ශ්‍රී ලංකාව ගැන හොයන්න සල්ලි දෙන්න! -මානව හිමිකම් කොමසාරිස්ගේ සම්පූර්ණ කතාව

ලංකාවේ මානව හිමිකම් සිදුවීම් ගැන සාක්ෂි සහ කරුණු 120,000ක් එකතුවෙලා තියෙන බවත්, තව කරුණු හොයන්න මුදල් පහසුකම් දෙන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 2021 සැප්තැම්බර් සැසිවාරයේදී එ.ජා. මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය ප්‍රකාශ කළා.

ඇගේ සම්පූර්ණ කතාව සරල සිංහල භාෂාවට කරපු පරිවර්තනයක් පහතින්.

‘ශ්‍රී ලංකාව ගැන සහ මගේ අවසන් වාර්තාවේදී ඉදිරිපත් කළ ප්‍රවණතා සහ සිදුවීම්වලට අදාලව මානව හිමිකම් කවුන්සිලයට ප්‍රගති වාර්තාවක් ලබාදීමට හැකිවීම ගැන මම සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකා රජය මේ සඳහා එවනු ලැබූ කරුණු මම අනුදකිනවා. මම මතු කරන්න කකැමතියි ජනාධිපතිතුමාගේ ජුනි මාසයේ ප්‍රකකාශයේ සඳහන්ව තිබුණු රජය ‘වගවීම තහවුරු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ක වැඩ කරනවා’ කියන කරුණ වගේම ‘අවශය ආයතනගත ප්‍රතිසංස්කරණ’ සිදුකරන බවට කී කරුණ.

එයට අදාලව වඩා කොන්ක්‍රීට් ක්‍රිියාකාරීත්වයක්, අපේ වාර්තාවලින් නිර්දේශවලටත් අනුකූලව ඉදිරියේදී දකින්නයි මා බලා ඉන්නේ. ඒ වගේම මගේ කාර්යාලය ඒ සඳහා මැදිහත් වෙන්න සූදානම්.

ඒ වගේම අපි දිරිමත් කරනවා 2021 වසරේදී පත් කරන ලද ජාතික විමර්ශන කමිටුවේ වාර්තාව ප්‍රසිද්ධියේ එළිදක්වන ‍ලෙස. මම දන්නවා මේ වසරේ අගදී එහි ධුරකාලය අවසන් වෙනවා. වාර්තාව ඉදිරිපත් කළ පසු එහි කටයුතු සහ නිර්දේශ ඇගයීමට ලක් කරන්න පුළුවන්.

ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින වත්මන් සමාජ, ආර්ථික සහ පරිපාලන අභියෝග අනුව පෙනී යන්නේ මිලිටරිකරණයේ බාධාකාරී බලපෑම සහ වගකීමක් නැතිකම. ඒ නිසා දිගින් දිගින් දිගටම මූලික අයිතිවාසිකකම්, ප්‍රකාශනයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය, සමාජ ඒකාබද්ධතාව සහ තිරසර සංවර්ධනයට බාධා එල්ලවෙනවා.

අගෝස්තු 30 වැනිදා ශ්‍රී ලංකාවේ අලුතින් හදිසි නීති තත්වයක් ප්‍රකාශයට පත් කළා. ඒ ආහාර සුරක්ෂිතතාව සහ මිල පාලනය ඉලක්ක කරගෙන. මේ හදිසි නීතිවල අරමුණු විස්තීර්ණයි, ඒ වගේම සාමාන්‍ය එදිනෙදා වැඩවලට මිලිටරි මැදිහත්වීම් තවත් වැඩි කරයි. මේ කාරණය ගැන අපේ කාර්යාලය සමීපව නිරීක්ෂණය කරනවා.

ජනාධිපතිවරයා සිවිල් සමාජ නායකයන් එක්ක මෑතකදී පවත්වපු සාකච්ඡාව ගැන මම උනන්දුවෙන් මතක් කරනවා. ඒ වගේම මම දිරිමත් කරනවා පුළුල් සංවාදයක් වගේම ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ අවකාශය පුළුල් කිරීම.

කණගාටුවට කාරණය තමයි මානව හිමිකම් ආරක්ෂකයන්ටත්, මාධ්‍යවේදීන්ටත්, අතුරුදන්වූවන්ගේ පවුල්වලටත් කරන ආවේක්ෂණය, තැතිගැන්වීම් සහ නීතිමය හිංසනය දිගින් දිගටම පවත්වාගෙන යනවා. ඒ විතතරක් නෙවෙයි. ඒවා ආණ්ඩුව විවේචනය කරන සිසුන්ට, ආචාර්යවරුන්ට, වෛද්‍ය වෘත්තිකයන්ට සහ ආගගමික නායකයන්ට පවා සිද්ධවෙනවා.

සාමකාමී උද්ඝෝෂණ සහ එකතුවීම්වලට බලය පාවිච්චි කිරීම්, අත්අඩංගුවට ගැනීම්, නිරෝධායන කඳවුරුවල රඳවා තබාගැනීම් ආදියට මුහුණදෙන්න සිදු වුණා.

සිවිල් සමාජ කණ්ඩායම්වලට අදාලව නව නියාමන රාමු කෙටුම්පතත් කරලා. රට ඇතුළේ ලොකු බයක් තියෙනවා ඒ නීතතිවලින් මූලික නිදහස තවත් සීමා කරයිද කියලා. මම අවධාරණය කකරනවා එම කෙටුම්පත පොදු ජනතාවට බලන්න සලස්සලා, ඒ මාතෘකාව ගැන පුළුල් සාකච්ඡාවක් මහජනතාව තුළ ඇති කරන්න ඉඩ දෙන්න කියලා.

ඒ වගේම මානව හිමිකම් කඩකිරීම් ගැන අධිකරණ ක්‍රියාකාරකම් ගැනත් මම කල්පනා කරනවා. එවැනි කරුණු අතර වසන්ත කරන්නාගෙගාඩ හිටපු නාවික හමුදාපතිවරයාට 2008 සහ 2009 කාලවලදී පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන්කිරීමේ චෝදනාවලට අදාලව නඩු නොපැවරීමේ නීතිපතිවරයාගේ තීන්දුව තියෙනවා.

නොයෙකුත් විමර්ශන සිදු වුණත් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් සහ ආගමික නායකයන් සත්‍ය සහ යුක්තිය ඉල්ලා සිටිනවා. එම ප්‍රහාර සඳහා පසුබිම සැකසුණ සම්පූර්ණ කරුණු හෙළිදරව් කරන්නැයි ඉල්ලනවා.

2011 දී දේශපාලනඥයෙක් ඝාතනය කිරීම වෙනුවෙන් දඬුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මෑතකදී ලබාදුන් සමාව නීතියේ පාලනය සහ අධිකරණ ක්‍රියාවලිය ගැන මිනිසුන්ගේ විශ්වාසය අවදානමේ දාලා.

පොලිස් අත්අඩංගුවේ සිදු වන මරණ ගැන මා ගැඹුරින් කම්පා වෙනවා. මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි සාමාජිකයන්ව පොලිස් ඝාතනවලට ලක්වෙලා. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සිදුකළ වධහිංසන සහ නරක සැලකීම් ගැන වාර්තා වෙලා.

මාර්තු මාසයේදී රැඩිකල්හරණ විධිවිධාන නිකුත් කළා. ඒ අනුව පුද්ගලයන්ව නඩුවක් නැතිව වසර දෙකක් දක්වා අත්තනෝමතික රඳවාගැනීම් කරන්න ඉඩ ලැබුණා. මා සඳහන් කරනවා, ශ්‍රේෂ්ඨාධිකරණය මෙයට අදාලව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අනුව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරපු බව. රජය දෙමළ හා මුස්ලිම් සංවිධාන 300කට වඩා ත්‍රස්තවාදී සංවිධාන එක්ක සම්බන්ධතා තියෙන ඒවා විදියට ලේබල් කරලා.

ජුනි 16 වැනිදා ත්‍රස්තවාදය වැළක්වීම යටතේ රඳවාගෙන සිටි සිරකරුවන් නිදහස් කිරීම සහ දඬුවම් කාලයේ අවසානයට ළංවෙමින් සිටි සිරකරුවන්ට සමාව දීම සිදු කළා. එම පනත යටතේ රඳවාගෙන සිටින පුද්ගලයන්ට නිදහස සඳහා අයදුම් කළ හැකි උපදේශන කමිටුවක් පත් කළා. මා ඉල්ලා සිටිනවා මේ වගේ දිගු කාලයක් රඳවාගෙන හිටපු අයට ඉක්මන් විසඳුම් දෙන්න කියා.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනස් කරන්න තියෙන වුවමනාව රජය පෙන්වලා තියෙනවා. ඒ සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරලා. එහෙත් මා ගැඹුරින් කම්පා වෙනවා දිගින් දිගටම ඒ පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම පිළිබඳ.

නීතිඳ හිජාස් හිස්බුල්ලා ප්‍රමාණවත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් නොකර මාස 16ක් තිස්සේ ර‍ඳවාගෙන ඉන්නවා. ඒ වගේම ගුරුවරයෙක් හා කවියෙක් වූ අහ්නාෆ් ජසීම් එම පමත යටතේ ප්‍රමාණවත් සාක්ෂි නැතිව 2020 ඉඳලා රඳවාගෙන.

පමත යටතේ ර‍ඳවා තබාගැනීම් තාවකාලිකව නවත්වන්න කියා. එම පනත ගැන සලකා බලා කටයුතු අවසන් කරන්නට කාලරාමුවක් හදාගන්න කියා.

හාණිපූර්ණ පිළිබඳ ජාතික කාර්‍යාලයට අගෝස්තු මාසයේදී අනුමැතිය ලැබුණා. හාණිපූර්ණ වන්දි ගෙවීම් සහ සංහිඳියා වැඩසටහන් දිගටම ක්‍රියාත්මක වෙනවා. අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලයත් කිලිනොච්චියේ හයවැනි ප්‍රාදේශීය කාර්‍යාලයක් විවෘත කළා. එහෙත් එය වින්දිතයන් අතර විශ්වාසය තහවුරු කරන්න ඕනෑ. මම නැවත ඉස්මතු කරනවා විනිවිදභාවය තියෙන, වින්දිතයන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන, ලිංගිකත්වය ගැන සංවේදී ප්‍රවේශයක වැදගත්කම. හාණිපූර්ණ වැඩසටහන් සත්‍ය සහ යුක්තිය ගැන පියවරවලින් සන්නද්ධ වෙන්න ඕනෑ.

රටේ මානව හිමිකම් කොමිෂන් සභාව පැරිස් සම්මුතීන්ට ගැලපෙනවාද කියලා හොයා බලන්න පහුගිය මාසයේ ජාතික මානව හිමිකම් පිළිබඳ ගෝලීය සන්ධානය විශේෂ විමර්ශනයක් දියත් කළා මේ කොමිසමට නිලධාරීන් පත් කිරීමේ ක්‍රියාවලිය ගැනත් මානව හිමිකම් වෙනුවෙන් ඒ ආයතනයේ කාර්‍යක්ෂමතාව ගැනත් එහිදී අවධානය යොමු කෙරුණා.

46/1 යෝජනාවේ තියෙන වගවීම සම්බන්ධ දේවල් බලාත්මක කරන්නට මගේ කාර්‍යාලයේ වැඩ පටන් අරන් තියෙන්නේ ඔය පසුබිමේ. මේකට ආරම්භක කණ්ඩායමක් බඳවාගන්න ලෑස්තියි. අපි මේ වෙද්දී සාක්ෂි සහ තොරතුරු 120,000ක විතර ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. දැනටමත් ඒවා එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුයි.

අපි මේ අවුරුද්දේ පුළුවන් තරම් තොරතුරු එකතු කරනවා. මම සාමාජික රටවලින් ඉල්ලන්නේ මේ වැඩේ සම්පූර්ණයෙන් කරන්න අවශ්‍ය තරම් අයවැය මුදල් සපයන්න කියා.

මම සාමාජික රටවලින් ඉල්ලනවා දිගින් දිගටම ශ්‍රී ලංකාව ගැන සමීප අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් වෙනුවෙන් පිළිගත හැකි වර්ධනයක් ඉල්ලා සිටින්න කියලා.’