කිරිහරක් ආනයනයට අලුත් පොරොන්දු සහ එදා විනාසය! (විගණකාධිපති වාර්තාව)

පහුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ තීන්දු අතර තිබුණා තීන්දුවක්. කිරිහරක් ආනයනය කරන්න. ඇමෙරිකන් ඩොලර් මිලියන 8275ක කිරිහරක් ලොකු කම්පැණිවලින් ගේන්න. මුලින් කිරිහරක් හාරදාස් ගාණක්. ඊට පස්සේ අවුරුදු පහක් ඇතුළේ ක්‍රමයෙන් ඒ හරක් 25,000 දක්වා වැඩි කරනවාලු.

සෞභාග්‍යයේ දැක්මේ තියෙනවා ‘කිරෙන් සපිරෙන රටක්’ කියලා උප මාතෘකාවක්. ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් සීයට 40ට වඩා අඩුවෙන් රට ඇතුළේ හදන නිසා පෝෂ්‍යදායී, නැවුම් දියර කිරි අපට නැති බවත්, ඒ නිසා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ දාන්න ඕනෑ බවත් එකේ සඳහන්.

මේකේ තියෙන එකක් වැඩක් තමයි මහාපරිමාණ සහ මධ්‍ය පරිමාණ කිරි ගොවිපොළ ඇති කරන්න දේශීය, පෞද්ගලික ව්‍යවසායකයන්ට ඉඩම් සහ ආයෝජන පහසුකම් දෙනවා කියන එක.

එතකොට ඒකත් එක්ක මේ කරන බව පේන්නේ දැවැන්ත කිරි ගොවිපළ හදන එක.

හැබැයි මේ ප්‍රවෘත්තිය දැක්කාම තමයි අපට ඉතිහාසෙ මතක් වුණේ. මීට අවුරුදු පහළොවකට කලින්, වෙන කවුරුත් නෙවෙයි දැන් ඉන්න ජනාධිපතිගේ අයියා, දැන් අගමැතිතුමා පොරොන්දු වුණේ රට කිරිවලින් ස්වයංපෝෂිත කරනවා කියලා.

අවුරුදු 15කට කලින් දුන්න පොරොන්දුවක්ම තමයි ආපහු දීලා තියෙන්නේ. මේ අමුතුවෙන් ක්‍රියාත්මක කරන්න යන්නේ.

කැබිනට් තීන්දුව මෙහෙමයි.

‘මහා පරිමාණ වාණිජ කිරි ගොවිපොළ පිහිටුවීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබා දීම.

ශ්‍රී ලංකාවේ දියර කිරි අවශ්‍යතාවයෙන් සීයට 40ක් පමණ දේශීයව නිෂ්පාදනය කරන අතර, ඉතිරි කිරි ප්‍රමාණය ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 50ක් පමණ වැය කරනු ලබයි.

එබැවින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය පිටු දැකීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් දේශීය කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා දේශීය වා විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීම පිණිස අවශ්‍ය යෝජනා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් උනන්දුවක් දක්වන ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා ඇති අතර, එම මණ්ඩලයේ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කර ඇති ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ ආයෝජකයන් වෙත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල දැනට භාවිතයට නොගන්නා ඉඩම් හා රජයට අයත් භාවිතයට නොගන්නා වෙනත් ඉඩම්, නවීන කිරි ගොවිපොළවල් ලෙස සංවර්ධනය කිරීම සඳහා පහත සඳහන් පරිදි වසර 30ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

H.B.K.I.R. international invesment/ Access Agro (pvt) ltd ආයතනය වෙත අක්කර 700ක් සහ Pesara Logistics ආයතනය වෙත අක්කර 60ක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් නිකවැරටිය ගොවිපොළෙන් වෙන් කර දීම.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ගලබොඩවත්ත වතුයායෙන් සහ මවුන්ට් ජින් වතුයායෙන් අක්කර 811ක් Farm’s Pride (pvt) Ltd ආයතනය වෙත වෙන් කර දීම.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සතු දෙල්තොට වතුයාය සහ ග්‍රේට් වැලි වතුයායෙන් පිළිිවෙලින් අක්කර 200ක් සහ අක්කර 150ක් Hillside agro (pvt) Ltd ආයතනය වෙත වෙන් කර දීම.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කොට්ටුකච්චිය ගොවිපොළෙන් අක්කර 250ක් Gamma Pizzakraft lanka (pvt) ltd ආයතනය වෙත වෙන් කර දීම.’

ඔය තොරතුරු තමයි කැබිනට් තීන්දුව ගැන රජයේ මාධ්‍ය නිවේදනයට දාලා තිබුණේ.

මෙම සමාගම් සියල්ලේම පසුබිම් පරීක්ෂාවක් අප කළත්, ෆාම්ස් ප්‍රයිඩ් සමාගම හැර අන් සමාගමක් මීට කලින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශාල කාර්යභාරයක් කළ බව පෙනෙන්නේ නැහැ. ඔවුන්ගේ වෙබ් අඩවි හෝ වෙනත් තොරතුරු නැහැ.

ඒ අනුව අපට හිතෙන්නේ යම් ධනවතුන් මේ වෙලාවේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන්ම සමාගම් පිහිටුවාගෙන කෘෂිකර්ම ක්ෂේත්‍රයට බහින්න ලෑස්තියෙන් ඉන්න බව.

ෆාම්ස් ප්‍රයිඩ් සමාගම ක්‍රිස්බෝ කුකුළ්මස් නිෂ්පාදනය කරන සමාගම. ඊට අමතරව ඇක්සස් ඇග්‍රො සමාගම සුමල් පෙරේරාගේ ඇක්සස් සමාගම් ජාලයට අයිති එකක් බව ලෙහෙසියෙන් අනුමාන කළ හැකියි. පසුගිය වසරේදී සුමල් පෙරේරා මහතා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නට බලාපොරොත්තු වන බව ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වෙත ප්‍රකාශයක් කරලා තිබුණා.

ඊට අමතරව ගැමා පීසාක්‍රාෆ්ට් ලංකා සමාගම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ලොකු වැඩක් කරන බවක් අපි දැනගෙන හිටියේ නෑ. ඔවුන් ශ්‍රී ලංකාවේ පීසා හට් සහ ටාකෝ බෙල් නියෝජිතයා විදියට කටයුතු කරනවා.

‘2025 වෙනකොට කිරිවලින් ස්වයංපෝෂිත රටක්’ බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අරමුණෙන් මේ කිරි ගවයන් ආනයනය කරන බව තමයි  මහින්දානන්ද ඇමතිතුමා තිබුණේ.

මේ ගැන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙසේ කියා තිබුණා.

‘අපි බලාපොරොත්තු වෙනවා මේ සතුන් 4200 ආනයනය කරලා, රටේ කිරි නිෂ්පාදනයට දායක කරගන්න. කිරි ගවයන් සංඛ්‍යාව 2025 වෙද්දී 20,000 දක්වා වැඩි කරගැනීමට බලාපොරොත්තු වෙනවා. වසරකට ලීටර් මිලියන 22ක් මේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික කිරි අවශ්‍යතාව ලීටර් මිලියන 722ක්. සීයට හැටක් කිරිපිට ආනයනය කරනවා. අවුරුද්දට ඇමෙරිකන් ඩොලර් මිලියන 365ක් කිරිපිටි ආනයනය කරනවා.

යැපුම් ආර්ථිකයෙන් මිදිලා නිෂ්පාදන ආර්ථිකයකට යන්න කතා වුණා. නිෂ්පාදනය කළ හැකි සියල්ල නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල 2025 වෙනකොට ක්‍රියාත්මක කරනවා. කිරිපිටි නිෂ්පාදනය කිරීම සඳහා පෞද්ගලික සමාගමවලට අවස්ථාව ලබා දීලා තියෙන්නේ.

භාවිතයට නොගන්නා ඉඩම් අඳුනගෙන තමයි ලබා දීලා තියෙන්නේ. මේ ආකාරයෙන් ඉඩම් ලබා දෙන්න මූලික හේතුව තමයි සාමාන්‍යයෙන් සතුන් දහදාහක් ඉන්න ගොවිපළකට ටොන් 45ක්. කිරි නිෂ්පාදනය වෙන්න මූලික හේතුව සතුන්ට කෑම නෑ.’

කෙසේ වෙතත් මේ සිදුවීමේදී අපට මතක් වෙන්නේ වත්මන් ජනාධිපතිතුමා අමුතු එකක් වාගේ කිරිවලින් ස්වයංපෝෂිත කරන්නට කිරිහරක් ගෙන්වීම ගැන කිව්වාට, මේ කතාවම මීට කලින් ඔහුගේ අයියාත් ජනාධිපති කාලේ කිරිවලින් ස්වයංපෝෂිත කරන පොරොන්දු දුන්න බව. 2006 දී හැදුව මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව දියර කිරි ප්‍රචලිත කිරීම සහ ඒකට ගැලපෙන විදියට රාජ්‍ය බදු සහන සහ කිරි නිෂ්පාදන ආනයන ප්‍රතිපත්ති සැකසීම කියන එක තිබුණා.

ඒ අයියාගේ කාලයේ කිරිහරක් ගෙන්වීමේදී මුලින්ම එක හරකෙක් ඇමෙරිකන් ඩොලර් 2500ක විතර මිලට ගෙන්නුවා. දැන් ඩොලරයේ අගය අනුව ලක්ෂ පහක් විතර. ඒ කාලෙ හැටියට තුනහමාරට වැඩියි.

ඊට පස්සේ 2014 දී හරකෙක් ඇමෙරිකන් ඩොලර් 3032 ගාණේ ගෙනාවා. දෙවැනි පාර නං ඇමෙරිකන් ඩොලර් එක 142ට ගණං හදලා තිබුණේ. ඒ කියන්නේ එකෙක් ලක්ෂ හතරක්.

උසස් වර්ගවල කිරි ගවයන්ගේ අඩුවක් තියෙනවා කියලා, එහෙම හරකුන් 15,000ක් ආනයනය කරනවා කියලා තමයි මුලින් තීන්දු කරලා තිබුණේ.

ඒ අනුව පළවැනි අදියර විදියට 2012 සහ 2013 අවුරුදුවලදී හරක් 2000ක් ගෙන්නුවා. බෝපත්තලාව, මැණික්පාලම සහ ඩයගම ප්‍රදේශවල දැම්මාලු.

දෙවැනි අදියර විදියට 2015 දී හරක් 2495ක් ගෙන්නුවා.

ඒත් ඔය විදියට ගෙන්නපු හරකුන්ගෙන් 2500ක් ගිහින් දැම්මා හම්බන්තොට රිදීගම ගොවිපළට. විගණන වාර්තාවෙත් තියෙන්නේ ඒ සත්තුන්ට ඔරොත්තු දෙන්නේ නැති පරිසරයක ගිහින් දැම්ම නිසා ඒ සත්තුන්ට හරියට හැදෙන්න බැරිවෙච්ච බව.

2014 ජුනි 20 වැනිදා කැබිනට් තීන්දුවක් අරන් තිබුණා තුන්වැනි අදියරක් විදියට කිරිහරක් 20,000ක් ආනයනය කරන්න. ඒ තීන්දුවේ තිබුණේ කිරිහරක් 20,000ම රජය භාරයේ හදලා, හරක් බෝ කරලා ඉවරවෙලා ගොවියන්ට බෙදන්න.

ඒත් ඒ ප්ලෑන් එක ඊළඟ ආණ්ඩුව අතෑරියා. හරක් 5000ක් 2017 දී ගොවියන්ට දුන්නා.

මේ හරක් ගෙන්වද්දී හරියට ටෙන්ඩර් දාලා ප්‍රසම්පාදන කටයුතු කරලා තිබුණේ නෑ. 2007 දාපු ටෙන්ඩර් දැන්වීමෙ කාලය ‘වෙලාඩ් රූරල් එක්ස්පෝට්ස්’ කියන මේ කොන්තාත්තුව බාරදුන්න කම්පැණිය ඉල්ලුවාම දික් කරලා තිබුණා.

ලංසු දාපු කම්පැණි දෙකක නම් හලලා තිබුණා. ඒ, පරක්කුවෙලා ලංසු දැම්මා කියලා. ඒත් ඒක තහවුරු කරගන්න ලියවිලි නෑ. ඊට පස්සේ අඩුම මිලගණන් ඉදිරිපත් කරපු කම්පැණියත් රිජෙක්ට් කරලා වෙලාඩ් කියන කම්පැණිය තෝරගෙන තිබුණා.

ඒත්  තව කම්පැණියක් හොඳටම ව්‍යාපෘතියට කටයුතු ලෑස්ති කරන්න, ඒ තැනටත් ගිහින් බලලා හොඳ යෝජනාවක් දාන්න කියලා සති කිහිපයක් කාලය දික් කරන්න කියල ඉල්ලුවාම ඒකට බෑ කියල තිබුණ. ඊට පස්සේ නියමිත දවසට කලින් ටෙන්ඩර් ඕපන් කරල වෙලාඩ් කම්පැණියට වැඩේ දීල තිබුණා.

දෙවැනි තුන්වැනි අදියරවලදී හරක් ගෙන්නද්දී හරියට ශක්‍යතා වාර්තාවල නිර්දේශ තකන්නේ නැතිව නැතිව, පිළිවෙලක් නැතිව ගෙන්නලා තිබුණේ.

අන්තිමේ ප්‍රොජෙක්ට් ඔක්කොටම ගිය වියදම කොච්චරද දන්නවාද? රුපියල් බිලියන 7.9ක්. මේකට ඇමෙරිකන් ඩොලර් මිලියන ගණන් ණය ගත්තා. නෙදර්ලන්තයේ බැංකුවලින් සහ ඕස්ට්‍රේලියාවේ ආයතනයකින්.

රුපියල් බිලියන හතක් වියදම් කළාට පස්සේ අපේ රටේ කිරි සම්පත වැඩි වුණාද? බලන්ඩ එපායැ, මහ බැංකු වාර්ෂික වාර්තා. ඒවා නැතත් මල්ලිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම තියෙනවා අපේ කිරි නිෂ්පාදනය ගැන සැබෑ තත්වය.

මේකේ තවත් අඳුරු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ව්‍යාපෘතිවලින් ශුද්ධ පාඩුවක් පවා සිදු වුණේ, මේ ගැන කලින්ම අනතුරු හැඟවීම් කරලා තිබියදී.

2008 අගෝස්තු 13 වැනිදා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව ව්‍යාපෘති යෝජනාවට අදාලව වාර්තාවක් දැම්මා. ඒකෙදී දැම්මා මෙච්චරකල් ආනයනය කරපු කිරි හරක් ඉක්මනට මැරෙනවා, පැටවු ලැබෙන්නේ අඩුවෙන්, රෝගවලට වැඩිපුර මූණදෙනවා. ඒ නිසා ලොකු ණයක් අරගෙන මේ ප්‍රොජෙක්ට් එක කරන එක අවදානම් බව.

ඒත් ඒකෙන් පස්සේ වුණේ මොකක්ද? 2009 දී කැබිනට් සංදේශයෙන් සත්තු ගාණ දෙදාහට අඩු කළා. අඩු කරපු එක හොඳයි කියා හිතේවි. ඒත් එකා ලක්ෂ තුනහමාරකට විතර සත්තු දෙදාහක් ගෙන්නන්න තීන්දු කළා.

ඊටත් පස්සේ 2013 වෙද්දී කලින් කරපු අනතුරු හැඟවීම් ඔක්කොම අමතක කරලා කැබිනට් අනුමැතිය දුන්නා තව හරක් ගෙන්වන්න. ඒ විතරක් නෙවෙයි, අර සීතල රටවල ඉඳන් එන හරකුන්ට ඉන්න බැරි හම්බන්තොටට ගිහින් දාන්නත් ඒ කැබිනෙට් තීන්දුවේදී කල්පනා කළා.

ඉතින් මේ ගෙන්නුව එළදෙන්නු එක්ක පට්ටි කරන්න ඔය තීන්දු ගත්ත හරක් ටික දාන්න තිබුණෙ නැද්ද අප්පා?

මේ එක හරකෙක් ලක්ෂ තුනහතරක් ගෙවලා ගෙන්නුවාට, රක්ෂණය කරලා තිබුණේ නෑ. ඒ නිසා හරක් සිය ගාණක් මැරිලා ගියාම ඒ සම්පූර්ණ මුදල ශුද්ධ අලාභයක් වුණා. තව සිය ගාණක් එළදෙන්නු ගැබ්අරන් නෑ. ගැබ් නොගත්තම කිරි ගන්න බැහැ.

ඊළඟට ජර්සි කියන හොඳ වර්ගයේ දෙනුන් වැඩිපුර ගන්න සල්ලි ගෙව්වට ඒ ජාතියෙන් ලැබිලත් නෑ. 

ඒ විතරක් නෙවෙයි. මේ කිරිහරක් තියාගන්න, උංට නළ ළිං හදන්න, නවතින තැන්, හරකුන්ව ප්‍රවාහනයට පවා කරපු වියදම් මහා නාස්තියක් වෙලා තිබුණා. ලංකාවේ රේට්ස් අනුව මේ කිරිහරක් 2500 රිදියගම ගොවිපළට ගෙනියන්න ලක්ෂ පහමාරකට පුළුවන්කම තියෙද්දී, ඒකට මිලියන 35ක් වියදම් කරලා කියලත් විගණකාධිපති වාර්තාවේ තියෙනවා.

ඒ විතරක් නෙවෙයි. කිරිහරක් අවුරුදු පහකින් පස්සේ ගොවිපළෙන් ඉවත් කරන්න ඕනෑ. අපි ලංකාවේ කිරි අවශ්‍යතාව සම්පූර්ණ කරනවනම් එළදෙන්නු ලක්ෂ ගණන් අවුරුද්දකට අයින් කරන්න වෙනවා. ලෝකෙ පිළිගත්ත ක්‍රමය හරක් මස්.

ඒත් අපේ අය හරක් මස් නිෂ්පාදනයට ලෑස්ති නෑ. හරකට දෙයියට වගේ වඳින ඉන්දියාව ලෝකයේ ලොකුම හරක් මස් අපනයනය කරන රටක්. ඒත්, අපි ඒකට ලෑස්ති නෑ. ඉතින් අපි කීව විගණකාධිපති වාර්තාවේත් තිබුණේ, විශාල වශයෙන් එළදෙන්නු ගෙන්නලා ඒ නිෂ්පාදනය වැඩි කරන්න කයිවාරු ගැහුවාට, අවුරුදු පහ ගියාම ඒ අයට කරන දේ ගැන විධිමත් ක්‍රමවේදයක් තිබුණේ නැති බව.

ඒ විතරක් නෙවෙයි, විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලිඛිත ප්‍රකාශ දුන්න අත්දැකීම් තියෙන ලංකාවේ කිරි ගොවියන් කියා තිබුණා ලංකාවේ හරකුන්ට වඩා පිටරට හරකුන්ගෙන් ලැබෙන ආදායම වැඩියි තමයි. ඒත්, ඒවට වියදම ඊට වඩා වැඩි නිසා අන්තිමේ ලාභය අඩුයි කියලා.

ඉතින් ඒ සියල්ලෙන් පස්සේ දැන් ආණ්ඩුව අමුතුවෙන් ‘කිරිවලින් ස්වයංපෝෂිත කරන’ ප්ලෑන් එකක් හදලා. අපි බලන්න ඕනෑ කලින් විනාසය මෙදා පාරත් වේවිද කියලා.

විගණකාධිපති වාර්තාව –