ගොවීන් පඹයින්ට ඇමති රොෂාන්ගේ ටීෂර්ට් අන්දයි ..

වී මෙන්ම අනෙකුත් බෝග වර්ග සඳහා නිසි මිලක් නොලැබීම සහ නිසි කලට අවශ්‍ය පොහොර නොලැබීම නිසා පොලොන්නරුවේ ගොවීහු පඹයින් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වී ඇත.

සැප්තැම්බර් 12 වෙනි දින මෙම විරෝධතාව පොලොන්නරුව ජයන්තිපුර නාගපොකුණේ සිට ජයන්තිපුර රෝහල් හන්දිය දක්වා මාර්ගය දෙපස ඇති විදුලි කණුවල පඹයින් සහ විරෝධතා පුවරු එල්ලා විරෝධතාව දක්වා ඇත.

එම විරෝධතාව සඳහා එක් කර තිබුණු පඹයන් හට පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු විදියට ජන්දය ඉල්ලු රෝෂන් රණසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරක ටීෂර්ට් අන්දවා තිබුණි.

කෙසේ වෙතත් මාධ්‍යට අදහස් දක්වමින් ගොවීන් මෙසේ පැවසීය.

“අපට වී වලට සාධාරණ මිලක් තමයි ඉල්ලන්නෙ. රුපියල් 60ටවත් වී යන්න ඕනෙ. නැත්නම් වැඩක් නෑ. අපටත් අමාරුයිනෙ. ණය තුරුස් ගෙවාගන්න තත්වයක් නෑ. පළවෙනියෙන්ම පොහොර ටික. මං වගාමයි කරන්නෙ, දැන් එළවලු හදන්න මට මඩපොහොර නෑ. අමාරුවෙ වැටිලා ඉන්නෙ මේ වෙලාවෙ” 

“මේ අපේ ගම්මානෙ ඇතුළට යං. වී නෙවෙයි – මෙහෙ ප්‍රධානම දේ වී තමා – ගම්මිරිස් ටික තියෙනවා විකුණාගන්න බැරුව. ඒ ටික පෙන්නන්න යං. දැන් යං. එක ගොවියෙක් ගාව තියෙනවා කිලෝ 100ක් විතර. තව එහා පැත්තෙ ගොවියෙක් ගාව තියෙනවා කිලෝ 600ක් විතර. රොෂාන් කියන්නෙ මෙහෙ ඇමතිතුමා. ඇමතිතුමාගෙ ටීෂර්ට් එකම අන්දලා තියෙන්නෙ ලස්සනට ඔය දාලා. ක්‍රියාකලාපය කියන්නෙ පාර්ලිමේන්තුවට ගියා ආයෙ ආවෙ නෑ පැත්ත පළාතෙ. පෙරේදා ඇවිල්ලා තියෙනවා මේ ජයන්තිපුර සිටි එක විවෘත කරන්න, එච්චරයි”