චීනෙන් පොහොර ගේන්න කැබිනට් අනුමැතිය!

චීන සමාගමකින් කාබනික පොහොර ටොන් 96,000 ක් ආනයනය කිරීමට අගෝස්තු 06 දිනය තියෙන කැබිනට් පත්‍රිකා අංක F/61/2021 යටතේ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබිලා. මේ කැබිනට් පත්‍රිකාවේ පීඩීඑෆ් පිටපතකුත් එක්ක ‘ද ලීඩර්’ වෙබ් අඩවිය වාර්තාවක් පළ කරලා තියෙනවා.

පොහොර වර්ග තුනක් මේ විදියට ආනයනය කරනවා. ඒකට ඇමෙරිකානු ඩොලර් මිලියන 63.6 ක් වියදම් කරනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 12,967 ක්. (රුපියල් බිලියන 12.9)

එහි තියෙන විදියට ලොකු ටෙන්ඩර් සෙල්ලමකුත් මේ පොහොර ආනයනයේදී සිද්ධවෙනවා.

මෙයට අදාල චීන සමාගමේ නම Qungdao Seawin Bio Tech Group Co LTD. සිංගප්පූරුවේ සමාගමේ නම ඇග්‍රිකල්චරල් රිසෝසස් ඇන්ඩ් ඉන්වෙස්මන්ට්.

කැබිනට් පත්‍රකිාවේ 1.2 වගන්තියේ තියෙනවා ලංකාවට කාබනික පොහොර ගේන එක සම්පූර්ණයෙන් අලුත් වැඩක් වෙන හින්දාත්, ජාත්‍යන්තර වෙළඳපළේ මේ වගේ නිමැවුම් ආයතනවල නැති නිසාත්, පූර්ව ලංසු ලේඛනය හදන්න පරක්කු වුණාලු. ඒ නිසා සාමාන්‍ය ලංසු ක්‍රමවේදයට අයිති කාලරාමුව අනුව නැතිව, මිල ගණන් කැඳවලා තමයි ආනයනයට සමාගම් තෝරාගෙන තිබුණේ.

මේ කියන පොහොරවල ස්වාභාවික ඛණිජ සහ කීලේඩ් අඩංගු වෙනවාලු.

කොහොම වුණත් මේ පොහොර ගෙන්වීමේදී ප්‍රධාන කාරණා කිහිපයක් අපි මතක තියාගන්න ඕනෑ. මුලින්ම ආණ්ඩුව කීවේ ලංකාවට රසායනික පොහොර ආනයනය කරන්න ලොකු මුදලක් වැය වෙන නිසා, ඒ මුදල් ඉතිරි කරන්න කාබනික පොහොර ලංකාවේ හදාගන්නවා කියලයි. ඒත්, දැන් පෙනෙන විදියට කාබනික පොහොර ආනයනය කිරීමක් සිද්ධ වෙනවා.

දෙවැනි ප්‍රශ්නය තමයි මේ විදියට ගෙන්වන පොහොරවලට නිසි අනුමැතිය ලැබෙනවාද කියලා.

ඒ ගැන ද ලීඩර් වාර්තාවේ මෙසේ සඳහන්.

‘මෙම කාබනික පොහොර හා ස්වාභාවික ඛණිජ හා කීලේඩ් අංශු මාත්‍ර ශාක පොහොර 2021/22 කන්නය සඳහා ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇතත්, මෙම සමාගම්වල දේශීය නියෝජිතයන් පිළිබඳ කිසිදු සඳහනක් අමාත්‍ය මණ්ඩල සංදේශයේ සටහන් නොවීම බලවත් ගැටලුවකි.  

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අදාළ දේශීය නියෝජිතයා ජ්‍යෙෂ්ඨ ලේකම්වරයෙකුගේ පුතෙක් බවයි    පොහොර සහ කෘෂි ද්‍රව්‍ය පරීක්ෂා කිරීම (Sample trials) සමාන්‍යයෙන් වසර දෙකක කාලයක් රටතුළ සිදුවන අතර ආනයනය සඳහා අවසර ලැබෙන්නේ ඉන් අනතුරුවය.    

එහෙත් මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් වන පොහොර සාම්පල් අදාල අංශවලට ලබා දී ඇති අතර ඒ සියල්ල අදාළ රාජ්‍ය අංශවලින් අනුමත නොකර ප්‍රතික්ෂේප කර ඇත. ඒවායේ ප්‍රමිතිය සම්බන්ධ පරීක්ෂණ සිදුකරන්නේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ ඇති ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය (SLSI) , කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති ජාතික ශාක නිරෝධානය දෙපාර්තමේන්තුව, ජල ජිවී දෙපාර්තමේන්තුව (NPQD සහ සත්ව පාලන දෙපාර්තමේන්තුව (AEA) ආයතනයයි.    

රාජ්‍ය අංශවලින් අනුමත නොකර ප්‍රතික්ෂේප කර ඇති තත්වයක් තුල ආනයනික චීන සමාගම විසින් එරට පරීක්ෂණ ආයතනයක් විසින්  නිකුත් කරන සහතික පිළිගන්නා ලෙසට බලපෑම් එල්ලවෙමින් තිබෙනබව වාර්තාවේ.   

මෙම ආයතන සියල්ල මෙම සාම්පල ප්‍රතික්ෂේප කර ඇතත් කිසි දිනෙක මෙරට මහපොළවේ භාවිතා නොකල 10% ක පමණ නයිට්‍රජන් ප්‍රමාණයක් අඩංගු අංශ මාත්‍ර අනෙකුත් දේශීය කාබනික පොහොර සමඟ ආදේශණය කර බෙදා හැරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.   කෙසේ වුවද මෙරටට ආනයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රේගුව මගින් දේශීය නියාමන ආයතනයවල අනුමැතිය නොමැතිව මෙම භාණ්ඩ නිදහස් කලහොත් එය නරක පූර්වාදර්ශයක් විය හැකිය.    අදාළ ටොන් 99,000 හෝ 10% නයිට්‍රජන් ප්‍රතිශතය ඉවත් කළ ඉතිරි වන්නේ කුමණ කොටස්ද යන්න කිසිවෙකු නොදනී. ‘