පිස්තෝලය සිද්ධිය හොයන්න මානව හිමිකම් කොමිසම අනුරාධපුර බන්ධනාගාරයට!

හිටපු බන්ධනාගාර හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ බවට චෝදනා කෙරෙන සිදුවීම පිළිබදව සොයාබැලීම සදහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඇත.

සැප්තැම්බර් 15 දින නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම මේ බව පවසා ඇත.

මෙම සංචාරයේදී අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් සමග සාකච්ජා කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

මෙහිදී සිරකරුවන් සහ නිලධාරීන් එකිනෙකට වෙනස් කරුණු ප්‍රකාශ කොට ඇති අතර එම සිද්ධිය සත්‍යයක් බව සිරකරුවන් පවසා ඇත. නමුත් නිලධාරීන් පවසා ඇත්තේ තමන් එවැන්නක් නොදුටු බවත්, තමන් එළියට වී ඇමැතිවරයාට ආරක්ෂාව සැපයූ බවත්ය.

කෙසේ වෙතත් මේ පිළිබඳව මව්රට පුවත්පත මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය නිමල් කරුණාසිරි මහතා විමසීමක් කර ඇත.

“ඇමතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරමින් ජේලර්වරු බන්ධනාගාරය වටා යන බැවින් එවැන්නක් තමන් නො දුටු බව ජේලර්වරු කියා ඇති බව ඒ මහතා පවසා ඇත.

ආචාර්ය කරුණාසිරි කියා ඇත්තේ රත්වත්තේ මහතා රැඳවියන්ගේ හිසට ගිනි අවියක් තබා තර්ජනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශවයන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා තුරු නිගමනයකට එළඹිය නොහැකි බවය.

මානව හිමිකම් කොමිසමේ නිවේදනය පහළින්

https://www.hrcsl.lk/hrcsl-begins-investigations-relating-to-the-incidents-in-prisons/