රනිල් වික්‍රමසිංහගේ හොරකම!

අපි නිකමට කල්පනා කළා, මේ ආණ්ඩුවට හැමෝම කඩේ යන කාලෙ අපි මේ යූටියුබ් එකේ ඉඳන් ආණ්ඩුවේ සහ එයාලා නියෝජනය කරන අදහස්වල අඩුපාඩු පෙන්නුවා. දැන් යූටියුබ් එකේම ඉන්න දේශපාලන විචාරකයන් කියනවා ගෝඨාභය විශ්වාස කරලා ඡන්දය දුන්නා, ඒත් ඒ ගැන දුක්වෙනවා කියලා.

ඒත්, අපි ගෝඨාභය රාජපක්ෂ මහතා එන්න කලින්ම බැණපු කමෙන්ට්, අන්ලයික් මැද අනතුර පෙන්නුවා. ඒත් අද තත්වය වෙනස්.

අද ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විවේචනය කරන්න අය ඕනෑ තරම්. ඉතින්, සමහරවි අපේ අය කලින් කරපු වැරැද්දම ආයෙත් කරන්න පුළුවන්. අවුරුදු හැත්තෑපහකට වැඩි කාලයක් තිස්සේ කරපු වැරැද්ද ආයෙමත් කරන්න පුළුවන්. ඒ මේ ආණ්ඩුව එක්ක තරහට ඔහේ ගිහින් අනෙක් පැත්තට ඡන්දය ගහන එක.

මේ වෙලාවේ රටට අලුත් පාරක් ඕනෑ. තරුණයන් මළවිකාර අදහස් නැතිව, නවීන අදහස් එක්ක ලෝකය ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ආගම්වලට යටවෙච්ච රාජ්‍යයක් වෙනුවට නූතන ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපට ඕන ඒවා අපිම හදනවා කියාගෙන යටඅඳුම් මහන, කිරිදොවන, පිටරටින් ගෙනාපු කෑලි එකලස් කරන තුන්වැනි ලෝකෙ කාර්මික රටක් වෙනුවට නවීන රැකියා වෙළඳපළක් ඉල්ලන රටක් හොයනවා. ඒත් මේ එක පක්ෂෙක නායකයෙක්ටවත් කොන්දක් නෑ නූතන, නවීන රටකට ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්. මළවිකාරවලට මළවිකාර කියල කියන්න. ඒ වෙනුවට බොරු බයිලා ගහමින් අවස්ථාවාදී ගේම් ගහන්න තමයි හැමෝම බලන්නෙ.

මේක ලස්සන කතාවක්. ලස්සනයි කිව්වේ මේ කතාව එක විදියක ලංකාවේ ඛේදවාචකය පෙන්වන දෙයක්.

පහුගිය සතියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පාරේ යනකොට පෝස්ටර් එකක් දැක්කලු.

මේක යූඇන්පීය ගහපු එකක්. රනිල් වික්‍රමසිංහගෙ ලොකු ෆොටෝ එකක් එක්ක හැත්තෑපහ අංකය තමයි මේ පෝස්ටර් එකේ ලොකුවට පේන්න තිබුණේ. මේ පෝස්ටර් එක දැක්කම ජනාධිපතිතුමා හිතල තියෙන්නේ මේක රනිල් වික්‍රමසිංහ මහතාගේ හැත්තෑපස්වෙනි උපන්දිනේට ගහපු එකක් කියලාලු.

මේකෙ පොඩියට තිබිලා 75 වැනි සංවත්සරය සැප්තැම්බර් 6 වැනිදා, සත්‍ය දකින, සත්‍ය කියන එක්සත් ජාතික පක්ෂය කියලා. ඒත් ඕක නෙවෙයි, පාරෙ යන එන ගමන් බලන කෙනෙකුට පේන්න තිබුණේ රනිල්ගේ ෆොටෝ එකයි, හැත්තෑපහයිලු. ඒ නිසා ජනාධිපතිතුමාගෙ අනුමානය සාධාරණයි.

ඒත් අනෙක් පැත්තෙන් ලංකාවේ ජනාධිපති විදියට ප්‍රධාන දේශපාලනඥයන්ගෙ වයස අනුමාන වශයෙන්වත් දන්නෙ නැති එක පොඩි අවුලක්. ඒත්, ඒ අවුලට වඩා මේ කතාවේ ඇත්තම අවුල තමයි යූඇන්පීයේ හැත්තෑපස්වෙනි සංවත්සරේට අවුරුදු හැත්තෑපහක පෙනුම තියෙන රනිල් වික්‍රමසිංහගෙ ෆොටෝ එකක් ගහලා තිබුණ එක.

මේ පෝස්ටර් එක ගහලා ජනාධිපතිතුමා අයියට කෝල් කළාලු. මහින්ද රාජපක්ෂට.

‘රනිල් වික්‍රමසිංහගේ ෆොටෝ එක දාලා පෝස්ටරයක් ගහලා තියෙනවා. 75 ගහලත් තියෙනවා. උපන්දිනේවත්ද දන්නෑ’ කියලා ජනාධිපතිතුමා කිව්වලු.

ඒකට උත්තර විදියට අගමැතිතුමා කිව්වලු, ‘නෑ නෑ උපන්දිනේ වෙන්න බැහැ. මොකද රනිල්ට තාම 75ක් වෙලා නැහැ. මං නිකන් කතා කරලා බලන්නම්’ කියලා.

කොහොමහරි ඔය විදියට යූඇන්පී සංවත්සරය තිබුණේ සූම් එකෙන්. ඒක ලයිව් දුන්නා. නොබලපු අයට කියන්නේ, මහලොකු දෙයක් නෑ. පිරිතක් තිබුණා. පාලිත රංගේ බණ්ඩාර කතා කළා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ කතා කළා. ප්‍රසන්ටේෂන් තිබුණා. ඒකෙ ලොකුවට පෙන්වන්න හැදුවේ යූඇන්පීය තමයි ලංකාවේ යුධ හමුදාව හැදුවේ. අහවල් රෙජිමේන්තු දාලා. යූඇන්පීය තමයි බෞද්ධාගමට සේවයක් කළේ වගේ කතන්දර. මේවා බැලුවාම අපට හිතුණේ! හ්ම්! වජිර අබේවර්ධන ඩිසයින් කියල තමයි.

හිරු එකේ හරි සිරසෙ හරි රියැලිටි ප්‍රසංගෙක වගේ එල්ඊඩී තිරවලින් පිරිච්ච වෛවර්ණ ස්ටේජ් එකක් නං ගහල තිබුණා.

ඇත්තටම යූඇන්පීයට අවුරුදු හැත්තෑපහ පිරෙන්නේ සැප්තැම්බර් 6. ඒත්, උත්සවේ තිබුණේ සැප්තැම්බර් 5. මාධ්‍ය වාර්තා කරලා තියෙන විදියට සංවත්සරේට පස්සේ දවසේ ‘රනිල් වික්‍රමසිංහයි-වජිර අබේවර්ධනයි’ පක්ෂයෙ අනාගතය ගැන සාකච්ඡාවක් කළාලු. පක්ෂයේ ඉදිරියට ගැන කතා කළාලු. එයාලාගේ උත්සාහය තවමත් පරණ ප්‍රශ්නෙකට උත්තර දිදී, රනිල් වික්‍රමසිංහගේම නායකත්වයෙන් ඉස්සරහට යන්න.

මේ වජිර අබේවර්ධන එක්ක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්නේ ලැජ්ජාවක් ඇතිවද? මිස්ටර් ක්ලීන් කියාගෙන දූෂිතයො රකින්න ගේම් ගහපු වජිරට ළං වෙන්නෙ කොහොමද? ඇවන්ගාඩ් කේස් එකේදී නිශ්ශංක සේනාධිපතිගේ උගුලට දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කියන ගෞරවණීය නිලධාරිනිය කොටු කළේ වජිර අබේවර්ධන මහතා. කෝ ඒවාට විනය පරීක්ෂණ? නැත්නම් එදා දිල්රුක්ෂි වික්‍රමසිංහ මැතිණිය කොටු කරපු කේස් එක පිටිපස්සේ රනිල් වික්‍රමසිංහලාත් හිටියාද?

මේ ලංකාවේ අද තියෙන තත්වයට වගකියන්න ඕනෑ අංක එකේ පිරිසක් තමයි යූඇන්පීය. අවුරුදු හැත්තෑපහක් තිස්සේ. විශේෂයෙන් පහුගිය අවුරුදු පහක් තිස්සේ. 2020 මහමැතිවරණයේදී එක ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් විතරක් ලැබෙන තැනට මිනිසුන්ට එපා වෙන පක්ෂයක් වුණා යූඇන්පීය. එච්චර වැටුණට පස්සේ පක්ෂ නායකයා අයින් වෙනවා කිව්වා. පාක්ෂිකයො විවිධ අයගේ නම් කිව්වා. අර්ජුණ රණතුංග, නවීන් දිසානායක ආදී.

ඒත් ඒ ඔක්කොම කැපුවා. ඒ මිනිස්සු පක්ෂෙන් යන තැනට පත් වුණා. අකිල විරාජ් කාරියවසම් කොච්චර අඩුපාඩු සහිත වුණත් හොඳ හිතක් තියෙන නායකයෙක් බව අපට පේන්න තිබුණා. යම් දුරකට. අකිලත් කැපුවා. ඊට පස්සේ රුවන් විජේවර්ධනට නියෝජ්‍ය නායකකම දුන්නා. රුවන් මහපොළොවෙ දේශපාලනය දන්න කෙනෙක් නෙවෙයි. ලංකාදීපයෙ වැඩකරන අය කියන විදියටම විජේවර්ධන පවුලේ බේබි හාමු කෙනෙක්.

ඒත්, රුවන් විජේවර්ධන මහතා මුණගැහුණම අපට හිතුණේ! ඔහුගෙ අතට නායකත්වය දුන්නත් මේ තියෙන තත්වෙන් යම් දියුණුවක් වෙන්න පුළුවන් කියල. ඒත්, ඒ කිසිවක් වුණේ නෑ. 2021 ජනවාරි නායකකම අත්හරිනවා කියලා පොරොන්දු වුණා. ඒත් ජනවාරි වුණාම මාස හයකින් නායකකම අත්හරිනවා කිව්වා. දැන් මාස නවයක් ගිහින්. පක්ෂෙ සංවත්සරේට පෝස්ටර් ගහනව රනිල්ගෙ දැවැන්ත ෆොටෝ එකක් එක්ක.

මේක අවුරුදු හැත්තෑපහක් තිස්සේ හොඳින් හරි නරකින් හරි යූඇන්පී කියාගෙන ඔය මගුල වෙනුවෙන් දාඩිය හලපු මිනිස්සුන්ව අවභාවිත කිරීමක්. ඇත්තටම කිව්වොත් මහා හොරකමක්. රනිල් වික්‍රමසිංහ හොරෙක් නෙවෙයි කිව්වාට අපි නං කියන්නෙ හොරෙක්.

එතුමා ලංකාවේ වැඩිම දේපළ තියෙන, දැවැන්ත දේපළක් තමන්ගෙ නමට අවභාවිත කළා. හොරකම් කළා. තවමත් ඒ හොරකම කරමින් ඉන්නේ.

පක්ෂයෙ අනාගතය ගැන පහුගිය අඟහරුවාදා සූම් එකෙන් මීටිමකුත් තිබුණලු. යූඇන්පී සංවත්සරේ නිමිති කරං සූම් එකෙන් සම්මන්ත්‍රණ 75ක ප්‍රෝග්‍රෑම් එකක් කරනවලු. ඔන්ලයින් සාමාජිකයො බඳවගන්නවලු. කවුද බං ඔය පක්ෂෙට බැඳෙන්නේ?

ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ අලුත්ම වැඩපිළිවෙල කිව්වලු. ‘ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයක් ආරම්භ කරන්න ඕනෑ. මොකද මගේ කතාවේදී මම කිව්වා යකඩ ප්‍රතිපත්තියක් හදනවා කියලා. ඒ වෙනස් නොවන යකඩ ප්‍රතිපත්තිය හදන්න අපට හැම කෙනාගේම අදහස් ඕන වෙනවා. රටට ගැලපෙන ජාතික ප්‍රතිපත්තියකට යන්න නම් හැමෝගේම අදහස් අරගෙන පුළුල් ප්‍රතිපත්තියක් හදන්න ඒනෑ. ඒ සකස් කළ ප්‍රතිපත්තිය ඊට පස්සේ සමාජ කතාවකට යොමු කරන්න පුළුවන්. මේ සියල්ල අපට කරන්න වෙන්නේ ඔන්ලයින් ක්‍රමයට. ඒ වෙනුවෙන් ක්‍රමවේදයක් හදන්න.’

සමගි ජන බලවේගයේ කට්ටිය මේ ගැන කතා කරලා තිබුණා. එතැනදී මතක් කරලා තිබුණේ හරීන් ප්‍රනාන්දු දාලා තිබුණ පෝස්ට් එකක්. ‘එජාපය හැත්තෑපහට දැවී යයි’ කියලා.

ඔය අස්සේ සමගි ජන බලවේගයයි, යූඇන්පීයයි තාම සංවිධානවලට, මන්ත්‍රීකම්වලට වළි. තාම මේ දෙක වෙන් වෙලා නැහැ. සමහර වෘත්තිය සමිතිවල බලය සජබට වැඩියි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම් සජබ අයගෙන් ගලවලා යූඇන්පීයට දෙන ව්‍යාපෘතියකුත් යනවානේ.

ඔහොම වැඩකදී රංජිත් මද්දුමබණ්ඩාර මහත්තයා කියලා තිබුණා. ‘ඔය ගාල්ලේ හිටප අය රාජපක්ෂලා එක්ක දාපු ඩීල් නිසා මොන යටිකූට්ටු වැඩක් කරයිද දන්නේ නෑ. ඒ නිසා නීතිය ගැන විශ්වාස කරලා, අධිකරණය ගැන විශ්වාස කරලා කටයුතු කරමු.’ කියලා.

මේ වජිරලා එක්ක යූඇන්පීය කරන්නේ පරණ ප්‍රශ්නයකට උත්තර හොයන එක. ලංකාවේ සිංහල බෞද්ධයෝ, යූඇන්පීයටයි රනිල්ටයි සිංහල බෞද්ධ විරෝධීයි කියලා ඡන්දය නොදී ඉඳීවිද? ඔන්න ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න තමයි මේ අය දඟලන්නේ.

වජිර දැං හැසිරෙන්නේ තමන් තරං සිංහල බෞද්ධයෙක් නෑ වගේ.

යූඇන්පී සංවත්සරයේදීත්, ‘එක්සත් ජාතික පක්ෂය’ කියන ලංකාවේ ජාතීන් සියල්ල නියෝජනය කරන සංකේතාත්මක වටිනාකම අමතක කරලා පිරිත් කිව්වා. රත්මලාන පරමධම්මචේතිය විහාරයේ තිබුණ පිරිත සංවිධානය කරලා තිබුණේත් වජිර අබේවර්ධන.

මේකට යූඇන්පීයේ නායකයන් ටික ඇවිත් හිටියා. මාඉටිපේ විමලසාර කියන හාමුදුරුවන් වජිර ගැන වර්ණනාවකුත් කළාලු.

‘වජිර ඇමතිතුමා මට අුත් කෙනෙක් නෙවෙයි. පාසල් යන කාලෙ ඉඳන්ම අඳුනනවා. ඔහුගේ පවුල වෙහෙර විහාරස්ථානවල වැඩකටයුතුවලට නිතරම උදව් උපකාර කරනවා. බුද්ධාගම පෝෂණයට එදා ඉඳන් වැඩ කළා.’ කියාගෙන රනිල්ට වර්ණනාවක් කළාලු.

යූඇන්පී සංවත්සරේ එක්ක වජිර අබේවර්ධන ගාල්ලේ යූඇන්පී කට්ටිය එක්ක තිබ්බ සූම් මීටිමක් ගැන කතාවකුත් ඔය ලයින් එක පෙන්වනවා.

‘මේ පක්ෂය අධිරාජ්‍ය ගැති පක්ෂයක් වෛයි. සියලු ජාතීන්ගේ එකමුතුවෙන් බෞද්ධ පදනමකින් ගොඩනැගුණු පක්ෂයක්.’ ඔහොම කියාගෙන නිදහස් සටනකුයි, යූඇන්පීයේ මුල්ම නායකයා විදියට ඩීඑස්ව නම් කළේ ධර්මපාලතුමාගේ සහෝදරයාගේ ගෙදර වන ෆාම්කෝට් මන්දිරයේදී බවයි, එතැන ඉඳන් යූඇන්පී නායකයන් බුද්ධාගම පෝෂණය කරපු කතාවයි, රනිල්ලාගේ පවුල කැලණි පන්සල හදපු එකයි, රනිල් විහාරස්ථානවලට ලොකු මෙහෙයක් කරපු බවයි, රනිල් තරම් බුද්ධාගමට කරපු කෙනෙක් නැති බවයි ආදී කතා.

ඉතින් මේ පරණ දේශපාලනේ කොරමින් යූඇන්පීයට අනාගතයක් තියේවිද? හැබෑ ප්‍රශ්නය ඒකයි.