රාජකාරි ප්‍රකාශ ගැන දප්පුලගෙන් ප්‍රශ්ණ කරන්න බැහැ

සිය ධුරය දරමින් සිටියදි රාජකාරිමය කටයුත්තක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව චූදිතයෙකු ලෙස කැඳවා නිතීපතිවරයෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමේ නීතිමය බලයක් පොලිසියට හෝ වෙනත් විමර්ශන අංශයකට නැති බව ජේෂ්ඨ නීතිඥ ගාමිණි පෙරේරා මහතා දිවයින පුවත්පතට පවසා ඇත..

රාජකාරිමය නොවන කටයුත්තක් සම්බන්ධයෙන් නීතිපති ධුරය දරන සමයේ හෝ යම් ප‍්‍රකාශයක් කර ඇත්නම් ජනතාව තුළ පවතින යම් සැකසංකා දුරුකර ගැනීම සඳහා හෝ ඉදිරි විමර්ශනවලට උපයෝගි කර ගැනීමට කරුණු පැහැදිලි කර ගැනීමට කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක බාධාවක් නොමැති බවත් ඒ මහතා පවසා ඇත..

හිටපු නීතිපතිවරයා එම ප‍්‍රකාශ කර ඇත්තේ නිල වශයෙන් නොව පෞද්ගලික මට්ටමින් වන බව පෙනීයන බවත් එය කර ඇත්තේ ඔහු විශ‍්‍රාම යෑමට දින කිහිපයකට පෙර බවත් පෙනී යන්නේ යැයි ද ඔහු කීය.

රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව නිල කාලය අතරතුර කළ හෝ නොකළ කි‍්‍රයාවකට එරෙහිව නීතිමය පියවර ගැනීම වැළැක්විය හැකි වන මුක්තිය හිමිව ඇත්තේ ජනාධිපතිවරයකුට පමණකැයි ද එහෙත් අපරාධ චෝදනා එල්ල වූ විට නිසි විමර්ශන පවත්වා රටේ ජනාධිපතිවරයාට එරෙහිව වුව ද නීතිමය පියවර ගැනීමේ බලය ව්‍යවස්ථාව මගින් හිමිකර ඇති බව ද ඔහු පවසා ඇත.

 රජයේ ප‍්‍රධාන නීති උපදේශකවරයා ලෙස කටයුතු කළත් විශ‍්‍රාම ගිය පසු නීතිපතිවරයා ද රටේ සෙසු ජනතාව හා සමාන වන්නේ යැයි ද ගාමිණී පෙරේරා මහතා කීවේය.