සජිත් ලොහාන්ගේ නම නොදැම්මේ ඇයි? විවේචනාත්මක කමෙන්ට්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට ලොහාන් රත්වත්තේ ඇමතිවරයා කඩාවැදුණු බවට එල්ලවන චෝදනාව ගැන නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහෙත් ඒ නිවේදනයේ ‘රාජ්‍ය ඇමතිවරයෙකුගේ’ යනුවෙන් පමණයි සඳහන් වුණේ. ඔහු නම සඳහන් කර තිබුණේ නෑ.

මේ වන විට සිදුවීම හෙළාදකිමින් නිවේදන නිකුත් කළ, ඒ පිළිබඳ මාධ්‍ය වාර්තා පළ කළ සියලුදෙනාම වාගේ චූදිත රාජ්‍ය ඇමතිවරයාගේ නම සඳහන් කරලා තියෙනවා. කොටින්ම කීවොත් ජනාධිපතිවරයාගේ මිත්‍රයෙක් වන දිලිත් ජයවීර මහතාට අයත් මාධ්‍ය ආයතවල පවා නම සඳහන් කරලා. එවැනි පසුබිමක විපක්ෂ නායකවරයා නමක් නොදැමීම විවේචනවලට පවා හේතු වුණා.

ඔහුගේ ෆේස්බුක් පිටුවේ කමෙන්ට් අතර පවා ඒ විවේචන දකින්න තිබුණා.

ඔහුගේ ප්‍රකාශය පහතින්.

‘අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රජයේ ඇමතිවරයෙකුගේ නින්දිත හා නීති විරෝධී හැසිරීම මම තරයේ හෙළා දකිමි. මෙම පිළිකුල් සහගත නීති විරෝධී ක්‍රියාව මගින් අපේ රටේ පවතින අරාජික තත්වය මනා සේ විදහා දක්වනු ලබයි. අපේ මාතෘ භූමියේ ජීවත්වන සියළුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මෙම රජය බැඳී සිටී. මෙම නීති විරෝධී සහ නින්දිත ක්‍රියාව වර්තමානයේ අපේ රටේ මානව හිමිකම් තත්ත්වය සීඝ්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයකි. මෙම අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි.’ යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා.