රණකාමීන්ට චින්තන අත්වැලක්- “යුග විලක්කුව”

කතාව තිරයට එද්දිත් රඟපාපු අයගෙන් සැලකිය යුතු පිරිසක් මැරිලා. සමහරුන්ගෙ අත පය නෑ. ඒක හරි ෂොක් එකක් වුණා අපට. ඔය කතාවෙ එක තැනක තියෙනව පාලිත සිල්වා එක්ක ෆ්ලයිට් එකෙන් බැහැල එන කැප්ටන් කෙනෙක්. එයත් මැරිලා. ඕක පට්ට කට්ටක් කාපු ප්‍රඩක්ෂන් එකක් ”

“රාජනීගේ චරිතෙට මුලින් තෝරාගත්තේ නදීකා ගුණසේකර. ඒත් ගොඩක් අය ඒ කාලෙ යාපනයට යන එක ගැන දෙපාරක් හිතනවා. සුදත් අයියා රංජනීව ගත්තේ කතාවෙ සෙසු චරිතවලට තරුණ සේවා සභාවෙන් කරපු ඉන්ටවිව්වලින් පස්සෙ. එයා චරිතෙට උපරිම සාධාරණයක් කළා..”

1990 දශකය අග්ගිස්සේ ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂකයා නැරඹූ ‘යුග විලක්කුව’ ටෙලි නාට්‍ය අද තාරුණ්‍යයේ අග්ගිස්සේ සිටින්නන්ට නම් අමතකවීමට බැරිය. සුගතපාල ද සිල්වාගේ රචනයෙන් සුදත් රෝහණ අධ්‍යක්ෂණයෙන් එළි දුටු මේ වැඬේ ගැන ඉහත මතකය නීතිඥ ජගත් ලියනාරච්චිගේය. ජනමාධ්‍ය සමාජයේ බොහෝ දෙනෙකු දක්ෂ නීතිඥවරයකු හැටියට දන්නා ජගත් අයියා අවසන් වරට කර උර දුන් කලා වැඬේත් යුග විලක්කුවය.

මෙහි විශේෂත්වය වන්නේ චන්ද්‍රිකා ආණ්ඩුවේ සාම සාකච්ඡා බිඳවැටී යළි යුද්ධය දරුණු ලෙස ඇවිලී යන සමයක ‘යුග විලක්කුව’ රූපගත කිරීමය. ආරක්ෂක අංශ ඇතු`ඵ රාජ්‍ය අංශවල සහාය විශාල වශයෙන් ගෙන සකස් කෙරුණු මේ කතාවෙන් සන් කෙරුණේ සාමයේ අවශ්‍යතාව හා යුද්ධයේ විනාශකාරිත්වයයි.

“ඒ දවස්වල ලිප්ටන් වට රවුම ළඟ ඔඩෙල් එක ගාව සුදු පාට තාප්පේ ක`ඵ පාට තීන්තෙන් ලියලා තිබුණා යුද්ධයට යන වියදම. ප්‍රවෘත්තිවලට කලිනුත් පොඩි ලයින් එකක් යන්නේ යුද වියදම්. මට මතක විදියට ජී.එල් පීරිස්ගෙ කතාවක කොටසක් යනවා නිව්ස්වලට කලින්. ඩ්‍රාමා එකේ මුහුරත් උළෙල තිබුණේ හෙක්ටර් කොබ්බෑකඩුව එකේ. මොන දේ කළත් සාමෙන් යන්න ඕනෑ කියලා ජී.එල් කිව්වා. එස්.බී දිසානායක තමයි ඒක බොහොම රැඩිකල් විදියට කිව්වේ.” ජගත් ලියනාරච්චි පරණ මතක සිහිකරයි.  

එල්.ටී.ටී.ඊය දේශපාලන සාකච්ඡාවලට කලින් ඉල්ලාසිටියේ ආර්ථික තහංචි ඉවත්කරන ලෙසය. තහංචි දමා තිබූ භාණ්ඩ ලැයිස්තුව 70 සිට 18 දක්වා අඩුකිරීමට ජනාධිපතිනිය ක්‍රියා කළ අතර 1990 දෙවැනි ඊළාම් සටන ආරම්භයෙන් පසුව ප්‍රථම වරට එදිරිවාදිකම් අත්හිටුවීමේ ගිවිසුමක් ද ක්‍රියාත්මක විය. එදිරිවාදිකම් අත්හිටුවා ඇති පරිසරයෙහි නෝර්වේ, ඕලන්ද හා කැනඩා නියෝජනයෙන් විදේශීය නිරීක්ෂකයන් පැමිණිය ද ජනාධිපතිනිය අතරමැදියා හැටියට එල්.ටී.ටී.ඊ නායකයාට යෝජනා කළේ ප්‍රංශයේ හිටපු තානාපතිවරයකු වූ ප්‍රැන්සිස් මයිකල්ය. එල්.ටී.ටී.ඊය පැවසුවේ සාකච්ඡා දෙපාර්ශ්වය අතර සෘජුව විය යුතු බවය. කෙසේ වෙතත් 1995 වනවිට ආණ්ඩුව සිටියේ උතුරේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සූදානමිනි. එල්.ටී.ටී.ඊයේ ද අදහස් ගෙන සකස් කළ එකී සැලසුම් දියත් කිරීමට රුපියල් මිලියන 39 000 ක් පමණ ඇස්තමේන්තු කර තිබුණි. ආණ්ඩුව දේශපාලන සාකච්ඡා කඩිනම් කිරීමට වෑයම් කළත් එල්.ටී.ටී.ඊය දිගටම පැවසුවේ ඊට කල්වේලා වැඩි බවය.

ඉන්දීය හමුදාව, එල්.ටී.ටී.ඊයට ලැබුණු එ.ජා.ප අනුග්‍රහ, ළමා සොල්දාදුවන්, දෙමළ සංක්‍රමණිකයන්, ඩයස්පෝරාව, එල්.ටී.ටී.ඊය විමතිකයන් මර්දනය, දෙමළ බුද්ධිමතුන්ගේ පරාජය ආදී ඉසව් රැසක් කරා ඇදී යන කතාවේ ඇතැම් තැන්වල යුද්ධය ප්‍රතිනිර්මාණයට අසාමාන්‍ය කාලවේලාවක් වැය කර ද තිබේ. ටෙලිනාට්‍ය හුදු ආණ්ඩුවේ ප්‍රචාරණ පටියක තැනින් ගලවාගැනීමට ද නිර්මාණකරුවන්ට සිදු වූ තැන් තිබෙන බවක් ද පෙනේ. එල්.ටී.ටී.ඊය විසින් ඝාතනය කරන ලද රාජිනී තිරාණගම ආචාර්යවරියගේ චරිතය නිරූපණය කිරීමට යොදාගෙන ඇති රේවතී වෛද්‍යවරිය කතාවේ ප්‍රධානම චරිතයයි. උතුර දකුණ හා නොනිමි සංවාදයක් නිර්මාණයට ඇය ගත් අප්‍රතිහත ධෛර්ය විසින් සාමයේ දේශපාලන හරයේ සංකීර්ණත්වය පිළිබිඹු කරනු ලබයි. තම සරසවි මිතුරා වූ චරිතත් පාසල් වියේ මිතුරා වූ එල්.ටී.ටී.ඊ ප්‍රාදේශීය නායක ගෝපාලන් අතරත් සිදුවන රේවතීගේ වාද විවාද ඊට ප්‍රාණය දෙයි. ගුරුවරයකු වූ බාලා (නඩරාජා සිවම්) ඔහුගේ බිරිඳ භවානි(වීණා ජයකොඩි) හරහා දෙමළ මධ්‍යම පාංතික ජනයා යුද්ධය කෙරෙහි දැක් වූ ආකල්ප විකල්ප ගැනද අවධානය යොමු කරවයි. යුද්ධයෙන් දේශපාලනය කරන්නන් නිසා අසරණ වූ ඉහළම හමුදා නිලධාරියකුගේ චරිතය (තිස්ස අබේසේකර) මෙන්ම අවි ආයුධ වෙළෙන්ඳන්ගේ භූමිකාව පෙන්වන සෑම්ගේ (ටෝනි රණසිංහ) චරිතය ද ජනප්‍රිය කතිකාවේ නැති කලාපවලට ප්‍රේක්ෂකයා යොමු කරයි.

මේ පිරිසට අමතරව මහේන්ද්‍ර පෙරේරා, රොජර් සෙනෙවිරත්න, ඩබ්ලිව් ජයසිරි, සැන්ඩෝ හැරිස්, අවන්ති අපොන්සු, රමණි සිරිවර්ධන, එඞ්වඞ් ගුණවර්ධන, ජනක් ප්‍රේමලාල්, තිස්ස උඩංගමුව, මෙලනි අසෝකා, ධම්මික පීරිස්, නවනන්දන විජේසිංහ, මලිත් ඉන්ද්‍රනාථ, රංජිත් යායින්න, මර්වින් මහේෂ්, ලාල් සිල්වා, රංජිත් රූබසිංහ, නිලාන් මලිගැස්ප, සුලක්ඛනා මිහිරිපැන්න, සමුද්‍රා හික්කඩුව, තිස්ස බණ්ඩාරනායක චරිත රඟදක්වන ‘යුග විලක්කුව’ ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙද්දී ඊට සහාය දැක් වූ ආරක්ෂක අංශවල සෙබ`ඵන් කීප දෙනෙක්ම යුද්ධයේ ගොදුරු වී තිබීම මේ නාටකයේම ශෝකාන්තයකි.

“96 අගෝස්තුවල විතර ඉඳලා අවුරුද්දක් විතර කාලයක් එක දිගට ෂූට් කළා. කොළඹ, හම්බන්තොට සිට මඩකළපුව, යාපනය වගේ ලංකාවේ ගොඩක් පැතිවල ෂූට් කළා. ෆෝසස්වලින් ලැබුණේ පුදුම සපෝට් එකක්. අමාරුම වැඩ තිබුණේ යාපනේ. එතකොට යාපනේ ආමි එක යටතේ. ජංගම දුරකථන තහනම්නෙ. කෝල් එකක් ගන්න මු`ඵ යාපනේටම තිබුණේ ලෑන්ඞ්ලයින් කීපයක් විතරයි. ”

“ගොඩක් චරිතවලට හමුදාවේ සෙබ`ඵ නිලධාරින් වගේම උතුරේ දෙමළ මිනිස්සු සම්බන්ධ වුණා. යාපනේ ළමයි තමයි සමහර ළමා සොල්දාදුවන්ගෙ චරිතවලට සම්බන්ධ කරගත්තේ. ඒවාට ළමයි ගත්තේ ඒ පවුල්වල අයගෙ කැමැත්තෙන්. ෂූටින් අතරේ එල්.ටී.ටී.ඊ එක ඒ ළමයින්ගෙ ගෙවල්වලට ගිහින් ප්‍රශ්න කරන්නත් පටන්ගත්තා. ලොකේෂන්වල ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ඒක. ඒ නිසා සමහර වෙලාවට ළමයි ගේන්න වුණේ බස් එක වටේට බෙඞ්ෂීට්වලින් ආවරණය කරගෙන. ඔයාට හොඳම විස්තර ටික දැනගන්න පු`ඵවන් සුදත් අයියට (සුදත් රෝහණ) කතා කළොත් ” ජගත් ලියනාරච්චි මහතා ඉතිහාසය අවුස්සන ආකාරයට ඒ විමසීම ඉතා වැදගත්ය. එහෙත් එය මෙවැනි කෙටි ලිපියකට සංග්‍රහ කරගැනීමට නොහැකිය. අනෙක් අතට මේ වුවමනාව 90 දශකයේ දේශපාලන දැක්ම ගැන කලා නිර්මාණයක් හැටියට ‘යුග විලක්කුව’ යතුරක් කරගැනීමටය.  

කුමාරණතුංග ආණ්ඩුව හා සාම සාකච්ඡාවේදී එල්.ටී.ටී.ඊයේ තීරණාත්මක කොන්දේසියක් වූයේ පුනරින් කඳවුර ඉවත් කිරීමය. සැබැවින්ම පුනරින් යනු මර්මස්ථානයකි. කඳවුර අල්ලා ගත්තත් එහි බලය පවත්වාගෙන යෑම භූගෝලීයව පහසු නැත. 1993 පුනරින් අල්ලාගැනීමේ සටනේදී පමණක් එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ 500 ක් හා හමුදා සෙබ`ඵ 650ක් මරණයට පත්වූහ. ජනාධිපතිනිය ඊට එකඟ නොවීම එල්.ටී.ටී.ඊය හැඳින්වූයේ ආණ්ඩුවේ යුදමය සැලසුම් පිළිබඳ බිය ස්ථිර කරන සාධකයක් වශයෙනි. එහෙත් එහි සැබෑ ලෙස තිබිය හැකිව තිබුණේ ගරිල්ලා කණ්ඩායමක සිට සාම්ප්‍රදායික හමුදාවක් බවට පරිවර්තනය වී තිබූ එල්.ටී.ටී.ඊයට බිඳ වැටෙන ජන සහයෝගිතාවය සමග පැටලුණු සැකසංකාය. එය යුද්ධය පිළිබඳම සාධකයක් නොවේ. මන්දයත් රාජ්‍යක් සිය ස්වෛරීත්වයේ අවසාන බලය වූ සන්නද්ධ ශක්තිය යොදා ගත්විට ඊට ප්‍රතිසන්නද්ධ බලය යොදා කේවල් කිරීමේ ඇත්තේ ද න්‍යායාත්මක පදනමක් බැවිනි. එල්.ටී.ටී.ඊය අවසන් වෙන්නම පහර දී දේශපාලන විසඳුමකට ඒ අතරේම යෑම ගැන ආණ්ඩුවට හිතවත් මතධාරීන් ඇතැමෙකු නොකියා කීවේ ද එයයි. එවිට දෙමළ ජනයාට කේවල් කිරීමට ඇති බලය අඩුවේ. 1995 අප්‍රේල් 22 සාකච්ඡා බිඳවැටීමෙන් මාස තුනක් ඇතුළත ආරම්භ වූ ‘සුදු නෙ`ඵම’ තුළින් සංකේතවත් වූයේ එයයි. ඇතැමුන් ඊට ‘සාමය සඳහා යුද්ධය’ යැයි කීවේ එහෙයිනි. ජවිපෙ ප්‍රමුඛ ජාතිකවාදීන්ගේ සහායෙන් 2005න් පසුව ගොඩනැගුණු මානෙල් මල් ව්‍යාපාරයෙන් වූයේ සාමය කෑල්ල ද හැලීයාමය.

ජාතියකට එරෙහිව දශක ගණනාවක් තිස්සේ එල්ල වුණු පීඩනයක් ජන ඝාතක යුද්ධයක් කරා තල්ලුවීම වාක්‍යයකින් දෙකකින් විග්‍රහ කළ නොහැකිය. එහෙත් මනුෂ්‍ය වටිනාකම්වලට වඩා අනන්‍යතා අර්බුද ඉස්මතු කෙරෙන ජාතිකවාදයේදී ඒවාට කෙටියෙන් පිළිතුරු තිබේ. යුද්ධය ගැන කතා කරන ෆේස්බුක්කරුවන් බොහෝ දෙනකු රණකාමී වන්නේ ද එහෙයිනි. ඒවා තුළ ඇත්තේ ද කිසියම් ආකාරයක අනන්‍යතා නිරූපණම මිස යථාර්ථය නොවේ. යුද්ධයට ෆේස්බුක්හි ආවඩන අප දන්නා ඇතැම්මු සිය පෞද්ගලික ජීවිතවලදී රතිඤ්ඤාවක හඬට පවා බියවන්නෝය. යුද්ධය ව්‍යාපාරයක් කරගත්තෝ ද මැති ඇමැතිවරු ද මෙන් ඔවුහු කිසි කලෙක යුද්ධයකට නොයන්නෝය. යුද්ධය යුද්ධය යුද්ධය ආදී වශයෙන් සිහිනයෙන් පවා රචනා ලී කීර්ති වර්ණකුලසූරිය වැනි වර්ගවාදී වාර්තාකරුවකු පවා තම පෞද්ගලික ජීවිතයේදී කොතරම් වගකීම්විරහිතවූවකුදැයි යන්න පසුගියදා හෙළිදරව් විය. කොවිඞ් ආසාදිත වූ කීර්ති රෝහලින් පලායෑම තුළ ඇත්තේ ඔහුගේ මාධ්‍යකරණයම වෙනත් මානයකින් ප්‍රකාශවීමකි.

ඉතාම නින්දනීය කාරණය වන්නේ මෙවැනි වර්ගවාදී ලියන්නන්ගෙන් ද බල ව්‍යාපෘති දේශපාලනවලින් ද සැකසෙන ජාතික අනන්‍යතාව වෙනුවෙන් සුරලොව යන්නට සිදුවන්නේ ග්‍රාමීය අවවරප්‍රසාදිතයන්ට වීමය. යුද්ධයේ තීරණාත්මක ආයෝජනය වූ මානව සම්පත හෙවත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු ජීවිත වන්දිය ගෙවන්නට සිදුවූයේ ඔවුන්ටය. යුද්ධය තිත්ත වී සිටි සමාජයක් රණ විරු නිෂ්පාදනාගාරයක් බවට පත්කිරීමේ ඒ තීරණාත්මක කාර්ය එහිදී පවරාගත්තේ වාමාංශය සහ ජාතිකවාදී කණ්ඩායමයි. පාර්ලිමේන්තු දේශපාලනයෙහි අතිශයින් සක්‍රීය වී සිටින ජනතා විමුක්ති පෙරමුණට අද පවා ගෙවාගත නොහැකි වන්දියක් වී තිබෙන්නේ මේ ඉතිහාසයයි. මිය ගිය පිරිස් රණවිරු නාමයෙන් හෝ විශ්‍රාම වැටුපකින් පෙරලා රාජ්‍ය සත්කාරය සමාජ සත්කාරය ලබනවා ඇත. එහෙත් ඒ පවුල්වල නෑ සියන් ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය සු`ඵපටු නැත. රට පුරාම ජාතිභේදයකින් තොරව පියවරුන් නැති දරුවන් සැමියන් නැති බිරින්ඳෑවරුන් මෙන්ම ඒ නිසාම හටගත් සමාජීය ව්‍යාධි අතෝරයකි.

එහෙත් අදටත් අප දකින්නේ යුද්ධයේ මේ යථාව වෙනුවට රෝග නිධානය යට යවන යූ ටියුබ්කරුවෝය. ඊනියා යුද සාහිත්‍ය වාර්තාවලින් බඩ සරිකරගන්නා වෙළෙන්ඳෝය. උත්ප්‍රාසජනක ලෙස හොඳම වෙඩික්කරුවා, මාන්කුලම් බේරාගත් වීරයා ආදී ඔවුන් සම්මුඛ සාකච්ඡාවට ලක්කරන ආරක්ෂක අංශ නිලධාරින් හා සෙබ`ඵන් පවා සිය ආත්මභාෂණයේදී පතන්නේ නැවත යුද්ධයක් නොඑන අනාගතයකි. එහෙත් ඒ මිනිසුන්ගේ සාමූහික ශ්‍රමය ඩිජිටල් මාධ්‍ය තුළ ලාභාංශයක් කරගන්නා යූ ටියුබ්කරුවෝ ද නැවතත් හිස ඔසවන්නට වැර දරන අන්ත ජාතිවාදී කිහිලිකරු ද පොහොර දමමින් සිටින්නේ වෙනත් අපායකටය.

අඩුම තරමින් යුද්ධය අවසන් කිරීමට මරා දැමුණු ජීවිතවලට හෝ අර්ථයක් උදාවනු ඇත්තේ එකම රටක් තුළ සහජීවනයෙනි. මේ සාම වෙළෙඳුන් කියන සහජීවනය නම් නොවේ. එවැනි දේට අදාළව නම් අදටත් ඇතැම් තැන්වල සංහිඳියා වැඩ කලබලේට සිදුවන බව පෙනේ. ඒ ව්‍යාපෘතිය. යුද්ධයකදී පළමුව වෙඩි වදින්නේ සත්‍යට යැයි ප්‍රවාදයකි. ඉන්පසුව වර නැගෙන මිථ්‍යා කතා තුළ ඉන් පීඩිත වූ සුතඹුවන් නෑ සිය මිතුරන් ආදීන්ගේ වේදිතයන්ට ඉඩක් නැත. යුග විලක්කුවේ තේමා ගීතය මනරම් ලෙස කියන්නේ එයයි.

ලේ සලකුණු පමණයි රණබිමක ඉතිරිවන්නේ
ලේ කඳුළුම පමණයි රණ හඬට නෙත උනන්නේ…

එකම රටක එකම බිමක දිනු දරුවෝ
දෙපිල බෙදී රණබිම් වැද අවි දැරුවෝ
කවුරුද සතුරෝ කවුරුද රණ විරුවෝ
ජයලද්දෝ දෙපිලම බිලිගත් මරුවෝ …

දොර දොර මළ බෙර ගොඩ ගොඩ ඇට සැකිලි
අවතැන් ජීවිත දළ සෝ ගිනි ඇවිලී
උරුමය මෙය වේ සටනක කෙලවරදී
තිබේද විසඳුම් ගිනි දඬුවල ලියැවී..

ගී පද- සුනිල් ආරියරත්න
සංගීතය – රෝහණ වීරසිංහ
ගීත ගායනය – නිරෝෂා විරාජිනී

සටහන – බිඟුන් මේනක ගමගේ