රාජපක්ෂ කුමාර ජීවිත හා ඉතාලි මැකියාවේලි… – බාහිර කථිකාචාර්ය සුදර්ශනි කුමාරි දමුණුපොළ


දේශපාලනික වශයෙන් ගත් කලද ඓතිහාසිකව ගත් කළද අප ඉතාලිය ගැන විවිධ කතා අසා ඇත. විශේෂයෙන්ම බල දේශපාලනය පිළිබද සුපසිද්ධ “කුමාරයා” කෘතිය ලියු නිකලෝ මැකියාවේලි තම න්‍යාය හා භාවිතයන් සියල්ල කෙන්ද්‍ර කරනු ලැබුවේ ඉතාලිය තුලයි. මම දන්නා මහින්ද රාජපක්ෂද කුමාරයා කෘතිය මනාව කියවා ඇතිවා පමණක් නොව එහි භාවිත තත්වයන් මනාව අත්හදා බෑලීමටද නොපසුබට වු බවට තර්කයක් නැත. මැකියාවේලි පාලකයා නරියෙක් මෙන් කපටි වීමත් සිංහයෙකු මෙන් නිර්භිතවීම අවැසි බවත් පාලකයන් බලය ලබාගැනීම, එකී ලබාගත් බලය තහවුරු කිරීම හා බලය ව්‍යාප්ත කිරීම යන ප්‍රධාන ක්‍රියාවන් වල නිරතවීම අතිශයින්ම ස්භාවික බව කියයි.


මෙහිදි පාලකයන් තම බල පැවැත්ම සුරක්ෂිත කරගැනීමේ ක්‍රියාවලිය තුළ තමන්ට පක්ෂපාති ජනසමුහයක් ගොඩනඟා ගැනීමත් තම නායකත්වයට අභියෝගයක් වන සියලු බලවේග විනාශ කිරිම කළ යුතු බවත් එහිදි පුරවැසියන් ඝාතනය කරම්න් වුවද මිතුරන් පාවාදී වුවද අවස්ථාඋචිතව ආගම වුවද උකසට ගනිමින් තම පටු බල අරමුණු ඉටුකරගැනීම පාලකයන් විසින් කල යුතුබව මැකියාවේලි කියයි. එපමණක් නොව රුවටීම හා පාවාදීම්, වංචාව, කෲරකම වැනි ප්‍රචණ්ඩ ක්‍රියා මගින් බලය ලබාගැනීම සාධාරණිකරණය කොට ඇත. නමුත් මැකියාවිලි දක්වන ආකාරයට බලය ලබාගැනීමෙන් අනතුරුවද කෘරකම් ඒ අන්දමින් පවත්වාගෙන යාම පාලකයාට ප්‍රබල ගැටුම්වලට මුහුණ පෑමට සිදුවන බව පවසා ඇති නමුත් එය මනාව අවබෝධ කරගැනීමට මෙරට පාලකයන් අපොහොසත් වී ඇති බව පෙනෙ.


ඊට මෑතකාලීනව අපට දියහැකි හොද`ම නිදර්ශනය වන්නේ වත්මන් ජනාධිපති අභිෂේක ගැන්වීම සිංහල ඩයස්පොරාව විශාල කාර්්‍යය භාරයක් ඉටුකළ බව අප දනී. එහිදී “මම ඩයස්මී ඉතාලියේ සිට ආවෙම්. රණවිරුගායෙන් පෙලෙන්නෙමුයැයි” පැවසු සිංහල ඩයස්පොරාව නියෝජනය කරන පිරිස් අද මහින්ද රාජපක්ෂට ඉතාලියේදී හු කීමේ තත්වයට පත්විමේ න්‍යායාත්මක හා භාවිත දේශපාලනයේ දිශානතින් මනාව හා නිශ්චිතව පැහැදිලි කරගැනීම වැදගත්ය.


නූතනයේ ලොව බොහොමයක් රටවල ක්‍රියාත්මක වනු ලබන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ආකෘතීන් ය. එම ලිබරල් රාජ්‍ය ආකෘතිය තුළ ලිබරල්කරණය වන්නේ ජාතික රාජ්‍යයන් ය. ඒ අනුව අද අප කතා කරන නූතන ජාතික රාජ්‍යයන්හි ගොඩනැඟීම සජාතීයකරණ ප්‍රවණතාවකින් යුක්ත විය. එනම් තම දේශසීමා ඇතුළත වාසය කරන සියලු සාමාජිකයන් අතර දේශපාලන, සංස්කෘතික වශයෙන් බහුවිධ අනන්‍යතා හා විශේෂතා වෙනුවට, ඒකාකාර දේශපාලන සංස්කෘතික අනන්‍යතා ආරෝපණය කිරීමක් සිදු විය. මෙහි දී වඩා හොඳින් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන මූලික සංකල්පයන් බිහිවීම සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නූතන ජාතික රාජ්‍යය ගොඩනැගීමේ ක්‍රියාදාමයට සමගාමීව ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පදනම් කරගත් ආණ්ඩුක්‍රම නිර්මාණයවීම සිදු විය.


දේශපාලන සාහිත්‍යය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍ය සංවිධාන ව්‍යුහයේ පදනම ලෙස සලකනු ලබන ප්‍රමුඛ අංගයකි. එහි දී නීතිය හා යහපැවැත්ම සඳහා අවශ්‍ය කරන දේශපාලන, පරිපාලන හා අධිකරණ බලය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය ලෙස ක්‍රියාකරන්නේ රාජ්‍යය යි. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය ව්‍යුහය, කාර්යයන්, බලතල – යුතුකම්, පුරවැසි අයිතිවාසිකම්, හා ඒවාට තිබෙන සීමා ද විස්තර කරන නෛතික ලේඛනය මෙන්ම රාජ්‍යයේ සියලු නිතීන්ට ඉහළින් තිබෙන මූලික නීතිය ද වේ. ඒ අනුව පූර්ව නූතන රාජ්‍යය තුළ විභේදනය වී පැවති ජන කණ්ඩායම් එකට ඒකරාශි කිරීම සඳහා ගෙන එන ලද ප්‍රධාන මෙවලමක් වශයෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව භාවිත කරන ලදී. මෙවැනි ජාතික රාජ්‍ය ආකෘතියක් තුළ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ වඩා වැදගත් වූයේ “පුරවැසියා” ය. උයන්ගොඩ (2010) දක්වන පරිදි පුද්ගලයෙකු රාජ්‍යයක සාමාජිකයෙකු වීම නිසා නෛතික – දේශපාලන තත්ත්වයක් හිමි වනවා මෙන්ම එම නිසා පුද්ගලයෙකුට තමන් පුරවැසිභාවය දරන රාජ්‍යයේ ආරක්ෂාව ලැබෙන බව සහ ආරක්ෂාව අපේක්ෂා කළ හැකි වනවා මෙන්ම එම පුරවැසිභාවය තුළින් ලැබෙන ආරක්ෂාව රැකවරණය සහ අනෙක් වරප්‍රසාද සඳහා තමන්ට නෛතික අයිතියක් ඇත යන්න කෙනෙකුට කියා සිටිය හැකි බවයි. ඒ අනුව ජාතික රාජ්‍ය ආකෘතිය තුළ පුරවැසිභාවය නම් සංකල්පය තීරණාත්මක වූ බව හඳුනාගත හැකි වනවා මෙන්ම එක සමාන භාෂාමය හා සංස්කෘතික අනන්‍යතාවක් සහිත පරමාධිපත්‍ය බලය ඇති එක් රාජ්‍යයක් ඇතුළත දේශපාලන වශයෙන් සංවිධානය වී පැවැති ප්‍රජා කණ්ඩායම පුරවැසියන් ලෙස හඳුනා ගන්නා ලදී.


එහි දී භාෂාමය, ආගමික සහ සංස්කෘතික වශයෙන් පැවැති සුළුතර සහ කුඩා ප්‍රජාවන්ගේ අනන්‍යතා මාදිලීන්, බහුතර සහ විශාල ප්‍රජාවගේ භාෂාවට, ආගමික සහ සංස්කෘතියට සමාග්‍රහණය නැතහොත් අවශෝෂණය කර ගැනීම සිදු විය. එම ක්‍රියාවලියේ මූලික අභ්‍යුපගමනය වූයේ ජාතික රාජ්‍යය ඇතුළත පවතින සමාජ, සංස්කෘතික හා අනන්‍යතා වශයෙන් සජාතීය කිරීම හා ඒකාග්‍ර කිරීම යි. මෙලෙස සංස්කෘතික ඒකත්වය මත පදනම් වූ පොදු පුරවැසිභාවය පිළිබඳ උපකල්පනය මත ගොඩනැගුණු නූතන ජාතික රාජ්‍යයන් තුළ කල් යත්ම පුරවැසියන්ගේ සංස්කෘතික විවිධත්වයන් ඉස්මතු වන්නට විය. එම නිසා සංස්කෘතික හා අනන්‍යතා ඒකත්වය සහ පොදු පුරවැසිභාවය පිළිබඳ ජාතික රාජ්‍යය ක්‍රමයේ තිබූ පදනම දෙදරා ගොස් එහි උපනතීන් වශයෙන් ජාතික ඒකාග්‍රතාව සහ පුරවැසිභාවය පිළිබඳ එතෙක් පැවති සාම්ප්‍රදායික න්‍යායන් සහ භාවිතයන් අර්බුදයට ලක්වීම සිදු විය.


මේ අනුව පැහැදිලි වනුයේ රාජ්‍ය ව්‍යුහය තුළ සියලු පුරවැසියන්ගේ අනන්‍යතා සජාතීයකරණය කිරීම ව්‍යවස්ථාවක් මගින් සිදු කිරීම නිසා ඒ සඳහා අවශ්‍ය නෛතික ස්ථාවර තත්ත්වය ලැබුණ ද කල්ගත වීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තම පැවැත්ම සුරක්ෂිත කරගැනීම සම්බන්ධයෙන් ගැටලු ඇති වූ බවත් එහි ප්‍රතිඵලය ලෙස ජාතික – රාජ්‍ය තුළ ජාතීන් විභේදනයට ලක් වීම සිදු වූ බවයි. මෙය පුමුඛ ගැටලුවක් ලෙස දේශපාලනය න්‍යාය තුළ මෙන් ම රාජ්‍ය ප්‍රතිපත්ති ක්ෂේත්‍රය තුළ මීට දශක කිහිපයකට පෙර සිට පිළිගනු ලැබූවක් විය. ඒ අනුව රාජ්‍ය ආකෘතිය තුළ මහා ජාතියට සාපේක්ෂ ව සුළු ජාතික ප්‍රජාවන්, ජාතික රාජ්‍යයේ සජාතීයකරණ ක්‍රියාවලියට දැඩි විරෝධය දැක්වීම එහි පසුබිම තුළ දක්නට ලැබුණි. මෙම සුළු ජාතික ප්‍රජාවන්, තමන්ට සුවිශේෂී අනන්‍ය වු භාෂාමය, ආගමික, සංස්කෘතික අයිතිවසිකම් ඉල්ලා සිටි අතර යම් ලෙසකින් ඒවා නොලැබෙන විට, එම කණ්ඩායම් සිය අනන්‍ය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සදහා, ජාතික රාජ්‍ය අභ්‍යයන්තර ප්‍රාදේශීය ස්වයං පාලන අයිතීන් ද ඉල්ලා සිටින ලදී. එම අයිතීන් නොලැබෙන අවස්ථාවලදි සුළු ජන ප්‍රජාවන්, පවත්නා ජාතික රාජ්‍යයෙන් කැඩී වෙන් වී, වෙනම ජාතික – රාජ්‍යයන් ගොඩනගා ගැනීම උදෙසා සටන් පෙරමුණට යොමු කිරීමට හේතු විය.


ඒ අනුව එක් ජාතියක්, එක් රාජ්‍යයක් සඳහා වන ජාතික රාජ්‍ය ගොඩනැගීමේ දී ඇති වූ උපනතියක් ලෙස සුළු ජන ප්‍රජාවන් ජාතික රාජ්‍ය ආකෘතියෙන් කැඩී වෙන්වී වෙනම ජාතික රාජ්‍යයන් ගොඩනගා ගැනීමට යුද්ධ කිරීම දැකගත හැකි ය. මෙයාකාරයට විභේදනව පැවති ජන කණ්ඩායම් එකට ඒකරාශි කිරීම සඳහා ගෙන එන ලද විවිධ මූලිකාංගයන් මගින් ජාතීන් යම් ලෙසකින් සජාතීයකරණය කරනු ලැබූව ද තව දුරටත් ඔවුන්ගේ අවශ්‍යතා සහ උවමනාවන් ප්‍රමාණවත් ලෙසින් සන්තර්පණය කිරීමට නො හැකි වීම මත ගැටුම් ඇතිවීම සිදු විය.


එලෙස නූතන ජාතික රාජ්‍ය ආකෘතියක් තුළ ජාතීන් සජාතීයකරණය කිරීම හේතුවෙන් ඇති වූ ගැටුමක් ලෙස ශ්‍රී ලංකාව තුළ ඇති වූ තිස් අවුරුදු යුද්ධය හඳුනා ගත හැකි ය. වසර තිහක් පුරා පැවැති එම ගැටුම ජය – පරාජය නම් යුදමය ක්‍රියාවලියට අනුකූල ව අවසන් කරන ලදී. නමුත් ඒ සමඟම පරාජය වූ සුළු ජාතීන් තම පැවැත්ම සුරක්ෂිත කිරීම උදෙසා මවු රාජ්‍යයේ නිශ්චිත දේශ සීමා මෙන්ම, පටු විභේදනයන් ද අතික්‍රමණය කර තම ජනවර්ගයේ පැවැත්ම සුරක්ෂිත කරමින් සිය අභිලාෂ සහ අවශ්‍යතාවන් ඒකාග්‍රකරණය කරීම උදෙසා ගෝලීය සන්දර්භය තුළ ඩයස්පෝරාව මගින් කටයුතු කරනු දැකිය හැකි ය. එවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා රාජ්‍යය ආකෘතියේ භෞමික පැවැත්මත් ආර්ථික, දේශපාලනික වශයෙන් ද ඩයස්පෝරාවේ බලපෑමට ලක් වීම දැකිය හැකි ය.