වියත්මග පව්! මන්ත්‍රී අසුන බැසිල් පැහැරගනිද්දී සද්ද නෑ!

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් වියත්මග සංවිධානයට හිමිව තිබුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අසුන පැහැරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකුට එම අසුන ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා.

පත් කරන කෙනා ගැන විවිධ මූලශ්‍රවලින් විවිධ වාර්තා කියැවෙනවා. මව්රටට ලියන කපිල පුංචිමාන්නගේ සඳහන් කර තිබුණේ පොදුජන පෙරමුණ හදන්නට තමන්ගේ පක්ෂය ලබාදුන් විමල් ගීගනගේට ඒ අසුන දීමට නියමිත බව. එහෙත් සන්ඩේ ටයිම්ස් පුවත්පත ප්‍රමුඛව මාධ්‍ය ගණනාවක් ලියා තිබුණේ ජයන්ත කැටගොඩ මහතාට එම අසුන හිමිවීමට නියමිත බව.

ඒ කෙසේ වෙතත් අපට තහවුරු වුණේ මේ අසුන වියත්මග සංවිධානයේ කෙනෙකුට හිමි නොවන බව. ඒ අනුව පාර්ලිමේන්තුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හිතෛශී මන්ත්‍රී කණ්ඩායම තවත් කුඩා වේවි.

මේ වන විට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමට නායකත්වය දීමත් බැසිල් රාජපක්ෂ මහතා වැඩි වශයෙන් කරනවා. ඉදිරියේදී පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමටත් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඔහු සහභාගී වීමට නියමිතයිලු.

එහෙත් මේ සම්බන්ධයෙන් වියත්මග සංවිධානයේ කිසිම විරෝධයක් එල්ල වී ඇති බවක් වාර්තා වී නැහැ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී දිස්ත්‍රික්කයකින් වියත්මක සාමාජිකයන් දෙදෙනා බැගින් ඉදිරිපත් කරන බව කීවත්, බැසිල් රාජපක්ෂ මහතාගේ නාමයෝජනා ක්‍රියාවලියේදී ඒ අවස්ථාව අහිමි වුණා.

ඉදිරිපත් වූ අය අතරිනුත් අට දෙනෙකු විතරයි පාර්ලිනේතුවට ගියේ. ඒ අය අතරිනුත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු නික්ම ගිය පසු, හිස්තැනට වියත්මග සංවිධානයේ කෙනෙකු පත් කරන ලෙස බලපෑමක් නැහැ.