ජංගම දූරකථන, විශේෂයෙන් ස්මාට්ෆෝන් අපේ ශරීරයට අහිතකර බවට විවිධාකාර මිත්‍යා අදහස් පවා තියෙනවා. උදාහරණයක් විදියට දූරකථනය වයිබ්රේට් වීම ශරීරයට අහිතකර බව පෙන්වන්න ලොකු සාක්ෂි නෑ.
එහෙත්, එය ඔබේ මානසික සෞඛ්‍යයට වගේම මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වය එක්ක සෙල්ලං කරන්න ඉඩ තියෙනවා. කෙළින්ම ඔබ ඇබ්බැහියකට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඔබට දවසක් ස්මාට්ෆෝන් එක අල්ලන්නේත් නැතිව ඉන්න පුළුවන්ද?
දවසක් ඉඳීම කෙසේ වෙතත් ලැප්ටොප් පරිගණකයෙන් මේ සටහන ලියන මොහොතේත් මගේ එහා පැත්තේ ෆෝන් එක. වරින් වර ෆෝන් එක අතට ගැනෙනවා. අලුත් නෝටිෆිකේෂන් එකක්ද? මැසේජ් එකක්ද? නිව්ස් ඇලර්ට් එකක්ද? රට කැළඹෙන අලුත් සිද්ධියක්ද? දාපු පෝස්ට් එකකට කවුරුහරි සවුත්තු කමෙන්ට් එකක් දාලද? නැත්තං අපි ‘ගේම ඉල්ලලා’ දාපු කමෙන්ට් එකකට උත්තර ලැබිලාද? වැඩේට හිත යොදවන්නත් බැරි තරම් කැළඹිලා.
ඕක ඇබ්බැහියක්! අපි හැමෝම ඇබ්බැහි වෙලා. මේ කතාව ඒක පිටිපස්සේ විද්‍යාව ගැන.
මේ කතාවට පදනම් වූ කතා නායිකාව වන්නේ මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥවරියක් වන ආචාර්ය ඇනා ලෙම්බ්කේ. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඇය සේවය කරනවා. ඇය ද්විත්ව ඇබ්බැහියන් තියෙන පුද්ගලයන්ට දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර කරන කෙනෙක්.
විද්වත් චරිතයක් විදියට ඇගේ සෑහෙන දායකත්වයක් ලැබුණා මත්ද්‍රව්‍ය ඇබ්බැහියන් ගැන කතා කරද්දී. ඇය මීට කලින් ‘ඩ්‍රග් ඩීලර් එම්ඩී’ කියලා පොතකුත් ලියා තිබුණා. මේක තවත් එක් පොතක් නෙවෙයි, විශාල කතාබහකට මුල් වෙච්ච පොතක්. ඒ අනුව ඇගේ වැඩි විශේෂඥභාවය තියෙන්නේ ඇබ්බැහියන් ගැන.
ඇගේ අලුත් පොත තමයි ඩොපමේන් නේෂන් කියන්නේ. ඒ හරහා ඇය කියන්නේ අපි ස්මාට්ෆෝන් යුගයේ ඩොපමේන් ඇබ්බැහියකට හුරු වී සිටින බව. මේ පොත නම් කියවන එක ඉතා වටිනවා. ඔබ සෝෂල් ඩිලෙම්මා කියන නෙට්ෆ්ලික්ස් ඩොකියුමන්ට්‍රිය බලා තිබෙනවානම්, (ඒක බලන්නම ඕනෑ එකක්) ඒකේදී ඇය කතා කරනවා සෝෂල් මීඩියාවලට අපව ඇබ්බැහි කරගන්න විදිය ගැන.
අපි ස්මාට්ෆෝන් එක අතර ගෙන වරින්වර ඉන්ස්ට්‍රග්‍රෑම්, ෆේස්බුක්, ට්විටර් හෝ යූටියුබ් අඩවියේ උඩ පහළ යද්දී ක්‍රමක්‍රමයෙන් ඩොපමේන් අබ්බැහියකට අපි ලක් වෙන බව ඇගේ අනුමානය. මේ ගැන ගාඩියන් ආයතනය ඇනා ලෙම්බ්කේ සමග සාකච්ඡාවක් කර තිබුණා.
ඇය ස්මාට්ෆෝන් එකට ගියන්නේ නූතන එන්නත් කටුව කියලයි. ක්ෂණික අවධානය දිනාගන්නා දේවල්, අප වෙත අවදානය දිනාගැනීම, වටිනාකමක් ලබාගැනීම, අවධානය වෙනතක හරවාගැනීම ආදී බෝහෝ දේ බලාපොරොත්තු වෙනවා. හැම මොහොතකම උත්තේජනය අවුස්සන දෙයක් හොයනවා. ඔන්ලයින් ඔට්ටු දැමීමක් වෙන්න පුළුවන්, ටික්ටොක් වෙන්න පුළුවන්, ටින්ඩර් හරහා සහකාරයන් සෙවීමක් වෙන්න පුළුවන්, ඉන්ස්ටග්‍රෑම් එකේ අනුන්ගේ ඡායා නැරඹීම වෙන්න පුළුවන්, ඔන්ලයින් භාණ්ඩ මිලදී ගැනීමක් වෙන්නත් පුළුවන්, වැඩිහිටි වෙබ් අඩවි බැලීමත් වෙන්න පුළුවන්. ඒ හැම තැනකදීම අපි ඉල්ලන්නේ ‘අපිව උද්දාමයට පත් කරන්න’ කියලයි.
විශේෂඥවරිය කියන විදියට මේ තත්වය නිසා පුංචි පුංචි ඇබ්බැහිවීම් එක්ක තමන් වෙතට එන අය බොහොමයි.
අපි එන්න එන්නම ස්මාට්ෆෝන් එකෙන් සතුට සොයද්දී, දත්ත අනුව සමාජයන්හි සතුට අඩු වෙමින් තියෙනවාලු. ලෝකයේ ආතතිය පිළිබඳ ප්‍රතිශතය පහුගිය අවුරුදු 30ක් තිස්සේ ලෝකයේ සතුට පිළිබඳ වාර්තාව අනුව වැඩි වෙලාලු. විශේෂයෙන් වැඩි ආදායමක් තිබෙන අයත් වැඩි වැඩියෙන් නොසතුටින්ලු.

අපේ අදහස් එක්ක, හිතේ සිතිවිලි එක්ක යම් වෙලාවකට තනි වෙන්න අපට අමතක වෙලාලු. අපි හැම වෙලාවේම අපටම බාධා කරගන්නවාලු.
මේ උත්තේජනය සෙවීම අපේ සිතිවිලිවල විද්‍යාව පැත්තෙන් සලකද්දී තමයි ‘ඩොපමේන් ඇබ්බැහියේ’ කතාව එළියට එන්නේ. අපේ සිතිවිලි හැදෙන්නේ ‘ආත්මය’ වගේ ඇහැට නොපෙනෙන එකකින් නෙවෙයි. ඊට වඩා විද්‍යාවට අහු වෙන ක්‍රමවේදයකින්.
මොළය සහ ඇඟේ සෛල අතර ස්නායුවලින් තමයි පණිවිඩ ගමන් කරන්නේ. ස්නායුවල පණිවිඩ ගමන් කරවන්න විවිධාකාර රසායන ද්‍රව්‍ය යොදා ගන්නවා. පණිවිඩේ කියන්නේ රසායනයක් විදියට.
ඩොපමේන් කියන්නේ මොකක්ද? ගාඩියන් සඟරාවේ තිබුණ උපමාවක් ලංකාවට ගැලපෙන විදියට කීවොත ඩොපමේන් කියන්නේ සෛල අතර පියුමි හංසමාලි. ඩොපමේන් කියන්නේ සුවය සහ සතුට ගැන පණිවිඩේ ස්නායු හරහා ගමන් කරවන රසායන ද්‍රව්‍ය. ඩොපමේන් වැඩි කරගැනීම, හිතේ සතුට වැඩි කර ගැනීම ගැන විවිධාකාර බ්ලොග් පෝස්ට් පවා ගොඩයි.
බඩගින්නක් දැනෙනකොට පීසා එකක් කන්න වගේම, රාගය උද්දීපනය වුණාම ලිංගික ක්‍රියාවක යෙදෙන්නට පවා මුළු ශරීරයටම පණිවිඩය දෙන්නේ ඩොපමේන්වලින්. යම් දෙයක් නිසා වැඩිපුර ඩොපමේන් නිකුත් වෙන තරමට, ඒ දෙයට අපි වැඩිපුර ඇබ්බැහි වෙනවා.
ඒ වගේම යම් දෙයක් ගැන හිතනකොටත්, ඒක කරනවා වගේම ඩොපමේන් නිකුත් වෙන්න පුළුවන්. ‘මනෝ පාරක් ගහනවා’ කියන්නේ ඒකනේ. අපි කන්න කැමති කෑම, ලිංගිකව ළංවෙන්න කැමති අය, අඳින්න කැමති ඇඳුම්, බලන්න කැමති චිත්‍රපටි හෝ ටීවී සීරීස් වගේ විවිධාකාර දේවල් ගැන අපි හිතින් හීන දකිනකොට ඒක වෙනවා.
ඒ කැමති ක්‍රියාව කරලා ඉවරවුණාට පස්සේ අපේ ඩොපමේන් මට්ටම පහළ වැටෙනවා. කාලා ඉවරවුණාම, ලිංගික ක්‍රියාවේ යෙදිලා ඉවරවුණාම ආදී වශයෙන්. ඒත්, ඒකේ රසය නිසාම නැවත අපි පෙළඹෙනවා. තව චොකලට් එකක් නන්න, සීරීස් එකේ ඊළඟ එපිසෝඩ බලන්න, චිත්‍රපටියේ දෙවැනි කොටස බලන්න ආදී වශයෙන්. ඒ මොහොතේ ඩොපමේන් මට්ටම පහත ගියත්, නැවත ආසාව එන්න පුළුවන්.
ඉතින්, අපට අද විවිධාකාර වෛවර්ණ රසයන් ස්මාට්ෆෝන් ඇප්වලින් ලබන්න පුළුවන්. ඇති තරම්. එකකට එකක් වෙනස් රසයන්.
කෙසේ වෙතත් ස්මාට්ෆෝන් හරහා අපි ඒ රසයන් නැවත නැවත ලබද්දී, නොකඩවා ලබද්දී ඩොපමේන් නිකුත් වීම ඉහළ මට්ටමක දිගින් දිගට තියාගන්නට උත්සාහ කරද්දී හැමදේකම රසය එන්න එන්න අඩු වෙනවා.
මේ විදියට අපි ‘ආස්වාදය’ ලබන්න උත්සාහ කරන අතරමට අපේ මොළයේ දිගින් දිගටම පාවිච්චි වෙන්නේ හැඟීම්වලට අදාල කොටස් ටික බව විශේෂඥවරිය පෙන්වනවා. ප්‍රී ෆ්‍රොන්ටල් කෝර්ටෙස් කියන කොටස පාවිච්චි වෙන්නේ නැහැ. ඉදිරි සැලසුම්, ප්‍රශ්න විසඳාගැනීම, පෞරුෂ වර්ධනය සඳහා තමයි ඒ කොටස අවශ්‍ය වෙන්නේ. සරල බසින් කීවොත් සැලසුම් කරන්න අවශ්‍ය ඒ කොටස.
තේරෙන විදියට කීවොත් ස්මාට්ෆෝන් එක කරන්නේ අපි මොළය වෙහෙසන්නේ නැතිව ‘ආතල් හොයන්න’ පෙළඹවීම.
අපි එදිනෙදා ජීවිතයේ යම් සංකීර්ණ ප්‍රශ්නයකට මුහුණදුන්නොත්, කාත් එක්ක හෝ යම් කිසි ප්‍රශ්නයක පැටලුණොත්, සමාජ ජීවිතය අර්බුදයට ගියොත් දැවැන්ත තාක්ෂණ උපාංග සහ වෙබ්සයිට්, ඇප් ආදිය හදපු සමාගම් ඉන්නවා අපේ ළඟ. අපේ හිත වෙන ලෝකෙකට යවන්න. ප්‍රශ්නෙන් ඈත් කරන්න.
ෆිල්ටර් කරපු මුහුණවල් එක්ක ප්ලෑන් කරලා ගත්ත ඡායාරූප තොගයක් ඉන්ස්ටග්‍රෑම් එකේ තියේවි. කියුට් විදියට පෙනී ඉඳපු ටික්ටොක් තියේවි. විහිළු එක්ක යූටියුබ් වීඩියෝ තියේවි. ෆේස්බුක් මීම්ස් තියේවි.
ඒ කියන්නේ ඇත්ත ලෝකයේ ප්‍රශ්නය විසඳන්නේ නැතිවම එතැනම පල් වේවි.
ස්මාට්ෆෝන් ඇබ්බැහියෙන් ඈත් වෙන්න ඔබට ඕනෑ නම්, ඒ වෙනුවෙන් මුලින්ම මේක පාවිච්චි නොකරම යම් කාලයක් ඉන්න ඕනෑ. උපවාස කාලයක්. පැය 24ක ඉඳන් මාසයක් දක්වා කැමති කාලයක් ඔය සමාජ මාධ්‍ය ඇතුළු දේවල් ෆෝන් එකෙන් අයින් කරලා (අත්‍යාවශ්‍ය කෝල් ආදිය විතරක් ගනිමින්) ඉන්න පුළුවන්. වැඩි කාලයක් ඉන්න තරමට වැඩිපුර හොඳයි.
අනිවාර්යයෙන්ම ඈත්වෙලා ඉන්නට හිත හදාගැනීම ලේසි නෑ. ඒත් හිත ශක්තිමත් කරගන්න ඕනෑ.
හැබැයි අවසාන අරමුණ සම්පූර්ණයෙන් මේක අතහැරීම නෙවෙයි. මේ ඇබ්බැහිය කඩා ගැනීම. ඒකෙන් පස්සේ අවශ්‍ය කාරණාවලට පමණක් උපකරණය පාවිච්චි කරන්න පුළුවන්.
පොඩි උපවාස කාලයක් ඉවර වෙලා අලුතින් රීති ටිකක් දාගන්නත් පුළුවන්. නිදාගන්න කාමරේට හෝ කාර්යාල කාමරේට ෆෝන් එක ගෙනියන්නේ නැහැ, කන වෙලාවට ෆෝන් බැහැ, අහවල් අහවල් වෙලාවල බැහැ ආදී වශයෙන්.
මේක විද්‍යාත්මක සාකච්ඡාවක්නේ. ෆෝන් එක ඈත් කරපු ගමන් සමාධිය පහළ වේවි කියලා හිතන එක මිත්‍යාවක්. විශ්ව ශක්තිය ඇඟට එනවා වගේ එකකුත් නෑ. එහෙම එකක් බලාපොරොත්තු වුණොත් සිද්ධවෙන්නේ ඉක්මනින් හිත කැඩිලා ආයෙත් ඇබ්බැහියටම යන එක.
නෑ! සතුට හොයන එක අපේ ලක්ෂණයක්. ඒත්, මේ කියන විද්‍යාඥවරියට අනුව ඇත්තම කතාව ජීවිතේ මාර විනෝදයි, හැම වෙලාවෙම විනෝදෙන් ඉන්න ඕනෑ කියන එක මේ පරිභෝජනවාදී ලෝකයේ නිර්මාණය කරපු කතන්දරයක්ලු. ජීවිතය කියන්නේ ඇවිදීමමක්ලු. දුක්බර අවස්ථා, සංකීර්ණ අවස්ථා ඔක්කෝම ජීවිතයේ කොටස්. අපි කරන්න ඕනෑ ඒ ප්‍රශ්නවලට මුහුණදෙන එක, ඒවායෙන් අපේ පෞරුෂය හදාගන්න එක, ප්‍රශ්නවලට මුහුණදෙන අනෙක් අය එක්ක ජීවිතේ බෙදාගන්න එක.
හැම වෙලාවෙම වෛවර්ණ උද්යෝගයෙන් පිරිච්ච එකක් වෙනුවට ජීවිතයේ සංකීර්ණ බව දකින එක.
සමහරවිට ඒ ක්‍රමයට හැබෑ ජීවිතේට මුහුණදෙනකොට ස්වයිප් කරලා ස්වයිප් කරලා, ක්ලික් කරලා ක්ලික් කරලා අන්තිමේ හිත පිරෙන්නේ නැතිව ආතතියට පත් වෙනවාට වඩා තෘප්තියක් ලැබේවි.
ඩොපමේන් බූස්ටර් හොයනවාට වඩා දිග පත්තර ලිපියක් කියවන එක, ලොකය ගැන දැනුම තියෙන පොතක් පතක් කියවන එක, අලුතින් මනුස්සයෙක් මුණගැහිලා විවේකීව කතාබහක් කරන එක, අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඇතුළු ගොඩක් අය එක්ක කතාබහ කරමින් ජීවිතේ බෙදාන්න එක ෆෝන් එක ඈත් කරන තරමට ඔබට පහසු වේවි.