවතින බවත් ඔහු පවසා තිබුණි.

මෙම ක්‍රියාව නිසා මහජන මුදල් නාස්තියක් සිදු වෙන බවත් ඔහු පැවසීය.

මේ වනවිට කොවිඞ් රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී. සී. ආර්. සහ රැපිඞ් ඇන්ටිජන් ප‍්‍රමාණය අඩු කර ඇති බවත් කැඳ සඳහා වැය කිරීමට උත්සාහ දරන රුපියල් මිලියන 6000 යොදා එම කට්ටල මිලදී ගෙන කොවිඞ් රෝගීන් හඳුනා ගෙන ඔවුන් නිරෝධායට යොමු කිරීම වඩාත් යෝග්‍ය බවත් ඔහු පවසා ඇත.