තොරතුරු හෙව්වේ ගුරුවරු මැරිලාද බලන්නලු! පො.මා.ප්‍ර. තල්දූවගේ උත්තරය

ලංකාවේ විවිධ ප්‍රදේශවල තිබුණ උද්ඝෝෂණවලට සහභාගී වුණ ගුරුවරුන් ඒ උද්ඝෝෂණවලින් පස්සේ කොවිඩ් ආසාදනයෙන් මියගිහිල්ලාද බලන්න තොරතුරු එකතු කරනවාලු. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් සම්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු එකතු කිරීම ගැන ඇහුවාම ඔහු එහෙම කියලා.

මෙයට පදනම් වූ දකින්න ඇති. ආණ්ඩුවේ තුච්ඡ වැඩ අතරේ තවත් තුච්ඡ වැඩක් සිද්ධවෙමින් තියෙන බව. ලංකාවේම ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ගුරු උද්ඝෝෂණවලට ගිය ගුරුවරුන්ගේ සහ ඒ ගුරුවරුන් අතරේ ආසාදිතයන් ගැන තොරතුරු හොයනවාලු.  

පොලිස් ස්ථාන සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල එක්ව උද්ඝෝෂණවලට සහභාගී වූ පුද්ගලයන් සංඛ්‍යාව, උද්ඝෝෂණ පැවති දවස, තැන, පුද්ගල නාමයන්, ලිපින ආදී තොරතුරු එකතු කරන්න පටන් අරන් කියලා ටයිම්ස් වාර්තාවේ සඳහන්.

මේ ගැන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මීට පෙර කරුණු දක්වා තිබුණා.

ඊට අමතරව මියගිය ගුරු, විදුහල්පතිවරුන්ගේ සංඛ්‍යාවත් එලෙස එකතු කරනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් සඳහා එම තොරතුරු අවශ්‍ය බව තමයි කියා තිබෙන්නේ.

ඒත් ආණ්ඩුව මේ කරන වැඩේම අවුලක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විද්‍යාත්මකව වෛරසයක හැසිරීමත්, වසංගතයක පැතිරීමත් හොයන්ඩ පුළුවන් ආයතනයක් නෙවෙයි. ඒකට තමා වෛද්‍ය පර්‍යේෂකයන්, රසායනාගාර විද්‍යාඥයන්, වෛරසවේදීන්. ඒ දෙපාර්තමේන්තුවේ වගකීම අමතක නං, ඒකේ නම ආයෙත් කියවලා බලන්ඩ. නමේම සඳහන් වූ වගකීම ඉටු කරනවා වෙනුවට ෆේස්බුක් නියාමනේ කොරන මාක් සකර්බර්ග්ගෙ කාර්‍යභාරෙයි, පුවත්පත් පැමිණිලි කොමිසමේ කාර්‍යභාරෙයි ආදී මෙකී නොකී ඒවා තමා අද ඔය ආයතනෙ කොරන්නෙ.

අනෙක වෛරසයෙ පැතිරුණේ කාගෙන්ද කියන ප්‍රශ්නෙට අවංකව උත්තර හොයනවානම් හොයන්න ඕන ගුරුවරුන්ගේ තොරතුරු හොයලා නෙවෙයි. රෝගීන්ගේ තොරතුරු ඇසුරෙන්, ඒ .

එහෙත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද කියා තිබුණේ පොලීසිය ඔය විදියට ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා තොරතුරු විමසනවානම් අමාත්‍යාංශයේ අවසරය ගන්න ඕනෑ බව.

ආණ්ඩුව දැන් පිස්සු බල්ලො වගේ ගුරුවරු පස්සෙ පැන්නුවට අවුලක් නෑ. ඒක කරන්න කියලා අපි යෝජනා කරනවා. ඔව්! ගුරුවරුන්ගෙ තොරතුරු එකතු කරන්න. හැබැයි පුතෝ හැංගි හැංගි බෑ. විනිවිද පේන විදියට එන තොරතුරු ඔක්කොම ප්‍රසිද්ධ කරන්න.

කොහොම නමුත් මේ පාදඩ වැඩ අපට නම් දැන් තිත්තයි. මිනිසුන්ගෙන් මෙච්චර විරෝධයක් එනකොටත් බාල හැසිරීම් ඔවුන් නවත්වන්නේ නැහැ.

ඇයි අපි මේක තුච්ඡ, පාදඩ වැඩක් කියලා කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම තමන්ගේ වගකීම පැත්තකට දාලා අනුන්ට ඇඟිල්ල දික් කරනවා. පිටරට රස්සා කරපු මිනිසුන්ට, කොළඹ වතුවල ජීවත්වුණ මිනිස්සුන්ට, මුස්ලිම් මිනිස්සුන්ට කොවිඩ් පැතිරෙව්වා කියලා චෝදනා කළා.

ඊට පස්සේ මේ රටේ කොවිඩ් නෑ කියලා ඒ ආණ්ඩුවේ ලොක්කන්ම ගහපු පම්පෝරි විශ්වාස කරගෙන අලුත් අවුරුදු කාපු මිනිසුන්ටත් කොවිඩ් පැතිරෙව්වා කියලා චෝදනා කළා.

ඔය විදියට මෙතෙක් ආපු හැම කොවිඩ් රැල්ලකටම මේ සමාජයේ මොකක්හරි පිරිසක් අල්ලගෙන ඇඟිල්ල දික් කරපු ඔවුන්, අන්තිමට ආපු රැල්ලටත් වගකීම කරගහන්න කෙනෙක් හොයනවා.

තුක් නොදකිං. දීයම කාපිය. අපේ ආච්චි ජීවතුන් අතර හිටියනං කියනවා.

දේශපාලනයේදී මේ තරම් පහත් වැඩක් අපි නං දන්නේ නෑ. ඡන්දෙ ඉල්ලලා ආණ්ඩුවක් ගත්ත නං, රටේ සිද්ධවෙන දේවල් ගැන වගකීම ගන්න එපායැ.

ආණ්ඩුවට ඕනෑ ගුරු උද්ඝෝෂණ නිසා පහුගිය මාස දෙකතුනේ කොවිඩ් රැල්ල පැතිරුණා කියන බොරුව සමාජගත කරන්නද? ඒක දත්ත පෙන්නමින් ඇත්තක් කරන්නද? එහෙනං ආණ්ඩුවට සිද්ධවෙනවා  ඒකට ප්‍රමාණවත් දත්ත පෙන්වන්න.

ආණ්ඩුව දැන් කරන්නේ මේකයි. මීට කලින් සිළුමිණෙන් ගණං හිලව් පෙන්නුවා ගුරුවරු 25ක් මැරුණා, ගුරුවරු 400කට ආසාදනය වුණා කියලා. රෝහිත අබේගුණවර්ධන මහතාත් ඒකම කිව්වා.

ෆේස්බුක් එකේ බොරු පෝස්ට් ගියා මැරිච්ච ගුරුවරු ගැන. මියානි කලීෆානි කියල ගුරුවරියකගේ ෆොටෝ එකකුත් තිබුණනෙ.

ඒ නමෙන් වැඩේ නොතේරුණ අයට කීවොත්, ගොඩක් පෝස්ට්වල ෆොටෝ බොරු. එහෙම ගුරුවරු නෑ. තව සමහර තැන්වල මැරුණේ නැති ගුරුවරු මැරිලා කියලා ගැහුවා. අපි කලින් වතාවක් කිව්වා මැරුණා කියල එක ගුරුවරයෙක් මැරිල කියල ආරංචිවෙලා ශිෂ්‍යයො ටිකක් ගෙදර යද්දී, මනුස්සයා අතුගගා හිටියාලු.

ගුරුවරු අච්චරක්, මෙච්චරක් මැරුණා කියල බොරු පෝස්ට් දාපු අයට එකම සහනය සීඅයිඩීය කියන ආණ්ඩුවේ පක්කලි සර්විස් ආයතනය පන්නන්නේ ආණ්ඩු විරෝධීන් දාන බොරු පෝස්ට්වලට විතරක් වීම. ආණ්ඩුවට පක්ෂව බොරු පෝස්ට් දැම්මට සීඅයිඩීය ට්‍රිගර් වුණේ නෑ.

හැබැයි කේස් එක මේකයි. ගුරුවරු කියන්නේ දෙවිවරු නෙවෙයි. වවුලොත් නෙවෙයි. මේ වෛරස් එක ලෝකෙ ඕනෑ ජොබ් එකක් කරන අයට වගේම ගුරුවරුන්ටත් ආසාදනය වෙනවා. ඉතින් පහුගිය කාලයේ කොවිඩ් හැදුණ අය අතරේ අනිවාර්යයෙන්ම ගුරුවරුන් ඉන්නවා. ඉතින්, ආසාදිතයන් යම් පිරිසක් හොයාගන්නත්, මැරිච්ච අය කිහිපදෙනෙක් හොයාගන්නත් ආණ්ඩුවට බැරි වෙන එකක් නෑ.

දැන් කරන්න යන්නේ ඔය කට්ටියගේ නම් ලිස්ට් නැත්නම් අහවල් ගමේ අහවල් අය කියල කරුණු සහිතව ප්‍රසිද්ධ කරලා එයාලගේ තර්කෙ ඔප්පු කරන්නනේ. බලු වැඩක් වෙන්නේ ඒකයි.

ඒ නිසා තමයි දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් තොරතුරු ඉල්ලන්නේ.

ඒත්! මොකක්ද මේ ඔප්පු කරන්න යන්නේ? ගුරුවරු වවුලො නෙවෙයි කියලද? දෙවිවරු නෙවෙයි කියලද? සුපර් ඉමියුන් කට්ටියක් නෙවෙයි කියලද? ඔව්! ගුරුවරුන්ට කොවිඩ් හැදෙන්න ඇති, සමහර අය මැරෙන්න ඇති කියල අපිත් දන්නවා. ඔය ඩේට එකතුකරල පෙන්නන්න මහන්සි වෙන්න ඕනෑ නෑ.

මොකද ගුරුවරු නෙවෙයි ඩොක්ටර්ස්ලා ගාණ හෙව්වොත්, වෙළඳසැල් හිමියන් ගාණ හෙව්වොත්, නැත්නම් වෙන රස්සාවක් කරන අය ගණං හෙව්වොත් සමහරවිට ගුරුවරුන්ටත් වඩා ආසාදිතයන් හා මරණ සංඛ්‍යා අඳුනගන්න පුළුවන් වේවි.

ඒත්, එයාලා ඔප්පු කරනවනං කරන්න ඕනෑ තර්කය ‘ගුරුවරුන් නිසා’ කොවිඩ් බෝ වුණා කියන එක. ඒ සඳහා  එයාලා පෙන්වන්න ඕනෑ ප්‍රමාණවත් ඩේටා.

මතක ඇති කොතලාවල පනතට විරුද්ධව උද්ඝෝෂණයකට සහභාගී වුණාම, නිරෝධායනය සඳහා කියමින් ජෝසෆ් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් හමුදා කඳවුකට උස්සං ගිහින් දැම්මේ ජුලි 8 වැනිදා. ඊට පස්සේ තමයි ගුරු උද්ඝෝෂණ මාලාව පටන්ගත්තේ.

ජුලි 9 වැනිදා වෙද්දී ලංකාවේ සම්පූර්ණ කොවිඩ් රෝගීන් ගාණ 269,946ක්. ඊට පස්සේ මේ වෙද්දී කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 485,922ක්.  ඒ කියන්නේ ඒ මාස දෙක ඇතුළේ රෝගීන් 215,976ක් වාර්තා වුණා.

ඒ අනුව කවුරුහරි තර්ක කරනවානම් කොවිඩ් රෝගය පැතිරුණේ ගුරුවරුන් නිසා කියලා, එයාලා ගුරුවරු සීයකට කොවිඩ් හැදුණා කියල පෙන්නුවත් මදි. ඔය කාලසීමාවේ ගුරුවරු නිසා ලංකාවටම කොවිඩ් පැතිරුණා නම්, අඩු තරමේ ගුරුවරු නිසා කොවිඩ් වැඩි වුණා නම් සංඛ්‍යාලේඛනවල තියෙන්න ඕනෑ මොකක්ද?

ගුරුවරු නිසා හැදුණනම් ඔය දෙලක්ෂ පහළොස්දාහෙන් තුනෙන් එකක්වත් ගුරුවරුන් හෝ ගුරුවරුන්ගේ සමීපම ආශ්‍රිතයන් වෙන්න ඕනෑ. ඒ කියන්නේ සමීපම ආශ්‍රිතයන් ඈ. ලංකාවේ හැම ගමකම, නගරයකම වගේ ගුරුවරු ඇති. ඒ ගමේම කොවිඩ් රෝගියෙක් හිටියාය කියලා බලෙන් කනෙක්ට් කරන්න බෑනේ.

විද්‍යාත්මකව තර්ක කළොත්, ඔය ආණ්ඩුවේ තර්කෙ ඔප්පු කරන්න නම් ගුරුවරුන්ගේ ගෙවල්වල අය, පවුලේ අය, දරුවන්, අම්මලා, සහෝදරයන් ආදී ඍජු සමීප ආශ්‍රිතයන් වෙන්න එපායැ අඩු තරමේ තුනෙන් එකක්වත්. එතැනින් පස්සේනේ එළියට යන්නේ.

ඒ කියන්නේ 71,992ක්වත් ගුරුවරුන් හා සමීපම ආශ්‍රිතයන් වෙන්න ඕනෑ. ආ.. පව්නේ. අපි තවත් බාර් එක පාත් කරමු. අඩු තරමේ ඔය ලක්ෂ දෙකයි කාලෙන් 43,195ක්වත් ගුරුවරුන් හා සමීපතම ආශ්‍රිතයන් කියල පෙන්වන්න පුළුවන්ද?

ලංකාවෙම ඉන්නෙ ගුරුවරු ලක්ෂ දෙකක් විතර. ඒත්, ලංකාවේ මිනිස්සු මිලියන 22ක් ඉන්නවා. ඒ කියන්නේ ගුරුවරු සංඛ්‍යාව වගේ දෙගුණයක්, තුන්ගුණයක්, දහගුණයක් නෙවෙයි. එකසිය දහ ගුණයක් විතර ලංකාවේ ජනගහනය ඉන්නවා. ඒ සමස්ත ජනගහනය අතරේ ලෙඩක් පතුරුවන ගුරුවරු නම් වූ සුළු පිරිසක් ගැන තර්ක කිරීම විහිළුවක්.

අනෙක් පැත්තෙන් ඒ ගුරුවරුන් ලක්ෂ දෙක අතරින් කොවිඩ් පැතිරුණා කියලා ආණ්ඩු හිතවාදීන් කියනවානම්, එතැනත් උං බස්ට් වෙනවා.  ඒගොල්ලන්ගේ තවත් එක තර්කයක් තමයි ගුරුවරුන් ඔක්කොම උද්ඝෝෂණය කරන්නේ නෑ, මේ හැම උද්ඝෝෂණයක්ම කළේ සුළු පිරිසක් කියන එක.

ඒ කියන්නේ ගුරුවරුන් ලක්ෂ දෙකම උද්ඝෝෂණවලට ගිය බව ඔවුන්ට පිළිගන්න වෙනවා. එතකොට අපේ අනෙක් තර්කය පැහැදිලියි.

යකුනේ ගුරුවරුන් ලක්ෂ දෙකම යම් ඉල්ලීමක් කළා නං ඔය බයිලා තර්ක නැතිව ඒ ඉල්ලීමට විසඳුම් දෙන්න.

අපි දන්නවා ජුලි මාසයේදීම ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තානම් කොහොමත් ඔය උද්ඝෝෂණ නතර වෙනවා. නෑ! පඩිය වැඩි කරන්නම නෙවෙයි ඒ වෙලාවේ තිබුණේ. පඩිය වැඩි කරන නිශ්චිත, නීතිමය තීන්දුවක් අරන්, ඔවුන්ගේ සේවයේ කොලිටියට අදාලව කරන ඉල්ලීම ඉටු කරන්නයි තිබුණේ.

මේ අතරේ චමුදිත කරපු කැත වැඩේ ගැනත් කෙටියෙන් හෝ කියන්න ඕනෑ. මේ මනුස්සයා හිරු ටීවී එකේ අර තුන්දෙනෙක් ඉඳගෙන එක්කෙනෙක්ගෙන් අහන ප්‍රෝග්‍රෑම් එකේදී කරපු වැඩක්. මේ ප්‍රෝග්‍රෑම් එකට සාමාන්‍යයෙන් එක්කෙනෙක් ආවාට, ජෝසෆ් ස්ටාලින්ට ෆුල් එයාටයිම් දෙන්න බයේ හරි, ජෝසෆ් කියන හැම එකටම අනෙක් පැත්තට කතාකරන්න කෙනෙක් ඕනෑ නිසා හරි මෙදා දෙන්නෙක් ගෙන්නුවා.

ඉතින් චමුදිත බබා වගේ ජෝසෆ් ස්ටාලින් මහතාගෙන් අහනවා ළමයි ඉන්නවානේ කියලා. බබා.

එතකොට වසන්තා හඳපාන්ගොඩ මහත්මිය බීග්‍රේඩ් ඉන්දියන් චිත්‍රපටියක වගේ හිනාවෙනවා. නෑ! ළමයි නෑ කියලා.

එතකොට චමුදිත බබා අහනවා ආ! ළමයි නැද්ද? කමක් නෑ. කියනවා.

මේක තක්කඩි බොරුවක්. සෙටප් කරපු එකක්. මොකද, මීට කලින් චමුදිත තමන්ගේ යූටියුබ් එකේ ඉන්ටවීව් එකකදීත් ළමයි නැද්ද කියන ප්‍රශ්නය අහනවා. මිනිහා උත්තරේ දන්නවා. කොහොමත් ජෝසෆ් ස්ටාලින් කියන්නේ වාමාංශික අරගලයට විවාහ වූ කෙනෙක් බව දේශපාලන හා මාධ්‍ය ක්ෂේත්‍රවල හැමෝම දන්නවා. දැනගෙන තමයි බබා චරිතෙ රඟපාන්නෙ.

අපි කලින් කීව ලෙඩ වෙච්ච, මැරිච්ච මිනිස්සුන්ගෙ තොරතුරු හොයලා ආණ්ඩුව කරන කැත වැඩේ අනෙක් කොටස තමයි ඔය. මේ මනුස්සයාට ළමයි නෑ ළමයි නෑ කියන තැටිය ආයෙ ආයෙත් ප්ලේ කරන එක. ගොබෙල්ස් න්‍යායෙන් ගත්තොත් ඕවා ආයෙ ආයෙ කිව්වම මිනිසුන්ගෙ ඔළුවලට රිංගනව කියලයි එයාලා හිතන්නේ.

ඒත් ඔය තර්ක සහ දත්ත බලලා ගුරුවරුන්ට වෛර කරන මෝඩයෝ දැන් මේ රටේ අඩුයි. මේ ආණ්ඩුවට ඡන්දය දුන් අය පවා අද වළේ වැටිලා, වැටිලා පස්ස ඇනිලා ඇනිලා මොළේට රිදිලා ටිකක් විචාරශීලීව දකිනවා.

ඒ නිසා චමුදිතලාගේ ඔය වැඩ දැක්කම තුක් නෙදකිං, දීයම කාපිය කියලා අපේ ආච්චි හිටියනං එයා වුණත් කියයි.