දෙවේල කාලා කැපකිරීම් කරන්න! යටඇඳුම් මහගන්න බැරිද? පොහොට්ටුවෙන් විශේෂ ඉල්ලීමක්

ආණ්ඩුවේ දැඩි බැසිල් හිතවාදී මන්ත්‍රීවරයෙකු ලෙස සලකන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර දෙවේල කාලා කැපකිරීම් කරන්නැයි මිනිසුන්ගෙන් ඉල්ලුවා.

ඒත් ඒ පෞද්ගලික ප්‍රකාශයක් විදියට නෙවෙයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී පක්ෂ බැනරය පසුපස තබාගෙනයි ඉල්ලීම කළේ. ඒ අනුව එය පොහොට්ටුවේ ඉල්ලීමක්.

එයාලාත් ලොකු කැපකිරීම් කළාලු. ඉතින්, අපටත් කරන්නලු. ඒ වගේම යටඇඳුම් ලංකාවේ මහගන්න බැරිද කියලාත් ඔහු අහලා තියෙනවා.

මේ වගේ අදහස් පළ කළේ පහුගිය කාලයේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ධුරයට පත්වෙද්දී ඉහළින් සැමරීම් කළ පුද්ගලයෙක් වීම විශේෂයි. ඒ වගේම මීට කලින් උදය ගම්මන්පිළ ඇමතිවරයාට තෙල් මිල වැඩි වීම සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙන්න කීවේත් ඒ පොදුජන පෙරමුණමයි.

මීට කලින් ආණ්ඩුව සමයේ මිල වැඩි වෙද්දී කිසිවක් කරන්න බැරි නම් ආණ්ඩුවක් මොකටද කියා ඇසුවේත් ඔවුන්මයි.

ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මේ.

‘ගොඩක් අය අපහසුතාවයට පත් වෙලා ඇති. ඒ ගැන අපි කණගාටුවෙනවා. මේ වෙලාවේ රුපියල් දෙදාහකින් ජීවත්වෙන්න බැහැනේ.

ආණ්ඩුවට පුළුවන්කම තිබුණා නම් දෙදාහ නෙවෙයි විසිදාහක් වුණත් දෙනවා. හැබැයි දෙන්න පුළුවන්කමක් නෑ මේ වෙලාවේ.

ඒ නිසා හැමෝම කැපකිරීම් කරන්න ඕනෑ. අපිත් අපේ මාසික පඩියක් දුන්නා කොවිඩ් අරමුදලට. ඒ දීලා අපිත් පරිත්‍යාග කළා.

ඒ වගේම මේ වෙලාවේ හැමෝම, තුන්වේලක් කෑවනම් සමහරවිට දෙවේලක් කාලා ජීවත්වෙන්න වේවි දවස් කිහිපයක් තව.’

ඔය විදියට ඒ ප්‍රකාශයේදී ලැජ්ජා නැතිව මිනිසුන් වේලක් හාමතේ ඉඳීමයි, මාසෙක පඩිය දුන්න එකයි සංසන්දනය කළා.

‘එහෙම ජීත්වෙන ගමන් අපි රැල්ල මර්දනය කරගන්න කටයුතු කළොත් අද කරන කැපකරීම අද තුන්වේල නොකා එක වේල දෙවේලට වැටෙන එක ඉදිරි කාලෙ ඔබේ දූදරුවන් වෙනුවෙන් හේතු වේවි. ඉදිරි පිම්මකට යන්න පුළුවන්කම ලැබෙයි.

රටක ආදායම නැතිවුණාම ආණ්ඩුවක් කියලා කරන්න දෙයක් නැති තත්වයකට පත් වෙලා තියෙනවා.

ජනතාවට කණගාටුව ප්‍රකාශ කරනවා පත්වෙලා තියෙන තත්වය පිලිබඳ ජනතාව බලාපොරොත්තු වෙච්ච සියල්ල මේ අවස්ථාවේ කරන්න බැරි වෙලා තියෙනවා. ඒ ගැන අපට කණගාටුයි.’

ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදියට තමන්ගේ අසමත්කම පිළිඅරන්, කණගාටුව ප්‍රකාශ කිරීම එක් අතකින් විශේෂයි.

‘හැබැයි අපි හිතනවා අපි හැමෝම එකතුවෙලා මේ කැපකිරීම තුළ අපට පුළුවන් වෙයි ඉස්සරහට යන්න. පසුගිය මාස කිහිපයේ විතරක් ඩොලර් මිලියන 753.4ක් වියදම් කරලා බඩු ගෙනල්ලා තියෙනවා.

අපි සියල්ල සම්පූර්ණ කරගත්තාට පස්සේ ඒ විදේශයෙන් ගේන ඒවා ගෙනාවට කමක් නෑ. හැබැයි දැන් තියෙන ආර්ථික අපහසුතාව නිසා අපට යම්කිසි ඉවසීමකින් ඉන්න සිද්ධවෙනවා. ඉදිරි දින කිහිපය තුළ අත්‍යවශ්‍ය නොවන සුලභව පාවිච්චි නොකරන සමහර දේවල්.

ඊයේ විපක්ෂය ගත්තේ මේ ඔක්කොගෙන්ම යට ඇඳුම විතරයි. විපක්ෂයට යට ඇඳුම අහන්න දෙයක් නෑ. යට ඇඳුම් ඕනෑත් නැහැනේ. පහුගිය කාලේ පාස්කු ප්‍රහාරය ඇතිවෙන්න දීලා, මහබැංකු මංකොල්ලකාලා ආරක්ෂාව, ආර්ථිකය බිංදුවට දාපු විපක්ෂය රෙදි නැතිව තමයි ගෙවල්වලට යැව්වේ.

මේ රටේ ජනතාවට යටඇඳුම් ඕනෑ. ඒ යටඇඳුම් පිටරටින් ඕනෑ නැහැ. අපි පිටරටට ඇඳුම් මහනවා.

යට ඇඳුම් මහගන්න බැරිද, තව මාස කිහිපයකට විතරයි.’