ඇඳිරි නීති කාලයේදී කෝටි 240ක කසිප්පු බීලා

නිරෝධායන ඇඳිරිනීතිය නිසා අඛණ්ඩව දින විසිහතරක කාලයක් සුරාසල් වසාදමා තිබූ කාලය තුළදී රුපියල් කෝටි දෙසීය හතළිහකට අධික වටිනා කසිප්පු ප්‍රමාණයක් පුද්ගලයන් පානය කර තිබෙන බවට පොලිස් හා සුරාබදු දෙපාර්තමේන්තු මඟින් ගණන් බලා ඇති බව දිනමිණ පුවත්පත වාර්තා කර ඇත.

නීති විරෝධී කසිප්පු ජාවාරමට අදාළ සංඛ්‍යාලේඛන නොමැතිව තිබියදී මෙලෙස වටිනාකමක් සටහන් වන්නේ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිස් වාර්තාවලට අනුව මෙරට මුළු මත්පැන් අළෙවියෙන් නීතිවිරෝධී කසිප්පු වෙළෙදාමට සියයට දහයක් හිමිකම් කියන පදනමින් යැයි සුරාබදු දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.

නීත්‍යනුකූල සුරාසැල් විවෘත කර තබන කාල සීමාවේදී මෙරට මත්පැන් වෙළෙඳපොළෙන් සියයට දහයක් කසිප්පු සඳහා වෙන්වී තිබුණත් ඉකුත් දින 24දී පුද්ගලයන් නිත්‍යනුකූල මත්පැන් මිලදී ගැනීමට අවස්ථාවක් නොමැති වීම නිසා කසිප්පු ජාවාරම ඉකුත් දිනවලදී දෙගුණයකටත් වඩා වර්ධනය වී තිබූ බවට නිරික්ෂණය වූ බව එම නිලධාරියා සඳහන් කර ඇත.

ඒ අනුව කසිප්පු සඳහා ඉහත සඳහන් කළ වටිනාකම තවත් ඉහළ යායුතු බවද ඒ නිලධාරීයා පවසා ඇත.

මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ පවසා ඇත්තේ ගෙවී ගිය දින 24දී කසිප්පු භාවිතය අති විශාල ලෙස ඉහළ ගිය බවට සුරාබදු නිලධාරීන්ටත් පොලිස් නිලධාරීන්ට නිරික්ෂණය වූ බවයි. මෙරට මත්පැන් වෙළෙඳපොළෙන් සියයට දහයක් නීති විරෝධී මත්පැන් සඳහා වෙන්ව ඇතැයි කියන කාරණය සමාජ විද්‍යාඥයන් විසින් කලක පටන් කියන කාරණයක් යැයිද කුමාරසිංහ මහතා පවසා ඇත.

කසිප්පූ ජාවාරම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව සතුව සංඛ්‍යා දත්ත නොමැති බැවින් මේ පිළිබඳ නිල වශයෙන් යමක් ප්‍රකාශ කළ නොහැකිමුත් ඉකුත් දින විසි හතරේ කසිප්පු සඳහා අතිවිශාල ඉල්ලුමක් ඇතිවූ බව පිළිගන්නා බවද කීය.පොලිසියත්, සුරාබදු දෙපාර්තමේන්තුව කළ වැටලීම්වලින් ඒ බව තහවුරු වී ඇතැයි ද ඒ මහතා පවසා ඇත.