අස් වුනේ හිතේ අමාරුවකට නෙවෙයි! කාගෙවත් බලපෑමකටවත් නෙවෙයි! නලින් ද සිල්වා

තමන් මියන්මාර තානාපති ධුරයෙන් ඉල්ලා අස් වී ශ්‍රී ලංකාවට පැමිණියේ කිසිවෙකුගේ බලපෑමකටවත් හිතේ අමාරුවකින් නොවන බවත් මහාචාර්ය නලින් ද සිල්වා පවසා ඇත.

තමන්ගේ සෞඛ්‍ය තත්වය අයපත් නිසා මෙම ඉල්ලා අස් වීම කළ බව ඒ මහතා පවසා ඇත.

මේ දිනවල විවිධ පුද්ගලයන් තම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ රැල්ලක් තිබෙන බවත් තම ඉල්ලා අස් වීම එම රැල්ල සමඟ කිසි සම්බන්ධයක් නැති බවත් ඒ මහතා පවසලා.

ඒ මහතා සමාජ මාධ්‍ය ගිණුමේ තම ඉල්ලා අස් වීම පිළිබඳව තැබූ සටහන පහළින්.

හිටපු තානාපති ඇවිල්ලා

මා මියන්මාහි ලංකා තානාපති ධුරයෙන් අස් වී ඊයේ (සැප් 15) රාත්‍රී ලංකාවට ආවා. මා ඉල්ලා අස්වූයේ හිතේ අමාරුවටවත් කිසිවකුගේ බලපෑමටවත් නො වෙයි. ඒ මූලික වශයෙන් කොවිඩ් නිසා. මට කොවිඩ් වැළඳීමත් කොවිඩ් හේතුවෙන් මියන්මාහි වැඩ කිරීම අපහසු වීමත් මගේ අස්වීම පිටුපස තියෙනවා. මේ දිනවල ලංකාවේ ඉල්ලා අස්වීමේ රැල්ලක් ඇති වෙලා. ලංකාවේ කොහොමත් තියෙන්නෙ රැලි. එක එක විධියෙ රැලි ඇති වෙනවා. ඇඳුම්වල රැලි ඇතිවෙනවා. රෙදි මැදල ඒ රැලි ඉවත් කරන්න පුළුවන්. රෙදි හේදුව ම නම් ඇති වෙන්නෙ රැලි. රෙදි හෝදන අය හැම පක්‍ෂෙක ම ඉන්නවා. ඔවුන් දන්නෙ නැහැ ඔවුන් ඇති කරන රැලි ගැන. වයසට ගියාමත් ඇඟේ රැලි ඇති වෙනවා. ඒ මොකක් වුණත් මා අස් වුණෙ රැල්ලකට නම් නොවෙයි.

අර ධීවරයන්ගෙ ප්‍රශ්නයේ දි ඇතැමුන් මා විවේචනය කළා. තානාපති නිදි ද කියා ඇහුවා. තමන් ප්‍රබුද්ධයන් යැයි සිතා සිටින කසිකබල් ජඩමාධ්‍යවේදීන් ධීවරයන් නිදහස් කරගන්නෙ නැත්තෙ මොකද කියල ඇහුවා. ඒ ගමන නම් මා කිවුව ධීවරයන් නිදහස් කර ගන්න පුළුවන් අයකුට ඉඩ දීල මා අස්වෙන්න හිතා ගෙන ඉන්න බව. ජඩමාධ්‍යවේදීන් සුපුරුදු පරිදි කතාව හරියට කියවන්නෙ නැතිව මා අස්වීමට යන බව කිවුවා. ඔවුන්ට ඒක ආණ්ඩු විරෝධී විශේෂයෙන් ම, ජනාධිපති විරෝධී ක්‍රියාවක් බවට පත් කරගන්න අවශ්‍ය වුණා.

ඒත් ඒ වන විටත් ධීවරයන් නිදහස් කර ගැනීමට අප කටයුතු කරමින් සිටියෙ. කවුද දේශපාලනඥයකු කියා තිබුණා ධීවරයන් මියන්මා දේශයට ඇදී ගියේ දියවැලකට අහුවෙලා කියලා. මට හිතුණා තපස්සු භල්ලුක ලංකාවට ආවෙත් දියවැලකට අහුවෙලා ද කියලා හොයන්න. තපස්සු භල්ලුක ලංකාවට ආ එකක් ගැන මියන්මා ජනප්‍රවාදයේ හරි ඉතිහාසයේ හරි සඳහන් වෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් තපස්සු භල්ලුක ලංකාවෙ ඉඳලා ආපහු මියන්මා යන්න ඇත්තේ අර ධීවරයන් පසු කාලෙක ගිය දිය වැලේ ම ද කියල අර දේශපාලනඥයාගෙන් අහන්න ඕන. ධීවරයන් ගැන කතාවට පස්සෙ එමු. තපස්සු භල්ලුක අපට ඉතා වැදගත්. ඔවුන් දෙදෙනාත් මංගල සමරවීරත් පමණයි ලෝකයේ දෙසරණ සරණ ගිය උපාසක මහතුන්. ඒ තිදෙනා ම සඟ සරණ ගියේ නැහැ.

තපස්සු භල්ලුක භාරතයේ උත්කලා (උත්පලා) නුවර වැසියන් බවට ඉන්දියාවේ කතාවක් තියෙනවා. උත්කලා කියන්නෙ කාලිංගයේ නැත්නම් අද ඔරිස්සාවේ නගරයක්. මියන්මාරයේ ඔක්කලාපා කියා ප්‍රදේශයක් උතුරු යැංගුන් හි තියෙනවා. කොවිඩ් වැළඳිලා මා හිටියෙ ඔක්කලාපාහි බෝවෙන රෝග පිළිබඳ රෝහලේ. යැන්ගුන්හි බෝදාටවුන් ප්‍රදේශයට තපස්සු භල්ලුක පැමිණියේ බුරුමයේ ඔක්කලාප රජු දවස බවයි කියැවෙන්නේ. මියන්මා ජනප්‍රවාදයකට අනුව තපස්සු භල්ලුක යැන්ගුන් ප්‍රදේශයට පැමිණීමට පෙර රාක්‍ෂස දේශයට ගොස් තියෙනවා. මියන්මාහි සමහරුන් කියන්නේ මේ රාක්‍ෂස දේශය මියන්මා දේශයේ අරකන් ප්‍රාන්තය කියා. එහෙත් මේ රාක්‍ෂස දේශය ලංකාව විය හැකි ද? එසේ නම් භාරතයේ උත්කලා, ලංකාවේ ත්‍රිකුණාමලය හා මියන්මාහි යැන්ගුන් තපස්සු භල්ලුක ත්‍රිකෝණය ලෙස හඳුන්වන්න පුළුවන්.

දන්ත හේමමාලි පැමිණ ඇත්තේත් කාලිංගයෙන්. සමහර විට උත්කලා ප්‍රදේශයෙන් නැව් නැග්ගා ද දන්නෙ නැහැ. උත්කලා එකල ප්‍රසිද්ධ වරායක් වෙන්න ඕන. උත්කලා ත්‍රිකුණාමලය යැංගුන් තපස්සු භල්ලුක ත්‍රිකෝණය ගැන හොයල බලන්න පුළුවන් නම් හොඳයි. එහෙත් අපේ බුද්ධිමතුනට එයට වඩා වැඩ තියෙනවා. ඔවුන්ට සිංහල බෞද්ධ විරෝධී කටයුතු තියෙනවා. සමහරු ජීවිකාව කර ගන්නේ එසේ විරෝධී කටයුතු කිරීීමෙන්. මගේ අදහසක් තිබුණා මියන්මා රජයේ සහායත් ඇතිව ගිරිහඬු සෑය ප්‍රතිසංස්කරණය කිරීමට. එහෙත් කොවිඩ් එයට හරස් වුණා.

දැන් නැවතත් ධීවරයන්ගේ ප්‍රශ්නයට. අප ධීවරයන් නිදහස් කර ගත්තේ මියන්මාහි සිතගු පන්සලේ නායක හාමුදුරුවන් මාර්ගයෙන්. උන්වහන්සේ මියන්මාහි විශ්වවිද්‍යාලයක් ද පවත්වාගෙන යනවා. උන්වහන්සේ එක් සංඝ ගණයක අනුනායක හිමි නමක්. උන්වහන්සේ ලංකාවටත් වැඩම කර ඇති අතර ලංකාව කෙරෙහි විශාල ගෞරවයක් දක්වනවා.

බොහෝ දෙනා නොදන්නවාට උන්වහන්සේට මියන්මා හමුදා ආණ්ඩුව සමග සමීප සම්බන්ධයක් තියෙනවා. මියන්මාහි බහුතර හාමුදුරුවරුන් වහන්සේ හමුදා ආණ්ඩුවට පක්‍ෂයි. හමුදා ආණ්ඩුව සු චි ආණ්ඩුවට වඩා බුදුසසුනේ උන්නතිය වෙනුවෙන් වැඩ කරනවා. සු චී කියන්නේ මියන්මාහි චන්ද්‍රිකා කියන එකයි මගේ මතය. තානාපති කමෙන් ඉවත් වී ඇති නිසා මට එය කියන්න පුළුවන්. ඒ ගැන විස්තරයක් පසුවට. දැනට කීමට ඇත්තේ දෙදෙනා දෙරට ගෞරවයට පාත්‍ර වූ නායකයන්ගේ දියණියන් බවත් දෙදෙනා බටහිරයන්ගේ නියෝජිතයන් බවත්. සු චී ට සිද්ධ වුණා රොහින්ගියා ප්‍රශ්නයේ දී බටහිර විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට.

මා සිතගු පන්සලේ නායක හාමුදුරුවන්ට ධීවරයන්ගේ ප්‍රශ්නය ගැන කිවුවා. උන්වහන්සේ හමුදා ආණ්ඩුවත් සමග ඒ ගැන කතා කරන බව ප්‍රකාශ කළා. මා මියන්මාහි විදේශ සහයෝගිතා පිළිබඳ ඇමතිවරයා හමු වූ අවස්ථාවේ එතුමා කියා සිටියේ නායක හාමුදුරවන් ද ප්‍රශ්නය ගැන කතා කර ඇති බවත් විදේශ අමාත්‍යාංශය ධීවරයන් නිදහස් කිරීමට නිර්දේශ කරන බවත්. ධීවරයන් දියවැල් කතාවක් කියා තිබුණේ නැහැ. ඔවුන් තම වරද පිළිගෙන තිබුණා. ඒ අනුව මියන්මා අධිකරණය ධීවරයන්ට සිර දඬුවම් ද නියම කර තිබුණා. එහෙත් හමුදා ආණ්ඩුව ලංකාව හා මියන්මා අතර සමීප ඓතිහාසික හා සංස්කෘතික සම්බන්ධතා තහවුරු කිරීමට ධීවරයන් නිදහස් කෙරුවා. ඔවුන් නිදහස් වීමෙන් පසු කිසිම ජඩමාධ්‍යවේදියෙක් ඇහුවේ නැහැ තානාපති නැගිටල ද කියලා. සු චී ආණ්ඩුව තිබුණ නම් ධීවරයන් නිදහස් කර ගැනීම ප්‍රශ්නයක් වන්නට තිබුණා.

දැන් මා හිටපු තානාපති. මා කවදත් හොඳ අවදියෙන් ඉන්නවා. විශේෂයෙන් ම ඊනියා මානව අයිතිවාසිකම්, ජෙනීවා, පාස්කු කතාව, එහි නවසීලන්ත හා නෝර්වේ ක්‍රියා කලාපය, ඒ රටවල් පිටුපස සිටින එංගලන්තය, සිවල් සාමාජිකයන්, ප්‍රතිපත්ති කේන්දර කාරයන් ගැන මෙන් ම මෙරට බිෂොප් සභාව, ගුරු බොරුවන් හා දෂිණාංශික වමාලා ගැන ද මා විමසිල්ලෙන් ඉන්නවා. දැන් ඉතින් මා නැවතත් ලංකාවෙ.