ආනයන සීමා නිසා බඩු මිල ඉහළ ගිය තරම!

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවන ලද නව සීමා හේතුවෙන් එම භාණ්ඩ වල මිල අවම වශයෙන් 40% කින් වත් ඉහළ යනු ඇතැයි ආනයනකරුවෝ කියා තියෙනවා.

මෙතෙක් ණයවර ලිපි මගින් භාණ්ඩ ආනයනය කර අලවියෙන් පසු මුදල් ගෙවීම සිදු කළ ද නව තත්ත්ව යටතේ නිසි වෙලාවට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් සැපයුම්කරුවන් භාණ්ඩ සැපයුමද නො කරමින් සිටින බවද ඔවුන් පෙන්වා දීලා.

මේ කතා කරන්නේ හුදෙක් යට ඇඳුම් ගැන නෙවෙයි. ජංගම දූරකථන ඇතුළු අපි පාවිච්චි කරන ගොඩක් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල තමයි මේ විදියට ඉහළ ගිහින් තිනේනේ.

ඇත්තටම ආනයන කරන ව්‍යාපාරිකයන්ට සීයට සීයක් මුදල් තැන්පත් කරලා ආයනයනවලට මුදල් ගෙවන්න වත්කමක් නැහැ. එහෙම අය ඉන්නේ ඉතාම සුළු පිරිසක්. එතකොට ලංකාවේ ඉන්න ආනයනකරුවන්, ඒවා මත යැපෙන අය, සරල බසින් කීවොත් පොඩි ෆෝන් කඩයක් ඇරපු අය පවා අමාරුවේ වැටෙනවා.

සමහරුන්ට මේක ජංගි සහ ජොක්කු අඳින්න නොහැකි වීම ගැන ජෝක් එකක් වුණාට, ඇත්තටම මේක බරපතල ප්‍රශ්නයක්. මේ ආනයනවලට කෙළවෙන භාණ්ඩ අතර ගොඩක් අය යෙදවුම්වලට පාවිච්චි කරන බඩුත් තියෙනවා. ඒ කියන්නෙ ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයේ යෙදෙන මිනිස්සු ඔය භාණ්ඩ පාවිච්චි කරනවා. සරල උදාහරණයක් කිව්වොත් කොණ්ඩය කපන මැෂින් පවා ‘අත්‍යාවශ්‍ය නැහැ’ කියලා ඔය සීමාවට අහු වෙලා. ඉතින්. බාබර් සාප්පුව කරන මනුස්සයාට මැෂිමක් කැඩුණොත් අමාුවේ වැටෙන්න වේවි.

තවත් සරල උදාහරණයක් වන්නේ අප වැනි වෙබ්, අන්තර්ජාල, පරිගණක නිර්මාණකරුවන්. අපි කීවේ අන්තර්ජාලයේ දේශපාලන අදහස් දක්වන්නන් විතරක් නෙවෙයි. දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළට වීඩියෝ, ග්‍රැෆික් ආදී නිර්මාණ කරන විශාල පිරිසක් ඉන්නවා. ෆ්‍රීලාන්ස් රැකියා කරන අය, අන්තර්ජාල ආදායම් උපයන අය ආදී වශයෙන්. එයාලාටත් මේ කාලයේ තමන්ගේ ආදායමත් එක්ක අලුත් උපකරණයක් ගන්න, ඒ මගින් තමන්ගේ නිෂ්පාදනය කරන්න හිතුණොත් ඒ හිතිවිල්ල ගලක් බැඳලා මුහුදට දාන්නයි වෙන්නෙ.

දැනටමත් ලක්ෂ දෙකහාරට තිබුණ ෆෝන් එකක් ලක්ෂ තුනහමාරක් වෙලා. තවදුරටත් සාමාන්‍ය දූරකථන දසදහස, විසිදහස ආදී වශයෙන් ඒ ඒ භාණ්ඩයේ වටිනාකමට සාපේක්ෂව මිල ඉහළ ගිහිල්ලා. වාහනවල මිල මිලියන ගණන්වලින් ඉහ ගියා වාගේ මේ සාමාන්‍ය දූරකථන මිලත් ඉහළ යයි. ඒ වගේ භාණ්ඩ මාර සැපපහසු භාණ්ඩ වේවි. ධනවතුන්ගේ භාණ්ඩ වේවි.