සිරකරුවන්ගේ ආරක්ෂාව රජයේ වගකීමක්! නීතිඥ සංගමය අපක්ෂපාතී විමර්ශනයක් ඉල්ලයි !

අත්අඩංගුවේ සිටින සිරකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත්, ලොහාන් රත්වත්ත මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී රැඳවියන්ගේ හිසට ගිනි අවියක් තබා බිය වැද්දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී විමර්ශනයක් කඩිනමින් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

මෙම නිවේදනය සැප්තැම්බර් 16 දින නිකුත් කර ඇත.

රත්වත්ත මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වී ඇති නමුත් ඔහු මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බවත් නීතිඥ සංගමය පෙන්වා දී ඇත.

තම ඇමැති ධුරයකින් ඉවත් වීම මගින් රත්වත්ත මහතා තමා සිදු කළ වරද පිළිගෙන ඇති බවත්, ඔහුට රජයේ වෙනත් කිසිදු තනතුරක් දැරීමේ කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවත් නිවේදනයේ සදහන් කර ඇත.

ඔහුට චෝදනා එල්ල වී ඇති බරපතළ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් නීතිපතිවරයා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහළ

‘බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය හා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය තනතුරු දරන ලොහාන් රත්වත්ත මහතාට චෝදනා එල්ල වන අපරාධකාරී චර්යාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි අවධානය යොමුකරන අතර, ඔහුට තවදුරටත් එම තනතුරු දැරීමට තිබෙන යෝග්‍යතාව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස ප්‍රශ්න කරයි. ලොහාන් රත්වත්ත මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැනුවත් වී ඇති නමුත්, ඔහු මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැත.

ලොහාන් රත්වත්ත මහතා තවත් පුද්ගලයන් සමග වැලිකඩ බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවටත්, අනුරාධපුර බන්ධනාගාරය වෙත හෙලිකොප්ටරයකින් ගොස් එයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවටත්, සිරකරුවන්ට තර්ජනය කළ බවටත් එල්ල වන චෝදනා අතිශය සාපරාධී වන අතර, එම අතිශය සාපරාධී ක්‍රියා නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් වනු ඇත.

ලොහාන් රත්වත්ත මහතාට එරෙහිව තිබෙන චෝදනා ඉතා බරපතළ වන අතර, එබැවින් සිරකරුවන් සම්බන්ධයෙන් වගකිවයුතු අමාත්‍යංශයක් බාරව සිටීමටවත්, වෙනත් ඇමැති තනතුරක හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක හෝ වගකීමක් දැරීමටවත් ඔහු විශ්වසනීය පුද්ගලයෙකු වන්නේ නැත.

එවැනි සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී විමර්ශනයක් සිදු කළ යුතුය. චෝදනා ඔප්පු වුවහොත් දණ්ඩනයට ලක්කළ යුතුය. මෙවැනි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී විමර්ශන කඩිනමින් සිදුකිරීම ඉතා වැදගත් ය. තමන්ගේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නැවත නැවතත් අවධාරණය කර තිබේ.

ඉල්ලා අස්වීම මගින් රත්වත්ත මහතා තම චර්යාව සම්බන්ධ වගකීම බාරගෙන තිබේ. එමගින් කිසිදු රජයේ තනතුරක් දැරීම සඳහා ඔහු සතු සදාචාරාත්මක අයිතිය අහිමි වී ඇත.

ලොහාන් රත්වත්ත මහතා විසින් සිදු කළ බවට චෝදනා එල්ල වල බරපතළ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස නීතිපතිවරයා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වෙතින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටී.’