එල්ලේ ක්‍රිඩකයාගේ ඝාතනය – තවත් යුධ හමුදා සාමාජිකයින් 5ක් අත්අඩංගුවට

මෝදර අණදෙන නිලධාරියා ගැනත් විමර්ශන

තොටළඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් මහතාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා ගැමුණු හේවා බලකායේ මෝදර කඳවුරට අනුයුක්තව සේවය කරන තවත් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීමත් සම‍ඟ මෙම ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති යුධ හමුදා නිලධාරීන් සංඛ්‍යාව 10 දෙනෙකි.

අකිල සම්පත් මහතාගේ මළසිරුර පසුගිය අගෝස්තු 20 වනදා මෝදර කාකදූපත වෙරළට ගොඩගසා තිබුණි. තවද ඔහු අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ වන මට්ටක්කුලිය – සමිට්පුර ග්‍රාමනිලධාරීවරිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

පසුව සිදුකරන ලද විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ අකිල සම්පත්ගේ බිරිඳ මෝදර යුධ හමුදා කඳවුරට අනුයුක්ත යුධ හමුදා බුද්ධි අංශ කෝප්‍රල්වරයකු සමග අනියම් සබඳතාවක් පවත්වා තිබුණු බවය. එම නිලධාරියා සහ එම කඳවුරේ සෙබළුන් පිරිසක් අකිල සම්පත්ව පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව අනාවරණය වී තිබුණි.

අකිල සම්පත්ගේ බිරිඳ මේ පිළිබඳව පාපොච්චාරණයක් කර තිබෙන අතර වැඩිදුර විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ පසුගිය අගෝස්තු 16 වනදා අකිල සම්පත්ව යුධ හමුදා රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර කළුගල් පිරවූ බෑගයක ගැටගසා පෑලියගොඩ කළු පාලමෙන් කැළණි ගඟට දමා ඇති බවය.

එමෙන්ම මෙම ඝාතනයට පෙර අදාළ කාන්තාව සමග අනියම් සබඳතාව පැවැත්වූ යුධ හමුදා බුද්ධි අංශ කෝප්‍රල්වරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හමුදා නිලධාරීන් පිරිසක්ව ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි මෝදර කඳවුරේ ප්‍රධානියාට දැනුම් දී ඇති බවත් ඒ අනුව එම පුද්ගලයාව ඝාතනය කරන ලෙස කඳවුරේ අණදෙන නිලධාරියා අනුබල දී ඇති බවත් විමර්ශන වලදී හෙළිදරව් වී ඇති බව වාර්තා වේ.