PPE ගලවන්න ගුවන් සේවකයෝ බැහැ කියයි

ගුවන් යානා කාර්ය මණ්ඩල දැනට කොවිඩ් වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිත කරන ආරක්ෂක ඇඟලුම (PPE kits) රුසියානු සංචාරකයන් වෙනුවෙන් ඉවත්කරන ලෙසට සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය සිදුකර ඇති ඉල්ලීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් සිය විරෝධය පළකර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාර්ලි ප්‍රනාන්දු ඉහත ඉල්ලීම කර ඇත.

කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා වයිරසය වැලඳීමේ අවදානමක් ඇති බැවින් එවැනි නීතියක් පැනවුවහොත් වෘත්තීය සමිති පියවර ගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියෙකු ‘අරුණ’ පුවත්පතට කියා තිබුණි.

පසුගිය අගෝස්තු 07 වැනිදා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදුකරන ලද අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් ඊට ප්‍රතිචාරයක් දක්වා නැත.

මෙම ඉල්ලීමට අමතරව පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන් සඳහා මෙරටට පැමිණීමට පැය 72 කට පෙර ලබාගතයුතු පීසීආර් පරීක්ෂණ වාර්තාවක අවශ්‍යතාව ඉවත් කිරීම, යුරෝපා සංගම් රෙගුලාසියට අනුකූලව අවුරුදු 12 ට අඩු ළමයින් සඳහා පීසීආර් පරීක්ෂණ ඉවත් කිරීම සහ පූර්ණ එන්නත්කරණයට ලක්වූ මගීන් සඳහා ගුවන් තොටුපළේදී රැපිඩ් පීසීආර් පරීක්‍ෂණයක් කිරීමට ඉඩ ලබාදීම යන පහසුකම්ද රුසියානු සංචාරකයන් වෙනුවෙන් ලබාදෙන ලෙස සභාපතිනිය සිය ලිපියෙන් ඉල්ලා තිබිණි.