ඥාණසාර හිමි ත්‍රස්ත ප්‍රහාරයක් ගැන කියා තියෙද්දී පරීක්ෂණ නොකර ගෝඨා රට යෑම ගැන කතෝලික සභාවේ ප්‍රතිචාරය

හිරු ටීවී සලකුණ වැඩසටහනකදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඉදිරියේදී එල්ලවිය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ කී කතාව ගැන පුළුල් විමර්ශනයක් නොකිරීම ප්‍රශ්න කොට, පරීක්ෂණයක් කළ යුතු බව අවධාරණය කරමින් කතෝලික සභාවේ සිරිල් ගාමිණී පියතුමන් සැප්තැම්බර් 16 වැනිදා මධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වුවා.

පොලිස්පතිවරයා, ජනාධිපතිවරයා ඇතුළු නායකයන් වෙත එහිදී සිරිල් ගාමිණී හිමි පරීක්ෂණයක් ඉල්ලුවා.

ඥාණසාර හිමි ප්‍රහාරයක් ගැන කියා තියෙද්දී ගෝඨා ඇමෙරිකා යෑමත් පාස්කු ප්‍රහාරය වෙලේ මෛත්‍රී රට යෑමත් අතර සමානකමත් සිරිල් ගාමිණී පියතුමා ඉස්මතු කළා.

ඥාණසාර හිමිගේ ප්‍රකාශයෙන් සමාජය බියට පත් වූ බව සිරිල් ගාමිණී පියතුමා කීවා. නමුත් ඥාණසාර හිමි වගේම එහිමියන්ට ඉඩකඩ ලබාදුන් මාධ්‍ය ආයතනය වගකීමෙන් මේ ප්‍රකාශය කරනවායැයි විශ්වාස කරන බව සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් කීවා.

ඇත්තටම ඒක නෙවෙයි අපට පේන්න තියෙන දේ. හිමිගේ ඇත්තම අරමුණ බව අපට දැන් පෙනෙන්නේ අර සිරිල් ගාමිණී පියතුමා කීව දේ. මිනිසුන් බියට පත් කිරීම. බිය ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ ගොඩක් රටවල දේශපාලනය දුවවන ඉන්ධන බවට පත්වෙලා. වගකීම් සහගත වීම වෙනුවට මිනිසුන් බිය ගැන්වීම. ගිනි ඇවිළවීම. කුප්‍රකට අබසරණයි ප්‍රකාශයෙන් එදා කළේත් ඒක. අද කරන්නේත ඒක.

හිරු ටීවී වැනි මාධ්‍ය ආයතන මෙන්ම ඥාණසාර හිමි වැනි ‘වොයිස්කට් ආටිස්ට්ලා’ කරන්නේත් ඒක. ඥාණසාර හිමි පාස්කු ප්‍රහාරය ගැන කලින් ඉඳලාම කී බව කොච්චර කයිවාරු ගැහුවත්, ඥාණසාර හිමි කලින් ඉඳන් කීව බොහෝ දේවල් බොරු බව ඔප්පු වුණා විතරයි. ඇත්ත බවක් ඔප්පු වුණේ නෑ. මුස්ලිම් බහුතරය අන්තවාදීන්, ජාතිවාදීන් විදියට ඥාණසාර හිමි ලේබල් කළාට ඇත්තටම තහවුරු වුණේ මේ ප්‍රහාරය එල්ල කරපු සුළු පිරිසක් සහ ඒ වටා සිය ගණනක සුළු පිරිසක් විතරයි. ලක්ෂ ගණනක් මුස්ලිම් ජනතාව ඉන්න ලංකාවේ හැම මුස්ලිම් නිවෙසක්ම පාහේ හමුදාවෙන් වැටලුවාට පස්සෙ හෙළි වුණේ එච්චරයි. ඥාණසාර හිමි කීවේ බොරු බව.

ඒ වගේම මේ සුළු පිරිස පවා නැවැත්වීමේ හැකියාව හොඳටම තිබියදී, අපේ රටේ දූෂිත සහ අකාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රය, ආරක්ෂක අංශ නිසා මේ ප්‍රහාරය සිදු වූ බවයි කාලය ගෙවෙද්දී ජනතාව ඉදිරියට ආ තොරතුරුවලින් තහවුරු වුණේ.

ඒ වගේම ඇතැම් මුස්ලිම් අන්තවාදීන් ඒ අදහස්වලට වැඩිපුර යොමු වී තිබුණේ, අන්තවාදී දේශන කරපු අයට වැඩි වශයෙන් මොළ සේදීමට ඉඩකඩ ලැබුණේ ඥාණසාර හිමි ප්‍රමුඛ පිරිසක් ඇවිලවූ 2014 කළු ජූනිය හෙවත් අලුත්ගම දර්ගා නගරය ගිනිතැබීමේ සිදුවීමෙන් පසුව බවත් ප්‍රකට කාරණයක්. ඒ අනුව ඥාණසාර හිමි කියන්නේ මේ ප්‍රශ්නයේ ‘විසඳුම’ තියෙන, රහස් තොරතුරු තියෙන ගැලවුම්කාරයෙක් නෙවෙයි. මේ ප්‍රශ්නයේ ඉතාම භයානක කොටසක්.

මේ අපි කියන්න යන අදහසෙන් යම් බෞද්ධයෙකුගේ හිත රිදෙනවා නම් අපි අවංකව කම්පා වෙනවා. ඒත්, මේක නොකියාම බැහැ. ඥාණසාර හිමි කියන්නේ සිවුරු හැඳගත් හනුමෙක්. එහිමියන් දන්නේ ගිනිතැබීම තමයි. එහිමියන් කියන දේ බරපතළ ලෙස සලකන්න පුළුවන්ද, බැරිද කියා අපි කාටවත් තේරෙන්නේ නැත්තේ, එහිමියන්ගේ හිත යට තියෙන රට ගිනි තැබීමේ මුග්ධ අරමුණු රටටම පැහැදිලිව පේන නිසා.

සමහරවිට සීඅයිඩීය ප්‍රමුඛ ආයතනවලටත් ඒක පේනවා ඇති. ඥාණසාර හිමි කරපු ප්‍රකාශය ගණන් ගන්න නැතිව ඇති. නැත්නම් ලංකා ඊ නිව්ස් එකට ලීව කීර්ති රත්නායක බෝම්බ ප්‍රහාරයක් ගැන කීව ගමන් දුවගෙන ගිහින් ඔහුව ප්‍රශ්න කරලා අත්අඩංගුවට ගැනීමත්, පාස්කු ප්‍රහාරය ගැන කීව තරුණයෙක් ගෙන්වා ප්‍රශ්න කිරීමත්, හිටපු නීතිපතිව පවා ප්‍රශ්න කිරීමත්, හරීන් ප්‍රනාන්දුව ප්‍රශ්න කිරීමත් එක්ක ඥාණසාර හිමි නිදැල්ලේ සිටීම සංසන්දනය කරගන්නේ කොහොමද අපි?

සිරිල් ගාමිණී පියතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

‘2021 සැප්තැම්බර් මාසයේ 13 වැනිදා හිරු ටීවී නාළිකාවේ විකාශය වෙච්ච සලකුණ වැඩසටහනෙදී පූජ්‍ය ගලගොඩඅත්‌තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ ඉතාමත් වැදගත්, ඒ වගේම බැරෑරුම් හෙළිදරව්වක් කළා.

ඒ වැඩසටහනේදී ඥාණසාර හිමියන් හෙළි කර සිටියා පාස්කු ප්‍රහාරය වගේම තවත් අන්තවාදී ප්‍රහාරයක් මෑතකදීම එල්ල වීමේ හැකියාවක් තිබෙන බව. ඒ වගේම ඒ ප්‍රහාරය ඕනෑම අවස්ථාවකදී එල්ල වෙන්න පුළුවන් කියලා. ඕනෑ වෙලාවක පුපුරවාහැරීම සඳහා ආයුධ සූදානම් කර තිබෙන බවත් උන්වහන්සේ පැවසුවා. ඒ වගේම උන්වහන්සේ මේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු උන්වහන්සේ සතුව තිබෙන බවත්, ඔප්පු කිරීමේ හැකියාව උන්වහන්සේ සතුව තිබෙන බවත් පැවසුවා.

ඒ ප්‍රහාරයට අදාල කණ්ඩායම් කවුරුද කියන එක සහ එම කණ්ඩායම් සිටින්නේ කොහේද කියන එකත් උන්වහන්සේ දැනගෙන සිටින බවත් ප්‍රකාශ කළා. ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කළා මේ සියලුම කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ව දැනුවත් කරලා තියෙනවා කියලා. දැන් මේ ඥාණසාර ස්වාමීන් වහන්සේ කරලා තියෙන මේ ප්‍රකාශය රටේ ජාතික ආරක්ෂාවට ඒ වගේම මේ රටේ රටවැසියන්ගේ ආරක්ෂාවට ඍජුවම බලපාන හෙළිදරව් කිරීමක්.

අපි විශ්වාස කරනවා පූජ්‍ය ඥාණසාර ස්වාමීන් වහන්සේ වගේ හිමිනමක් රටේ පිළිගත්ත ප්‍රසිද්ධ, විද්‍යුත් නාළිකාවකට ඇවිල්ලා සජීවිව පෙනී ඉඳිමින් සිදුකරන මේ හෙළිදරව්ව උන්වහන්සේ කරන්නේ ඉතාමත් වගකීමෙන් කියලා. අපි ඒක තරයේම විශ්වාස කරනවා.

දැන් මේ ඥාණසාර ස්වාමීන් වහන්සේ විසින් සඳහන් කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාවත් දැනුවත් කරලා තියෙනවා කියලා උන්වහන්සේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. නමුත් අපේ ප්‍රශ්නය තමයි උන්වහන්සේ මෙසේ ජනාධිපතිතුමාව දැනුවත් කළ මොහොතේ සිට මේ දක්වා තොරතුර පිළිබඳ කළ පරීක්ෂණ මොනවාද කියන එක. ජනාධිපතිතුමාට මෙය දැනුම් දුන්නා නම් අදාල බුද්ධි අංශවලට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මේ කාරණය පිළිබඳ පරීක්ෂා කරන්නට නෛතික බලයක් තියෙන ආයතනවලට ජනාධිපතිවරයා මේ පිළිබඳ දැනුම් දුන්නාද? දැනුම් දුන්නා නම් මේ දක්වා ඒ පිළිබඳ කරලා තියෙන පරීක්ෂණ සහ සොයාගැනීම් මොනවාද? ඒ සම්බන්ධයෙන් කවුරුන් හෝ අත්අඩංගුවට අරගෙන තියෙනවාද? මේක අපි දන්නේ නැහැ. උන්වහන්සේ කියන හැටියට මොන මොහොතේ කොතැනක ප්‍රහාරය සිද්ධවේවිද කියලා.

එහෙමනම් මේක කඩිනමික් කරන්න ඕනෑ දෙයක්. කල්දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම්, මේ වෙනකොට මේ කණ්ඩායම සහ පුද්ගලයන්ව අත්අඩංගුවට අරගෙන තියෙන්න ඕනෑ. ජාතික ආරක්ෂාව පිළිබඳ විශාල කැක්කුමක් සහ වුවමනාවක් තියෙනවා නම් මේ තොරතුරු ප්‍රමුඛත්වය සලකලා ක්‍රියා කළ යුතු දෙයක්. මේ පිළිබඳ අපක්ෂපාතී පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුමයි. මේක කල්දාන්නට, මඟහරින්නට හෝ නොසලකා හරින්න පුළුවන් දෙයක් නෙවෙයි.

අපි දන්නවා ජනාධිපතිතුමා විදෙස්ගත වෙන්න නියමිතව ඉන්නවා. ගිය සැරේත් පාස්කු ප්‍රහාරය පිළිබඳ දැනුවත්ව හිටියා. ඒ පිළිබඳ පාස්කු කොමිෂන් සභාවේදී සඳහන් වෙලා තියෙනවා. මේ පිළිබඳ තොරතුරු මාසෙකටත් අධික කාලයක් තිස්සේ දැනගෙන හිටියා කියලා. ඒ පිළිබඳ කිසිම දෙයක් සිදු කළේ නෑ. ඒ ප්‍රහාරය වළක්වාගන්නට හොඳටම ඉඩකඩ තියෙද්දී, එය වළක්වාගන්නට තොරතුරු තියෙද්දී. ඒ ජනාධිපතිතුමා රටෙන් පිටවුණාට පස්සේ ප්‍රහාරය එල්ල වුණා.

දැන් මේ විදියේ කටුක, දුෂ්කර, වේදනාත්මක අත්දැකීමකට මුහුණදීලා තියෙන අපි සහ මේ රට. කතෝලිකයන් පමණක් නෙවෙයි ප්‍රහාරයෙන් මියගිය සියළුම ජාතීන්ට අයිති අහිංසක ජනතාව. ඒ ජනතාව අනිවාර්යයෙන්ම මේ හෙළි කරලා තියෙන තොරතුරත් සමඟ බයට පත් වෙනවා. භීතියට පත් වෙනවා. අපි දන්නේ නැහැ ඥාණසාර ස්වාමීන් වහන්සේ කියන හැටියට කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ලවේවිද කියලා.’

මීට අමතරව 2017 දී ඥාණසාර හිමි කාදිනල් මැල්කම් රංජිත් හිමි මේ වගේ ත්‍රස්ත ප්‍රහාරයක් ගැන කරුණු කීවායැයි සලකුණ වැඩසටහනේදී කීව කතාවක් බොරු බවත් උක්ත මාධ්‍ය සාකච්ඡාවේදී සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළා.