කබ්රාල්ට එකක් වෙනුවට පෙන්ෂන් දෙකක්ලු! බදු මුදල් හූරාකන තීන්දුව මෙන්න!

මහ බැංකු අධිපතිකම බාරගැනීමට බලාපොරොත්තුවන දේශපාලනඥයා වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාට මීට කලින් අවුරුදු අටක් මහබැංකු අධිපතිකමේ සිටීමට අදාලව ඇරියස් එක්ක පෙන්ෂන් ගෙවන්නත්, මේ ධුර කාලය ඉවර වුණාම දැන් ලැබෙන වඩා වැඩි පඩියට සාපේක්ෂව තව පෙන්ෂන් එකක් ලැබෙන්නත් සුදුසුකම් ලැබෙන විදියේ තීන්දුවක් අරන්ලු.

සරල බසින් කීවොත් එයාලා මැරෙනතුරු අවුරුදු ගණන් මිනිසුන්ගේ කිරි පැකට් එකට, කරවල දෙසිය පණහට ගහන බදුවලින් හූරාකාගෙන මැරෙනතුරු ඉන්න ක්‍රමවේදයකට තීන්දුවක් අරන්.

සන්ඩේ ටයිම්ස් පත්තරේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනී නාමිනී විජේදාස වාර්තා කරලා.

මේ කියන තීන්දුව අරන් තියෙන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය බව ඇය වාර්තා කරලා තියෙනවා.

ඒ කියන්නේ කබ්රාල් මහත්තයාගේ කලින් ධුර කාලයට අදාලව, එදා ලැබුණ පඩියේ හැටියට පෙන්ෂන් එකක් හැදෙනවාලු. ඊට අමතරව මුදල් මණ්ඩලයේ යෝජනාව ප්‍රකාරව, දැන් ධුර කාලයට හිමි වඩාත් අධික පඩිය මත, ඒ ධුර කාලය ඉවර වුණාම තව පෙන්ෂන් එකක් හැදෙනවාලු.

මීට කලින් කබ්රාල් මහතා, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ඇතුළු හිටපු අධිපතිවරුන් කිහිපදෙනෙක්ට පෙන්ෂන් ලබාදීම සඳහා යෝජනාවක් සම්මත වූ බව හෙළිදරව් කළේත් සන්ඩේ ටයිම්ස් පත්තරය තමයි. ඒකෙන් පස්සේ කතාව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට කබ්රාල් මහතා කළේ තමන් ‘හිටපු මහබැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැන විමසීම් නොකළ’ බව. ඒ වෙනුවට කබ්රාල් මහතාගේ පැත්තෙන් දාපු ප්‍රකාශයේ තිබුණේ 2006 ඉඳන් 2015 ජනවාරි දක්වා හිටපු කබ්රාල් මහතාට පෙන්ෂන් එකකට අයිතියක් තියෙන බවත්, ඒත් අවුරුදු 4ක් යනතුරු පෙන්ෂන් නොලැබුණු බවත්. ඒ නිසා පෙන්ෂන් එක ගැන විමසලා මහ බැංකුවට ලියුමක් යවපු බව ඒකේ තිබුණා.

මුදල් මණ්ඩලය මෙවැනි යෝජනාවක් සම්මත කරගත් බවට වන ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප වුණේ නැහැ.

සාමාන්‍යයෙන් වෙනත් රාජ්‍ය සේවකයන් එම සේවයේ වසර 10ක් සිටියාට පස්සේ තමයි විශ්‍රාම වැටුපකට සුදුසුකම් ලබන්නේ. ඒත්, දැන් අලුත් තීන්දුවේ හැටියට ධුර කාලය අදාල නැහැ. කොච්චර කාලයක් හිටියත් විශ්‍රාම වැටුප ලැබෙනවා.

මේක කොච්චර අසාධාරණද කිව්වොත්, ලංකාවේ අසාධාරණම විශ්‍රාම වැටුප් ආකෘතියක් වන මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපට උරුමකම් කියන්න පවා අවුරුදු හතරහමාරක කාලසීමාවක් තියෙනවා. අවුරුද්දක් හෝ දෙකක් හිටපු පළියට ඒ විශ්‍රාම වැටුපට මන්ත්‍රීවරයෙක් සුදුසුකම් ලබන්නේ නැහැ.

පොදුවේ ගත්තාම රාජ්‍ය සේවයේ වියපත් වෙලා විශ්‍රාම යන අය වෙනුවට මේ වගේ අය පෙන්ෂන් ඉල්ලන එකේම දෝෂයක් තියෙනවා. ඔය විදියට ආණ්ඩුවේ ලොකු පුටුවක ඉඳගත්ත ගමන් පෙන්ෂන් ලැබෙන සිරිතක් රාජ්‍ය සේවයේ තියෙන්න බැහැ. දැන් සමහර තනතුරුවලට පිටින් ගෙනත් දේශපාලන පත්වීම් විදියට පුද්ගලයන් ඉන්දවනවානේ. ලංකාවේ බොහෝ ආයතනවල එහෙම වෙනවා. ඒ මදිවාට එක ආණ්ඩුවක කාලසීමාව ඇතුළේ වුණත් ඔය ප්‍රධානීන් පාලකයන්ගෙ හිතුමතේට මාරු කරනවා. ආණ්ඩු මාරු වෙද්දීත් ඔය ආයතන ප්‍රධානීන් මාරු වෙනවා.

කබ්රාල් මහතාත් ඒ විදියට එළියෙන් ඇවිත් දේශපාලන පත්වීම් ලැබූවෙක්.

ඒ අයට ධුරයේ ඉන්න කාලසීමාව ඇතුළේ ‘වැඩ කරන්න’ පහසුකම් ආදිය ලැබෙන එක සාධාරණයි කියමු. මහ බැංකු අධිපතිට නම් මහා මන්දිරයක් ඇතුළු පහසුකම් විශාල ප්‍රමාණයක් හිමියි.

මහබැංකු අධිපති වෙන කෙනා මහබැංකුව ඇතුළේම ඉඳන් උසස්වීම් ලබා ආ කෙනෙක් නම් ඒ කෙනාට කොහොමත් විශ්‍රාම ක්‍රමවේදයක් තියෙනවා.

ඒත්, පිටින් ඇවිත් පුටුවේ ඉඳගන්න ආයතන ප්‍රධානීන්ට අවුරුදු කිහිපයක් විතරක් ඉඳලා පෙන්ෂන් හිමිවුණොත් කොහොමට හිටීද?

මතක තියාගන්න පෙන්ෂන් කියන්නේ මනුස්සයෙක් මරණය දක්වා යනතුරු අවුරුදු 20ක්, 30ක් හෝ 50ක් යනතුරු රාජ්‍ය අයවැයට වැය බරක් වීම. ඔය ආයතන ප්‍රධානී තනතුරකට අවුරුදු 35ක 40ක කෙනෙක් පත් වී අවුරුද්දක් දෙකක් හිටියොත්, අවුරුදු 38 දී රැකියාවෙන් ඉවත් වෙලා ඒ මනුස්සයා අවුරුදු 90ක් දක්වා ජීවත් වුණොත් කොපමණ පඩියක් ගෙවන්න වේවිද‍?

අවුරුදු ගණනේ සීමාව පසෙකින් තැබුවත් මහ බැංකුවේ විශ්‍රාම වැටුප් ක්‍රමවේද අනුව 1998 අවුරුද්දෙන් පස්සේ බැඳුණ අයට විශ්‍රාම වැටුප් අයිතියක් නැහැලු. කබ්රාල් මහතා බැඳුණේ 2006 දී. පහුගිය කාලයක් තිස්සේ මහ බැංකුවේ සේවයේ ඉන්න අනෙක් අය ඉල්ලීම් කරනවාලු 1998 අවුරුද්දෙන් පස්සේ අයට විශ්‍රාම වැටුප් හදන්න කියලා. කබ්රාල් මහතා මහබැංකු අධිපති කාලේ ඔය ඉල්ලීම් ආවත්, ඒවා ගණං ගත්තේ නැහැලු. ඒ අනුව ඔහු විශ්‍රාම යනතුරුම විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදලා නැහැ.

ඔහු ගියාට පස්සේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයාව සිටි සමයේ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදලා තිබුණත්, ඒ ක්‍රමය අනුව විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබෙන්නේ අවුරුදු 10කට වැඩි සේවයේ හිටපු අයලු.

ඒ වගේම 01/2016 චක්‍රලේකයේ තියෙන රාමුව අනුව කබ්රාල් මහතාට මෙන්ම ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාට වාහන බලපත්‍රයකට උරුමකම් ලැබෙන්නේත් නැහැලු. අවුරුදු 12ක සේවයක් ඇති, ජ්‍යෙෂ්ඨ මට්ටම ලෙස සම්මත වූ අයටලු වාහන හිමිකම ලැබෙන්නේ.

මීට අමතරව මහ බැංකු අධිපතිවරුන් තමන්ගේම වැටුප්, විශ්‍රාම වැටුප් හෝ පහසුකම් වෙනුවෙන් තීන්දු නොගැනීමේ සම්ප්‍රදායකුත් තිබුණේ තමන්ගේ හැන්දෙන් තමන්ට බෙදාගැනීම ආචාරධාර්මිකව සුදුසු දෙයක් නොවන නිසා.