සිරකරුවන් දණගස්සලා ඔළුවට පිස්තෝල තිබ්බ ලොහාන් රත්වත්තේගේ සිදුවීම!

බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සැප්තැම්බර් 12 වැනි ඉරිදා බීගෙන, සූර් පිට අනුරාධපුර බන්ධනාගාරයට ගිහින් හිරකාරයන් දණගස්සලා ඔළුවට පිස්තෝල තියලා තර්ජනය කළාලු. ඒ වගේම සැප්තැම්බර් 13 වැනිදා වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුවෙලා යාළුවන් පිරිසක් එක්ක බීගෙන බන්ධනාගාරයට ගිහින් එල්ලුම්ගහ බැලුවාලු.

නිරෝධායන කාලසීමාවක මේ වගේ

මේ ගැන ගොඩක් මීඩියා ගොඩක් කතා කියයි. මේක ලොහාන්ව විතරක් කොටු වෙන විදියට රිපෝට් කරයි. ඒත් මිත්‍රවරුනි, මේක ලොහාන්ට වඩා බොහෝ එහාට ගිය සිදුවීමක්. ඔය රාජ්‍ය ඇමතිකම ලොහාන්ට දුන්නේ කවුද? ලොහාන්ට දුන්නේ ඇයි? බන්ධානාගාරවල ඉතිහාසය මොකක්ද? වැලිකඩ බන්ධනාගාරයට මොකද වෙන්න යන්නේ? ඕවා එක්ක මේක දරුණු සිදුවීමක් විදියට අපි දකිනවා. ඒ පසුබිම් කතා ඉස්සරහට කතා කරමු. මුලින් සිද්ධිය ගැන කියා ඉමු.

මේ සිදුවීම තවදුරටත් විකල්ප මීඩියාවලින් වාර්තා කරන විකල්ප ප්‍රවෘත්තියක් නෙවෙයි. මේ සිද්ධිය මුලින්ම ආරංචිවුණ ගමන්, ඩේලි මිරර් වාර්තා කරපු ගමන් ඇමතිගේ නම නැතිවයි ගියේ.

අපට නම දැනගන්න ලැබුණත් අපි බය වුණේ ඕක වාර්තා කරලා, රටට කියලා අපට ගස් යන්න වේවිද කියලා. අපි කතා කරන්න බයේ නෙවෙයි. ඒත් මේ වගේ දරුණු කතාවක් කියනවානං වීඩියෝ එකක්, ෆොටෝ එකක් නැතිව අපි කියන්නේ කොහොමද කියන ප්‍රශ්නය නිසා මේක හොඳට තහවුරු කරන්න ක්‍රමයක් හොයන්න ඕනෑ කිය කියා හිටියා.

ඔන්න නොහිතූ විදියට අපි උදේ අවදි වෙන්නේ ද මෝනිං පත්තරය,  වගේම දෙරණ අරුණ වැඩසටහනේදී චතුර අල්විස් ලොහාන් රත්වත්තේගේ නම එක්කම කතාව එළිදක්වලා. අරුණ පත්තරය ලොහාන්ගේ නම නොදැම්මත් ඩීටේල්ස් එක්ක කතාව කියලා.

මේ රාජ්‍ය ඇමතිවරයා වැලිකඩට යද්දීත් පිස්තෝලය අතේ තිබුණාලු.

සන්ඩේ මෝනිං වාර්තාව අනුව  හෙළිකොප්ටරයකින් අනුරාධපුර බන්ධනාගාර භූමියට ඇතුළු වුණ ඔහු කොටි සංවිධානයේ සැකකරුවන් අතරින් පිරිසක් ගෙන්නලා දණගස්සලා ඔළුවට පිස්තෝලය තිබ්බාලු. බීලා හිටපු ඔහු කෑගැහුවාලු උඹලාව නිදහස් කරන්න හෝ නොකරන්න පුළුවන් තමන්ට බව.

සැප්තැම්බර් 14 වැනිදා ටීඑන්පීඑෆ් එකේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ට්විටර් පණිවිඩයකින් කියා තිබුණා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවෙලා දෙමළ දේශපාලන සිරකරුවන්ට තර්ජනය කරපු ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගත යුතු බව. ඒ පණිවිඩයේ ඔහු සඳහන් කළා සිරකරුවන් දෙන්නෙක්ව දණගස්සලා ඔළුවට පිස්තෝලය තියලා එතැනදීම මරනවා කියා තර්ජනය කරපු බව.

පොන්නම්බලම් මහතා කියා තිබුණා ලොහාන් රත්වත්තේ ඒ වෙලාවේම ඉල්ලා අස්වෙන්න ඕනෑ බව.

ඒ වගේම බීමත් යාළුවන් පිරිසක් එක්ක වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුවෙලා එල්ලුම්ගහ බලන්න ඔහු ගිය චාරිකාවේදී, ඔහු එක්ක මෑතකදී රටේම කතාබහට ලක්වෙච්ච රූ රැජිණකුත් හිටියාලු.

මේ අය ඇතුළුවෙද්දී බන්ධනාගාර නිලධාරීන් කියා තියෙනවා කාන්තාවක් එක්ක එල්ලුම්ගහ ළඟට යන්න දෙන්න බැරි බව. මොකද, පිරිමි සිරකුටි පෝළිමක් පහු කරන්න ඕනෑ නිසා. ඒ හේතුව නං ටිකක් අමුතුයි.

කොහොම නමුත් ඒක කිව්වාට පස්සේ මේ පිරිස බන්ධනාගාර නිලධාරීන්ට බැණවැදුණාලු. මේ කණ්ඩායමේ හිටපු සමහර අය කොච්චර බීලා හිටියාද කිව්වොත් ඇවිදින්නත් අමාරුයිලු.

මේ ගැන ඇහුවාම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කියා තිබුණේ තමන් දන්නැති බව. ඒත්, ඩේලි මිරර් පත්තරේට සමහර බන්ධනාගාර නිලධාරීන් මේ කාරණය තහවුරු කරලා තිබුණා.

කෙසේ වෙතත් ද මෝනිං පත්තරේ ඇහුවාම ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා මේ සිදුවීම ප්‍රතික්ෂේප කරලා තිබුණා. කොහොමත් ඉස්සරහට ඇමතිවරයා මේක ප්‍රතික්ෂේප කරන බව ඉරහඳ වගේ විශ්වාසයි. ඒ වගේම මේ ඇමතිවරයා ගැන සාධාරණ හා ස්වාධීන විමර්ශනයක් සිද්ධ නොවෙන බවත්, සමහරවිට මේ ඇමතිකමෙන් වෙන ඇමතිකමකට දාන්න ඉඩ තිබුණත් වෙන කිසිම ප්‍රශ්නයක් නොවෙන බවත් අපට සීයට අසූවක් අනුමාන කරන්න පුළුවන්.

මොකද, ප්‍රශ්නය ලොහාන් රත්වත්තේ නෙවෙයි. ඊට ඉහළින් මේ රට පාලනය කරන අය. ලොහාන්ව පත්කළේත් ඔවුන්. ලොහාන් මේවා කළේත් ඔවුන්ගේ ආරක්ෂාව ලැබෙන බව නිසැකව දැනගෙන.

වැලිකඩ කියන්නේ ආණ්ඩුව දැන් විකුණන්න ලෑස්තිවෙන දේපළක්. මේ ඉඩමේ හෝටලයක් හදන්න ලැස්තියි. අනෙක් පැත්තෙන් ලොහාන් රත්වත්තේ කියන්නේ මේ ආණ්ඩුවේ පාලක පවුලේ ලොකු ආශිර්වාද ලබන දේශපාලනඥයෙක්. ලොහාන්ගේ චණ්ඩිපාට් සිද්ධි, පිස්තෝල සිද්ධි කලිනුත් වාර්තා වෙලා තියෙනවා. ඒත්, පොදුවේ ආණ්ඩුව ලොහාන්ට ඉතා කැමැත්තක් දැක්වුවා.

නෑ! අපි විශ්වාස කරන්නේ නෑ ලොහාන් රත්වත්තේ මේ පිට කළේ තමන්ගේ පෞද්ගලික කේන්තියක් බව. ඔහු පිට කළේ මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කේන්තිය. ඔහු පිට කළේ මේ ආණ්ඩුව කරන බලවේගයේ කේන්තිය.

චතුර අල්විස් දෙරණේදී කිව්වේ මේ රට  පහළට අදින්න මානව හිමිකම් සංවිධානවලින් උත්සාහ කරන වෙලාවක ‘ලොහාන්’ මේක කරපු එක වැරදියි වගේ කතාවක්. ඒවා කුණුහරුප. මේ සිද්ධිය මතු වෙන බව දන්න නිසා මහජන කේන්තිය ලොහාන් කියන තනි මනුස්සයාට හරවන්නයි ඒ උත්සාහය.

නෑ මහත්තයෝ. මේ රට පහළට අදින්න උත්සාහ කරන්නේ මේ පාලකයෝ. මානව හිමිකම් කඩන්නේ මේ පාලකයෝ. මේ තක්කඩි චින්තනය තියෙන්නේ මේ පාලකයන්ට. දෙමළ මිනිස්සුන්ගෙ, විශේෂයෙන් මේ වගේ  හිරවෙච්ච මිනිසුන්ගේ දෛවය තමන්ගේ අතේ බව හිතන්නේ මේ පාලකයන්. දෙමළ විතරක් නෙවෙයි, අපි ඕනෑ කෙනෙක්ගෙ ඉරණම තමන්ගෙ  අතේ තියෙන බව හිතන්නේ ඔවුන්.

ඒ නිසා තමයි 2012 නොවැම්බර් 10 වැනිදා වැලිකඩ බන්ධනාගාර ලැයිස්තුවට කඩාවැදුණ නිලධාරීන් පිරිසක් සිරකරුවන් තෝර තෝරා වෙඩි තියන්න පටන් අරන් තිබුණේ. ‘ගෝඨාගේ ලැයිස්තුව’ කියල මොකක්හරි හේතුවකට නම් කරපු ලැයිස්තුවක ඉන්න පුද්ගලයන් එකිනෙකාට වෙඩි තිබ්බේ.

ඒ නිසා තමයි පහුගිය කාලයේ රාගම බන්ධනාගාරයේදී හිරකරුවන්ට වෙඩි තිබ්බේ.

උං හිරකරුවෝනේ. ඔව්! එයාලාට පුළුවන් උංගෙ ඉරණම තීන්දු කරන්න. උං ඉතිහාසයේ ඒ විදියට ඉරණම තීන්දු කරලා තියෙනවා. කරන්න තියෙන්නේ අවශ්‍ය අයව ඉවර කරලා සිරකරුවන් පැනලා යන්න හැදුවා කියන්න විතරයි.

ලොහාන් කියන්නේ ඒක පාතාල ක්‍රමේට පිට කරපු මනුස්සයෙක් විතරයි. ඔහු නොහිතපු විදියට මේ සිදුවීම මාධ්‍යවලට ආවා විතරයි.