ආණ්ඩුව වහා අස්වෙන්න! ඡන්දයකට එන්න! – සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ ආණ්ඩුව වහා ඉල්ලා අස් වී ජනවරම විමසන ඡන්දයකට යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා තියෙනවා. මේ අර්බුදකාරී තත්වයෙන් ගොඩ ඒම සඳහා රට බාරගත යුත්තේ කවුරුන්දැයි ජනතාව තීන්දු කළ යුතු බව ඔහු එහිදී අවධාරණය කරලා තියෙනවා.

ඔහු කියා තිබුණ කතාව මෙහෙමයි.

‘ඉල්ලීමක් කරනවා. මේ රට බංකොළොත්භාවයට ඇද දමන්නේ නැතිව වහාම ඉල්ලා අස්වෙන්න. මේ රට පාලනය කිරීමේ වගකීම මේ රටේ ජනතාවට නැවතත් තීන්දු කරන්න අවස්ථාව ලබා දෙන්න. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා අදක්ෂ, නොහැකියාවෙන් පෙළෙන රජය ගෙදර යවලා වැඩක් කරන්න පුළුවන් ජනතාවගේ හදගැස්ම හඳුනන, මානුෂීය ගුණාංග තිබෙන රටට ශක්තිමත් මූල්‍ය පාලයක් ලබාදෙන්න පුළුවන්, ආර්ථික කළමණාකරණයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් රජයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. ජනතාව බඩගින්නේ. රටේ ජනතාව හාමතේ. ජනතාව දුක්ගින්නේ. තවදුරටත් බලාගෙන ඉන්න බැහැ. තවදුරටත් රටේ ජනතාව ඉවසන්නේ නැහැ.’

අර්බුදකාරී අවස්ථාවක එයින් ගොඩ එන විදිය ගැන ආණ්ඩුවට, විපක්ෂය සහ විකල්ප කණ්ඩායම්වලට විවිධ මතවාද තිබේ නම් ආණ්ඩුව ඉල්ලා අස් වී ඡන්දයකට යෑම ලෝකයේ සිදු වන දෙයක්. එයින් බලාපොරොත්තු වෙන්නේ අර්බුදයෙන් ගොඩ එන විදිය ගැන ඒ ඒ කණ්ඩායම්වල අදහස් අතරින් හොඳම එක තෝරාගන්න ජනතාවට අවස්ථාව දීම.

ලංකාවේ එවැන්නක් සිදු වේයැයි කිසිසේත් අනුමාන කරන්න බැහැ. එහෙත් විපක්ෂ නායකවරයෙකු මෙසේ ඉල්ලීම ඉතා තීරණාත්මකයි. තවදුරටත් අර්බුදය ඉවසන්න බැරි බව කීම තීරණාත්මකයි.

එහෙත් විපක්ෂ නායකවරයෙකු වචන පාවිච්චි කළ යුත්තේ ප්‍රවේශමෙන්. මෙවැනි ප්‍රකාශයක් ඓතිහාසික වන නිසාම ඒක කරන්න ඕනෑ වඩාත් තීරණාත්මක ස්වරයකින්. මෙවැනි දෙයක් යන එන අතරේ කියනවාට වඩා විශේෂ ප්‍රකාශයක් කරමින් කීවොත් තමා ප්‍රබල.

එහෙත්, ඔහු මේ බව කියා තිබුණේ ‘විපක්ෂයෙන් හුස්මක්’ නම් වැඩසටහනක් අතරතුරේදී. පුටුවකට බර වී කතාව කීවා මිස, එහි තීරණාත්මක ස්වරයක් තිබුණේත් නැහැ. ප්‍රකාශයේ බරට ගැලපෙන ප්‍රසන්ටේෂන් එකක් තිබුණේත් නැහැ.

ඒ නිසා මේ කතාව ප්‍රසන්ටේෂන් එක පැත්තෙන් නම් තවත් ‘ගම් මට්ටමේ-බිම් මට්ටමේ’ කතාවක් වගෙයි පෙනුණේ.