‘ජනරජයක ජන බලය ’-පූජ්‍යතන්ත්‍රවිරෝධය..

“දුෂ්ට ගුරුන් වන පාප්වරු, කාදිනල්වරු, බිෂොප්වරුන්ට සොරුන්ට මිනීමරුවන්ට දඬුවම් දෙන ආකාරයෙන් ආයුධ රැගෙන සටන් කර ඔවුන්ගේ ලෙයින් අපේ අත් දෝවනය නොකළ යුත්තේ මන්ද?” 


දේවධර්මාචාර්ය මාටින් ලූතර් මෙසේ කීවේ 16 වැනි සියවසේ මුලය. ඒ, ඉඩම් හා රන් රිදීයෙන් ආඩ්‍යව වාසය කළ රෝමයේ කතෝලික සභාවට එරෙහිවය. 


පල්ලිය ගැන කැකෑරෙමින් පැවැති මහජන හා වාණිජ වෛරයට ඉන් ලැබුණේ විශාල දිරියකි. 
ආගමික ප්‍රතිසංස්කරණයක් අපේක්ෂාවෙන් බැතිමතුන් ඊට අත ගසද්දී වාණිජ පන්තියට තිබුණේ ඉන් එහා ගිය ව්‍යාපාරික අරමුණකි. 


කෙසේ වෙතත් ඒ සියලු මෝරායාම් අවසන තුඩුදුන්නේ වැඩිහිටි ධනවාදයක් සමග මනුෂ්‍ය අයිතිවාසිකම් විෂයෙහි වඩාත් පරිණත තත්ත්වයකට ජන සමාජය ද තල්ලු කිරීමටය. 
යුරෝපයේ විප්ලව සමග ගැටගැසුණු මේ මනෝභාවය හා බැඳුණු ක්‍රියාවලිය දේශපාලන විද්‍යාවේ හැඳින්වෙන්නේ පූජ්‍යතන්ත්‍රවිරෝධය හැටියටය. 


දේශපාලන ජීවිතයට සහ ප්‍රසිද්ධ ජීවිතයට ආගමික ආයතනවලින් එල්ල වන බලයට (විශේෂයෙන් යුරෝපයේ කතෝලික පල්ලියේ බලයට) සහ බලපෑමට මෙන්ම පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතයට ආගම මගින් ඇතිකරන බලහත්කාරී ක්‍රියාවලට විරුද්ධව ඇති වූ ඓතිහාසික ව්‍යාපාරයක් හැටියට එය අර්ථකතනය කළ හැකිය.


පොතපත දුලබ සමාජයේ උගත්කම පූජකයාගේ වරප්‍රසාදයක් වූ කාලයක් විය. එහෙත් මුද්‍රණ යන්ත්‍රය සමග අධ්‍යාපනයට වූ ඉණිමං පල්ලියට පිටතින් ද තැනිණි. මේ නිසා පල්ලියට නොගොස් සිය නිවෙසේදීම ලෝකය ගැන වෙනස් ආකාරයකින් ඉගෙනගැනීමට ද මං විවර විය. පළමු පියවරේදී දියුණු වාණිජ පන්තිය මෙම අධ්‍යාපනය ලැබූ අතර ඔවුන් නියෝජනය කළ ආගමික ප්‍රතිසංස්කරණවාදීහු අකුරු අතර සත්‍ය ගවේෂණයක නියැලුණහ. නව ලෝක දෘෂ්ටි නිර්මාණය වූයේ ඒ අනුවය. ආගමේ සත්‍ය සොයා පාප්තුමා හමුවට නොව බයිබලයට යමු යැයි යෝජනා කෙළේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මහජන හා දේශපාලන අවකාශයෙන් පල්ලිය ඈත් කිරීමේ ලෝකායතවාදී හෙවත් අනාගමික වෑයමක් බවට පූජ්‍යතන්ත්‍රවිරෝධය පත්වන්නේ එලෙස ආ ගමනේ වර්ධනයක් හැටියටය. 

ප්‍රංශය..


කෙසේ වෙතත් පළමු වටයේදී තත්කාලීන ආගමික සංස්ථාවට එල්ල වූ විරෝධයේදී පාප්වහන්සේගෙන් ගැලවුණු රාජ්‍ය අනුහස් බලය කැරකී ආවේ රජු කරාය. එය වඩාත් පෘථුල ලෙස පැතිර ගියේ ජර්මනියේ එපිට ප්‍රංශයේදීය. සදාචාරාත්මක දුෂණ, ආයතනික වැරැදි හා ආගමික අර්ථකතන සමග එය මුහු විය. ප්‍රංශ විප්ලවයේදී එය ඉතාමත් සාහසික තැනකට ද තල්ලු විය. සමාජ ක්‍රමය පවත්වාගෙන යෑමේදී පල්ලිය මූලික කු`ඵණක්ය යන අරුත්බර වටහාගැනීම ඊට හේතුවයි. සැබැවින්ම පූර්ව විප්ලවීය ප්‍රංශයේ රෝමානු කතෝලික සභාවට තිබුණේ විශාල බල ආධිපත්‍යකි. නූතන යුරෝපයේ අන් කවර තැනකවත් නොවූ අයුරෙන් ප්‍රංශයේ භීම සමය පල්ලිය ඉලක්ක කරගත්තේ එහෙයිනි. සිය ගණනින් දේව ගැතියන් ඝාතනය කළ අතර පිටුවහල් කරන ලද පූජකයන් සංඛ්‍යාත්මකව 30 000 ඉක්ම වී යැයි කියවේ. 1790 ජූලි 12 වැනිදා ප්‍රංශ ආණ්ඩුවට පක්ෂපාත වන බවට බල කෙරෙන පැවිද්දන්ගේ සිවිල් ව්‍යාවස්ථාවක් සම්මත කරගැනුණි.  ජූජ්‍යතන්ත්‍රවිරෝධී ජාතික ව්‍යවස්ථා සභාවකට මග කියුවේ එයයි. රදගුරුන් 160 කින් හත් දෙනෙක් පමණක් ඊට ප්‍රතිඥා දීම ප්‍රතික්ෂේප කළහ. ඇතැම් තැන්වල පූජකයෝ ද ඒ මග ගියහ. එහෙත් කතෝලික රාජාණ්ඩුව විනාශකර පල්ලියේ බලය මර්දනය කළ ජනතා ආණ්ඩුව පල්ලියේ දේපල ද රාජසන්තක කිරීම වැලැක්වීමට ඒවාට හැකි නොවීය.


පූජ්‍යතන්ත්‍රවිරෝධයේ තවත් දිගුවක් දැකිය හැකිවූයේ ප්‍රංශයේ තුන් වැනි සමූහාණ්ඩු සමය වූ 1871-1940 සමයේදීය. විශේෂයෙන්ම විප්ලව සමග පල්ලිය රාජ්‍යයෙන් බෙදාවෙන් කෙරුණ ද ඒ ගැන නොසතුටුවූවෝ සහමුලින් විනාශ වූයේ නැත. ඔවුහු පල්ලියේ සුජාතභාවය වෙනුවෙන් පුරාණ රෙජිමය තකා විප්ලවයෙන් පසුව ද ක්‍රියා කළහ. මේ නිසා 1880 දශකයේදී සමාජවාදී, ලිබරල්, අරාජික ගුරුකුල නියෝජනය කළ පිරිස්වලින් ශක්තිමත් ඒකරාශිවීමක් පල්ලියට එරෙහිව පැරීසියේදී නැවත නිර්මාණය විය. මේ වනවිට අධ්‍යාපන සේවයට විශාල වශයෙන් පූජකවරුන් සම්බන්ධ වී සිටි අතර ආගමික ඉගැන්වීම්වලට දරුවන් යොමුකරගැනීමට එරෙහිව මෙම පිරිස්වලින් විශාල විවේචනයක් ගොඩනැගිණි. ඊට අදාළව විශිෂ්ටතම පියවර ගැනුණේ 1905 දෙසැම්බර් 9 වැනිදාය. ඒ එවකට පාලන බලය හෙබ වූ රැඩිකල් සමාජවාදී පාලකයන් විසින් පල්ලිය රාජ්‍යයෙන් වෙන්කෙරෙන නීතියක්ම පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමෙනි. ප්‍රංශ රාජ්‍ය අනාගමික කෙරුණේ එමගිනි. කැමැති ලබ්ධියක් ඇදහීමේ පුද්ගල අයිතිය ලබා දී ආගමික විෂයේදී රාජ්‍ය අක්‍රීයභාවයට පත්කිරීම ඉන් අපේක්ෂා කෙරිණි. ඒ අනුව සියවස් ගණනාවක් පුරා ප්‍රංශයේ පාලනය හෙබ වූ රෝමානු කතෝලික රාජ්‍යයේ දේවාධිකාරිය එයින් අවසන් විය. කෙසේ වෙතත් එවකට ජර්මානු අධිරාජ්‍යයේ කොටසක්ව තිබී පසුකාලීනව ප්‍රංශයට යා වූ බිම් පෙදෙසක් දෙකක් අදටත් මේ තත්ත්වයෙන් වෙනස් ලෙස ක්‍රියාත්මක වේ.


ප්‍රංශ සමූහාණ්ඩුවාදීන්ගේ පූජ්‍යතන්ත්‍රවිරෝධය තරමක් මන්ද්‍ර වූයේ පළමු වැනි ලෝක යුද්ධයෙන් පසුව කතෝලික දක්ෂිණාංශිකයන් විසින් ද සමූහාණ්ඩු හා අනාගමික සංකල්ප පිළිගනු ලැබීම නිසාය. අනාගමිකවාදය සම්බන්ධයෙන් වූ ප්‍රංශ සමාජයේ බොහෝ ගැටලු අධ්‍යාපනය සමග ගැටගැසුණු ඒවාය. මේ නිසා පසුකාලීනව පෞද්ගලික පාසල් පිහිටුවීම්වලදී කතෝලිකයෝ උද්‍යෝගයෙන් කටයුතු කළ නමුත් ඒවායේ ගුරුන්ට රජයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම සංවේදී විවාදපන්න මාතෘකාවකි.

french revolution

 ඔස්ට්‍රියාව 

1765- 1790 අතර කාලයේ ඔස්ටි්‍රයාවේ රජ කළ දෙවැනි ජෝෂප් රජු ද ආගමික සංස්ථා ගැන පළ කළේ වෙනස් මතයකි. කල්පනාවෙහි හා විරාගයෙහි ගැලුණු ආගමික ආයතනවලින් මහජනයාට පලක් නැතැයි ජෝසප් අධිරාජයාගේ අදහස විය. වතිකානුවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග සෘජුව සන්නිවේදනය නොකළ හැකි ලෙස ඔස්ට්‍රියානු රදගුරුවරුන්ට නීතියක් පනවනු ලැබුවේ ද ඔහු විසිනි. අධිරාජයා යටතේ වූ තාපසාරාම 1188න් 500 ක් විසුරුවා හැර රජයට සිලින් ලක්ෂ 600ක් උපයාගන්නට කටයුතු කළේ ද මේ අධිරාජයාය. ඔහු එම ධනය වැය කළ බව කියන්නේ නව වසම් 1700 ක් පිහිටුවා සුබසාධන ආයතන පිහිටුවීමටය. 

ජර්මනිය 


ජර්මනියේදී මෙම ප්‍රතිසංස්කෘතිය තදින් පැනනගින්නේ රෝමානු කතෝලික පල්ලිය මෙහෙය වූ 9 වැනි පයස් පාප්වහන්සේ හා ප්‍රසියානු පාලකයා වූ ඔටෝමන් බිස්මාක් අතරේය. 1871 වනවිට ජර්මානු අධිරාජ්‍යයෙන් 36%ක් පමණ කතෝලිකයන් වූ අතර බිස්මාක් ඔවුන්ගේ බලය හීනකිරීමෙන් උත්සාහ කළේ ලිබරල් රෙපරමාදුවන් ආමන්ත්‍රණයටය. තමාට විරුද්ධ වූ දේවගැතියන් හා රදගුරුවරුන් අත්අඩංගුවට ගැනීමට හෝ නිලයෙන් පහකිරීමට බිස්මාක් දෙවරක් නොසිතීය. කතෝලිකවිරෝධී ක්‍රියාපිළිවෙලෙහි කූටප්‍රාප්තිය වෙද්දී ප්‍රසියානු රදගුරුන්ගෙන් අඩක් එක්කෝ සිරගතව සිටියහ. නැත්නම් පිටුවහල් කර සිටියහ. ගම්වලින් හතරෙන් පංගුවක පූජකයන් නොසිටි අතර කන්‍යා මව්තුමින් හා පූජකයන්ගෙන් අඩක්ම ප්‍රසියාව අතහැර ගොස් සිටියහ. තාපසාරාම හා කන්‍යාරාමවලින් තුනෙන් එකක් වැසී යද්දී මිනිසුන් දහස් ගණනක් සිරබත් කෑවේ ආගමික නයුවන්ට සහාය දීමේ වරදටය. කෙසේ වෙතත් මේ ප්‍රතිසංස්කෘතිය පසුව බූමරංගයක් වූයේ කතෝලික ප්‍රජාව දේශපාලන බලවේගයක් ලෙස ශක්තිමත් වීමෙනි. ගැටුම කිසියම් ලෙසකින් සමහන් වූයේ 13 වැනි ලියෝ පාප්වහන්සේ බිස්මාක් සමග අතරමැද සන්ධානයකට සන් කිරීම සමගය.

ඉතාලිය


පූජ්‍යතන්ත්‍රවිරෝධය ඉතාලියේ වර්ධනය වූයේ 1870 දී පාප් රාජ්‍ය පරමත්වයට නැගීම බිඳවැටීම සමගය. ඉතාලි රාජධානියේ මහජන අවකාශයට කතෝලික ජනයා ඇතුලත්වීමට පාප්වහන්සේ කලක් තිස්සේම කැමැති වූයේ නැත. එහෙත් අවසානයේදී ඉතාලිය සිය රාජ්‍ය එක්සත් කරද්දී පාප් රාජ්‍ය ද ආක්‍රමණය කෙරුණේ පාප්වහන්සේට තමා වතිකානුවේ සිරකරුවෙකු යැයි කීමට පොළඹවන තැනටම කටයුතු සිදුවීමෙනි. කැමීලෝ බෙන්සෝ, කුන්ට් ඩිකේවර් වැනි දේශපාලන නායකයෝ මෙම ක්‍රියාවලියේදී ප්‍රධාන භූමිකාවක් රඟදැක්වූයේ පල්ලියේ ලෞකික හා දේශපාලන බලයට එදිරිවාදීන් වෙමිනි. නිදහස් ඉතාලියේ ඉතිහාසය පුරාවට පල්ලිය හා ආණ්ඩුව අතර සම්බන්ධතා කර්කශ වූ අතර යුගයේ දේශපාලන හා දෘෂ්ටිමය විවාද පුරා පූජ්‍යතන්ත්‍රවිරෝධය කැපී පෙනුණු ලක්ෂණයකි. 1890- 1900 කාලයේදී අන්‍යොන්‍ය එදිරිවාදිකම් සමාජවාදී පොදු සතුරා කර යොමුවීමේ ප්‍රතිඵලයක් ලෙස පල්ලිය හා ආණ්ඩුව අතර ආතතිය සමහන් වනු පෙනිණි. එහෙත් දෙරාජ්‍ය අතර නිල එදිරිය සමථයකට පත්වූයේ 11 වැනි පයස් පාප්වහන්සේ හා 1922 ඉතාලි අගමැති ධුරයට පත් බෙනිටෝ මුසෝලිනී සමගය. 


දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව පූජ්‍යතන්ත්‍රවිරෝධය සංයුක්ත වූයේ වතිකානුවට සහාය දැක් වූ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එරෙහිව ඉතාලි කොමියුනිස්ට් හා සමාජවාදී පක්ෂ මගිනි. 1980 දශකයේදී වතිකානුවේ වරප්‍රසාද තවදුරටත් ඉතාලි සමාජවාදී පාලක පක්ෂය යටතේ කප්පාදු වූ නමුත් මහජනයාගේ වාර්ෂික ආදායම් බදුවලින් 0.8%ක් අනිවාර්ය පංගුවක් හැටියට රජය මගින් නිර්දේශිත ආගමික සංස්ථාවකට ගෙවීම ආදී වරප්‍රසාද කීපයක් ඉතිරි කෙරිණි. 1991 සිට 2007 කාලයේදී ඉතාලි රදගුරු සමු`ඵවේ සභාපති හැටියට කටයුතු කළ කැමිලෝ රුයිනි කාදිනල්වරයා යටතේ කතෝලික පල්ලිය ඉතාලි දේශපාලනයේ වඩාත් ආක්‍රමණශීලී ආස්ථානයක් ගත් අතර 16 වැනි බෙනඩික් පාප්වහන්සේගේ ආගමනයෙන් එය තවත් වර්ධනය විය. ඇතැම් දේශපාලකයන් පවසන්නේ ප්‍රසිද්ධියේ පල්ලියට විරුද්ධ වීම දේශපාලනිකව අවාසිසහගත බවයි. විශේෂයෙන්ම පල්ලිය වෙනුවෙන් කැප වූ තනි පක්ෂය වූ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අභාවප්‍රාප්තිය සමග වාමාංශය හා දක්ෂිණාංශය අතර දෝලනය වන කතෝලික ඡන්ද ජයග්‍රාහකයාට තීරණාත්මක වීම ඊට හේතුව වී ඇත. 

පෘතුගාලය


1910 දී පෘතුගාල රාජාණ්ඩුව බිඳවැටෙමින් ජනරජය විප්ලවය සමග පූජ්‍යතන්ත්‍රවිරෝධයේ තවත් ගමනක් ආරම්භ විය. පල්ලිය ද රාජ්‍ය යටතට ගැනුණු අතර ඒවාට නෛසර්ගික වශයෙන් දේපළ උරුමවීම නතර කෙරිණි. ප්‍රංශයේදී ස්පාඤ්ඤයේදී හා මෙක්සිකෝවේදී මෙන්ම පල්ලිය හා රාජ්‍ය අතර දෙබෙදුම ව්‍යවස්ථාපිතව එදිරිවාදී වූ අතර විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස දියෝකීස රැසක රදගුරුවරුන්ට තනතුරු අහිමි වූයේ පල්ලියේ දේපල රාජ්‍යට පවරාගනිමිනි. පූජක ලෝගුව තහනම් කෙරුණු අතර ප්‍රධාන සෙමනේරි පහක් හැර සෙසු ඒවා වසා දැමිණි. ආගමික දිවුරුම්දීම් හා පල්ලියේ බදු අහෝසි කෙරුණු අතර ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ආගමික ඉගැන්වීම් ද තහනම් කෙරිණි. 

ස්පාඤ්ඤය


පූජ්‍යතන්ත්‍රවිරෝධී හිංසන පළමු වරට ස්පාඤ්ඤයේ වාර්තා වූයේ 1820-1823 අතර සිවිල් යුද සමයේදීය. කැටලෝනියානු කැරැල්ලේදී ලිබරල් කණ්ඩායම විසින් පූජකයන් විසි දෙනෙකු ඝාතනය කරනු ලැබුවේ 7 වැනි ෆර්ඩිනන්ඞ් රජුට පල්ලියෙන් ආධාර කිරීමට එකට එක කිරීමෙක් වශයෙනි. සිවිල් යුද්ධය තවත් වර්ධනය කළ නව රෙජිමයේ අගමැති ජුආන් අල්වාරේස් මෙන්ඩිස් විසින් 1836 දී ප්‍රධාන පෙළේ ස්පාඤ්ඤ කන්‍යාරාම හා දේවස්ථාන විනාශ කරනු ලැබිණි. 1931 දී දෙවැනි ජනරජය ස්පාඤ්ඤයේ පිහිටුවනු ලැබුවේ අනාගමික පිළිවෙත්වලට මූලිකත්වය දෙමිනි. රෝමානු කතෝලික ආචාර්යවරුන් රටින් පන්නා දමමින් අධ්‍යාපනය අනාගමික කරමින් ආගමික ඉගැන්වීම්වලට තහනම් දැමීම පාලනය ආරම්භයේදීම සිදුවිය.

1932 පෙන්තකොස්ත දිනයේ ( පාස්කු ඉරිදාවෙන් පනස් වැනි දිනය) 11 වැනි ෆයස් පාප් වහන්සේ මෙම පියවරවලට එරෙහිවෙමින් ඉල්ලා සිටියේ අදාළ ආයතන නැවත පිහිටුවන ලෙසය. මෙම අයුක්තියට එරෙහිව සියලු ආකාරයේ නීතිමය ක්‍රියාවලින් සටන් කරන්නැයි උන්වහන්සේ වැඩිදුරටත් ස්පාඤ්ඤයේ කතෝලිකයන්ගෙන් ද ඉල්ලා සිටියහ. 1933 ජුනි 3 වැනිදා පාප්වහන්සේ මහජනයාගේ දැනගැනීම පිණිස ප්‍රකාශයක් නිකුත් කළේ පල්ලියේ දේපළවල බුක්තිය පැහැරගැනීම සම්බන්ධයෙනි.

“කතෝලික සභාවට ඇගෙන් සාහසික ලෙස උදුරාගන්නා ලද සම්පත්වලට බදු ගෙවීමට පවා සිදුව තිබේ. දේව මෙහෙයට අයත් උපකරණ, ප්‍රතිමා, මූර්ති, බඳුන්, මැණික් ආදී මේ සියල්ල අපේ බුක්තියෙන් පැහැර ගත් දේය”

යනුවෙන් එහි සඳහන් විය. මේ තත්ත්වය තුළ 1936 දී නැවතත් සිවිල් යුද්ධය බිහිසුණු ලෙසින් ඇවිලෙද්දී කතෝලික ප්‍රජාවේ සහාය ලැබුණේ ස්පාඤ්ඤ ජාතිකවාදීන්ට හා ප්‍රංශයටය. දහස් ගණනක් කතෝලිකයන් ඝාතනය කෙරෙමින් ද පල්ලි විනාශ කරමින් ද මෙහිදී වූ පූජ්‍යතන්ත්‍රවිරෝධී ප්‍රහාරයන් ජාතිකවාදීන් විසින් වහරනු ලැබුවේ රක්ත භීෂණය හැටියටය. එහෙත් ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රෑන්කෝගේ දක්ෂිණාංශික එක්සත් සන්ධානය සමග එකතුවීමට පෙර ෆැලැන්ජිස්ට් ෆැසිස්ට් පක්ෂය ප්‍රදර්ශනය කළේ ද පූජ්‍යතන්ත්‍රවිරෝධී නැඹුරුවයි. පක්ෂය එම මතය දැරුවේ රාජ්‍යය බලය මු`ඵමනින් ලබාගැනීමට ප්‍රභූ තන්ත්‍රය බාධාවක් හැටියට සලකාය. 

කැනඩාව


විදේශාධිපත්‍ය යටතේ බොහෝදුරට අයර්ලන්තයේ හා පෝලන්තයේ මෙන් කැනඩාව තුළ කතෝලික පල්ලිය බි්‍රතාන්‍ය විජිත ආණ්ඩුවෙන් මිදුණු ස්වයංපාලිත ආයතනයක් විය. ප්‍රංශ කැනේඩියානු අනන්‍යතාව මු`ඵමනින් ප්‍රංශ භාෂාවටත් වඩා කතෝලිකභාවය කේන්ද්‍ර කරගත්තේය. කෙසේ වෙතත් ඇමෙරිකානු හා ප්‍රංශ විප්ලවයන්ගෙන් උත්තේජනය ලද කුඩා ප්‍රජාතන්ත්‍රවිරෝධී ව්‍යාපාර කැනඩාවේ ද විය. ශ්‍රීමත් විල්ෆ්‍රඞ් හෙන්රි චාල්ස් අගමැති ධුරය දැරූ සමයේදී 1896 – 1911 කාලයේදී ලිබරල් පක්ෂයෙන් පූජ්‍යතන්ත්‍රවිරෝධී ස්ථාවරය බැහැර වූ අතර 20 වැනි සියවසේදී එය වර්ධනය විය.

එහෙත් ලිංගික සදාචාරය ගැන වූ පල්ලියේ ඉගැන්වීම්, සමලිංගික සේවනය, සමලිංගික විවාහ, දික්කසාද සම්බන්ධයෙන් වූ ලිබරල් නීති සමග 1960න් පසු නැවතත් පල්ලිය සමග හටගත්තේ මිත්‍රශීලී සම්බන්ධයක් නොවේ. කියුබෙක් ප්‍රශ්නයේදී පල්ලියේ අත්වැල ප්‍රාන්ත දේශපාලනය මත බිඳවැටුණි. පූර්වයෙන් තහංචි වැටුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් කියුබෙක් පක්ෂය විසින් පිළිගනු ලැබූ අතර කැනඩාවේ වඩාත් අනාගමික ප්‍රාන්තය හැටිය සැලකෙන්නේ ද එමගින් හැසිරෙන කියුබෙක් ප්‍රාන්තයයි. 


මීට අමතරව ඇමෙරිකාව, ලතින් ඇමෙරිකාව, මෙක්සිකෝ, ඉක්වදෝරය, කොලොම්බියාව, කියුබාව, වෙනිසියුලාව, ආජන්ටිනාව පුරා ද පූජ්‍යතන්ත්‍රවිරෝධී දේශපාලනයට අදාළ ඉතිහාසයක් තිබේ. විශේෂයෙන්ම බොල්ෂෙවික් පක්ෂය යටතේ සෝවියට් රුසියාවේ දී ද පූජක පක්ෂයට දරුණු ඉරණමකට මුහුණපාන්නට සිදු වූ අතර තුර්කිය, ඉන්දුනීසියාව, ඉරානය ආදී ඉස්ලාමික රටවලදී ඇතිවූයේ වෙනම කතා කළ යුතු ඊට වෙනස් දේශපාලන පරිසරයකි. 

දාර්ශනික පෝෂණය..


කෙසේ වෙතත් හුදෙක් විරුද්ධත්වය පෑම වෙනුවට වඩාත් සක්‍රීය එරෙහිවීමක් හරහා රාජ්‍ය ආගමික සංස්ථාවෙන් වෙන්කිරීමට යෝජනා කෙරුණු පූජ්‍යතන්ත්‍රවාදවිරෝධයේ මූලික ඉලක්කයක් වූයේ ආගම මු`ඵමනින්ම පෞද්ගලික විශ්වාස පද්ධතියක් පමණක් බවට පත්කිරීමය. මෙම දේශපාලනය ඇතැම් තැන්වලදී වාමාංශික බුද්ධිමතුන්ගේ අනුප්‍රාණය ලැබූ අතර ප්‍රංශයේ වෝල්ටෙයාර් වැනි දාර්ශනිකයන්ගෙන් එහි හරපද්ධතිය පෝෂණය විය. ලිපියේ ආරම්භයේ සඳහන් කළ පරිදි ප්‍රංශ විප්ලවයෙන් රළ නැගූ මෙම ව්‍යාපාරයට 1870 වන විට ඉතාලියට පාප් වහන්සේ වතිකානුවට පමණක් සීමා කිරීමටත් හැකියාව ලැබිණි. දේශපාලන බලයේ ලෞකික වැදගත්කම ඇතිකිරීම වෙනුවෙන් වැදගත් මෙහෙයක් ඉටු කළ මැකියාවෙල්ලි ඊට මූලික පදනම දැමූ දාර්ශනිකයා විය.

ලංකාව.. 


කෙසේ වෙතත් ලංකාවට අදාළව ගත්කළ නම් දේශපාලනිකව එය හැඳින්විය හැක්කේ බොහෝ කාරණාවලදී මෙන්ම උත්ප්‍රාසාත්මක කරුණක් බවය. අපේ ආණ්ඩුක්‍රමය නම් ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මැයෙනි. 1972 දී ව්‍යවස්ථාවෙන් පිහිටු වූ ලංකා ජනරජය 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ජනරජය විය. සාමාන්‍යයෙන් ලොව පුරා පෙර සඳහන් කළ ජනරජ ඉතිහාසයන් නිර්මාණය වී තිබෙන්නේම ජනයාගේ රාජ්‍ය යන ලෞකික අරුතෙනි. මක්නිසාද යත් මනුෂ්‍යයාගේ යහපත පිණිස ඒ රාජ්‍යන් මනුෂ්‍යයාගේම භෞතික නිර්මාණයක් වන බැවිනි. එහෙත් යටත්විජිත සමයේ පටන්ම අනාගත ජාතික රාජ්‍ය පරිකල්පනය කරගැනීමට අපහසු වූ දේශීය නායකයන් විසින් අපට නිර්මාණය කරනු ලැබුවේ අපූරු ජනරජයකි. එක් ආගමකට ප්‍රමුඛතාව දෙන බවට වූ සඳහනින් ලබන අවස්ථාවාදී කෙටිකාලීන දේශපාලන වාසිය මිස ඔවුහු අනාගතවාදී දැක්මකින් යුක්ත වූවෝ නොවූහ. ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සමාජ දේශපාලනික වශයෙන් වූ අවිද්‍යා අඳුරකට ඇද වැටී ඇත්තේ ඒ ජනරජයයි. පාලකයාගේ පටන් පීඩිතයා මතු නොව වාමාංශිකයා දක්වා පූජ්‍යතන්ත්‍රවාදයේ පාමුල වැටී නින්දාවට පත්කරන්නේ ඒ ජනරජයක බලයයි. 


බිඟුන් මේනක ගමගේ